Saturday, February 4, 2017

ජීවිතයේ ඛේදනීය මොහොත අත්විඳීම හෙවත් චත්‍රක් (Mushrooms)



- CASTING - Paoli Dam / Sudip Mukherjee / Sumeet Thakur / Tomas Lemarquuis -
- SCREEN PLAY - Vimukthi Jayasundara
- LANGUAGE - Bengali
- IMAGE - Channa Deshapriya
- SOUND - Dana Farzanehpour , Franck Desmoulins , Roman Dymmy
- SET DECORATION - Arup Ghosh
- EDITING - Julie Bezieu
- MUSIC - Roman Dymny 

‘කරදර දුක් ගැහැට නිසා එල්ලවන පීඩනයන් අපේ ජීවිත තලා පෙළා මිරිකා දමයි.අප එහි පත්ලටම කිඳී යන්නෙමු.එයින් අපේ ජීවිත මහ පොළවට සවි කෙරෙයි.එසේ වුවද සෑම යුගයකම බිහි වූ ප්‍රේම කාව්‍යයන්හි හි පිරිමියකුගේ සිරුරින් තැලී පෙලී පොඩිවී යන්නට ගැහැණිය ඉමහත් ආශාවෙන් බලා සිටින්නීය. කරදර දුක් කම් කටොළු වඩාත් දැඩි බවට පත් වෙත්ම අපේ ජීවිත සොබා දහමට සමීප වේ.වඩාත් යථාර්ථයට ළඟා වේ.වඩාත් සත්‍යයට ළඟාවේ.’

- මිලාන් කුන්දේරා ( Unbearable litheness of Bing )

නූතන දේශපාලන සහ සමාජ යාන්ත්රණය විසින් නිෂ්පාදනය කරන ලද අතිශය කඨෝර වූ දේහ ලක්ෂන සහිත සංස්කෘතික ශරීරයක් තුළ මනුෂ්‍යයාගේ ආත්මය තවදුරටත් පරිපූර්ණව නොවැඩේ.අසංතෘප්තික පරිණාමයකින් ජීවිතය හසුරුවන්නට සිදුවන වගකීම් විරහිත සමාජීය ක්‍රියාවලියක දී දී මනුෂ්‍යයා විසින් පරිපූර්ණත්වය පිළිබද විශ්වාසයතුළ තවදුරටත් එල්බ නොගනී. පැවැත්ම සහ ශුන්‍යත්වය අතර අන්තර් ක්‍රියාවලියක ජීවිතය සංක්‍රමණය වන විට මනුෂ්‍යයා විසින් ස්වකීය ජීවිතයේ පූර්ව සැලසුම් වලින් පරිපූර්ණවම අත් මිදෙයි.එතැන් සිට ඔහු විශ්වාසය තබන්නේ තමා එළැඹි ‘ මොහොත’ (Moments) කෙරෙහි පමණකි. ක්ෂණය (ඇසිල්ල) පිළිබඳ විශ්වාසය යනු ජීවිතය පවත්වාගැනීමේ අතිශය දළ උපකරණ කට්ටලයක් බව සැබෑවකි. නමුත් ජීවිතය යනු අනපේක්ෂිත අභාග්‍යක් බවට පත් වූ දෘඨ සමාජ ව්‍යුහයක් තුළ සාමාන්‍ය මනුෂ්යා‍යගේ ජීවිතය යනු බිහිසුණු වනන්තරයක් තුළ ශුන්‍යත්වය සොයා ඇදෙන ඉන්ද්‍රජාලික චාරිකාවකි.එය මුළුමණින්ම පිරී තිබෙන්නේ අපැහැදිලි ගමනාන්තයක් පිළිබඳ නපුරු සිහින සහ අස්ථාවර හැඟීම්වලිනි. විමුක්ති ජයසුන්දරගේ ‘චත්‍රක්’ (Mushrooms) සිනමාපටය සදාතනික පුනරාගමනය පිළිබද නීට්ෂේ ස්වකීය මිතුරන් හා ගැටුණු සමාජ සහ මනෝවිද්යාත්මක තර්කයන් සිනමාත්මකව ස්පර්ශ කිරීමකි. වරක් සිදු වුණු යමක් මිහිපිට යළි ඒ ආකාරවම සිදුවෙතැයි සිතිය නොහැකිය. එබන්දක් යළි ඒ ආකාරවම සිදු වුවත් එය පූර්ව සිදු වීම බවට පත් වන්නේද නැත. ඒ අර්ථ කතන සහ විඝුහයන් මොහොත පිළිබඳ සංකල්පය සමග තවදුරටත් බැඳී තිබෙන නිසාය. පස්වන ලෝක යුද්ධය අද දවසේ ඒ ආකාරම සිදු වෙතැයි සිතන්න. නමුත් එය තවදුරටත් පස් වන ලෝක යුද්ධයම වන්නේ නැත.
එබැවින් වඩාත් වැදගත් වන්නේ ජීවන පුනරුක්ති පිළිබද සිහින බැහැර කොට දමා ජීවිතය පිළිබද වඩාත් අස්ථාවර අවස්ථාවලදී ස්ථිර ගිවිසුම්වලට නොඑළඹී එළැඹ ඇති වඩාත් ඛේදනීය ‘මොහොත’ පිළිබද තදබල විශ්වාසයකින් පසු වීමයි.

ගණ වනන්තරයක් තුළ ජීවිතයේ ප්‍රීතිය සොයන්නට හැක්කේ උමන්තකයකුට පමණකැයි සිතන සාමාන්‍ය්‍ය න්‍යාය තුළට පූර්ව රූපාවලිය තුළ දී අප ප්‍රෙව්ශවෙමින් සිටින්නෙමු. හේ තිරශ්චීන ස්වරූප ඇති මනුෂ්‍යෙයකි.ඔහුට සිනමාකෘතිය තුළ චරිතයක් හෝ නමක් නැත.ඔහු සංස්කෘතික සංකේතයක් නොවේ. එබැවින් හේ පාරිසරික කොටස් අමුවෙන් බුදින්නටත් ගස් මත්තේ සැතපෙන්නටත් රිසිසේ ශබ්ද නගා හිනැහෙන්නට තමාටම ආවේණික වූ සංකේතාත්මක අර්ථ විරහිත ශබ්ද මූලික භාෂාවකින් හඩ නගන්නට තරමට නිදහස්ය. (. Sumeet Thakur ) එය සතෙකුගේ නාදයට සමාන එහෙත් ආවේගයන් සහ සාමකාමි බව යන කේන්ද්‍රිතයන් එක්වරම සංස්පර්ශය කරන ධ්වනියකි.සැබැවින්ම මනුෂ්‍යයකුට ස්වභාදහම සමග අත්‍යයන්තයෙන්ම මේ තරමට තදාත්මීය වන්නට හැක්කේ කුමන ධර්මතාවක් යටතේද? එක්කෝ ඔහු කුඩා දරුවකු විය යුතුය. නැතහොත් පිස්සකු විය යුතුය. මේ ස්ථර දෙකෙහිදීම ඔහුට ස්වකීය ජීවිතය තුළ ව්‍යුහාත්මක දර්ශනයන් නොමැතිව ඉතා පහසුවෙන් පාරිසරික ඒකාත්මීයතාව අත්පත් කර ගත හැකිය.වේදනාවේ ගමනාන්තය වන්නේ ස්වභාවිකත්වය තුළ කිමිදීමයි. තව දුරටත් වේදනාව හඳුනාගනිමින් සිටින්නා වනාන්තරයේ දේශසීමාව ආරක්ෂා කරයි. ඔහු යුරෝපීය සොල්දාදුවෙකි.( Tomas Lemarquuis ) ඔහු මේ වන විට මනුෂ්‍යයන් සියයකගේ ජීවිත තීරණය කිරීමේ භ්‍රාන්තිය ආත්ම සංතෘප්තියක් බවට පරිවර්තනය කිරීමෙන් පීඩනයට පත් වන අතර ජීවත් වීමේ ‘මොහොත’ පිළිබඳ කාරණාවේදී ඔහුට එකී පීඩනය තවදුරටත් අවශ්‍ය වෙයි. ඝාතකයකුට වඩාත් නිහඩ මොහොතක් පසු කිරීම අතිශය දුෂ්කරය. ඔහුගේ පැවැත්ම පිළිබද සාධකය වන්නේ නොනවතින පීඩාව සහ ජීවන විඩාවයි.

සෑම සොල්දාදුවකුට මෙන්ම ඔහුට ද මනුෂ්‍යයන් අවශ්‍ය වන්නේ ජීවත් වීමට නොවේ.ඔවුහු මනුෂ්‍යයන් සොයන්නේ ඝාතනය කිරීමට මිස ජීවත්ය වීමට නොවේ..ඝාතකයාගේ සොයා යාම ජීවත් වන්නාගේ ශඹා යාමට වඩා වෙනස්ය. නමුත් හොඳින් එම පරස්පරතා ගැලපූ විට පවතින්නේද සුළු වෙනසකි. ඒ වෙනස තීරණය කරනු ලබන්නේ බිහිසුනු ‘මොහොත ගෙවා දැමීම පිළිබද කතිකාව සමගය.සොල්දාදුවා කැමති පණසුන් සිරුරු වීජ ගණිතමය සිහින සමීකරණක ඔබ්බාගෙන මානසික ලෝකයක වීරයකු වන්නටය. අප සෑම දෙනාම ඝන වනන්තර තුළ වීරයන් සොයන්නෝ වීමු. මෙසේ වීජ ගණිතමය රූපික සමීකරණයක් විසදන්නාක් මෙන් ජීවිත ගණන් කිරීම සහ තනි පුද්ගල තීන්දුවක් මත සිය දෙනෙකුගේ පැවැත්ම පිළිබද අවසන් තීරණය ලබා දීමේ අණ එක් මිනිසකු අතට පත් වීම මායාමය කතා කලාවේ වඩාත් අද්භූත ලක්ෂණයකැයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන. නමුත් ලෝකයේ විකාශනය දෙස අවධානය යොමු කරන විට සෑම සංස්කෘතිකමය හැරවුම් ලක්ෂයක්ම නිර්මාණය වී ඇත්තේ දෙතුන් දෙනෙකු විසින් සමස්ත මානව සමාජයක පැවැත්ම හෝ විනාශය පිළිබඳ මූලධර්ම නිර්මාණය කර ඇති නිසාය.මේ වනන්තරයේ වෙසෙන අනෙක් ප්‍රාණියා මෙන් තවමත් පූර්ණ උන්මත්තක භාවයකට එළ්බ නැති නිසා සොල්දාදුවාට තමන්ගේ ආත්ම ප්‍රකාශනයක් තවමත් ඉතිරි වී තිබේ. ඔහු අවසානයේ දරාගන්නට බැරි බොහෝ දෑ නිසල වැලි පොළොවේ වළක් හාරා ඒ මත මුහුණ හොවාගෙන මහ පොළවට මුමුණයි. මනුෂ්‍යයාගේ අරගලය සෑම විටම නිමාවන්නේ ස්බභාදහමේ රහසක් ව පොළවේ වැළලී යාමෙනි.ලොව සෑම ඛේදවාචකයකම රහස් අවසාන වශයෙන් දන්නේ මහපොළව පමණක්මය.

වේදනාව මුළුමණින්ම අවසන් කළ මිනිසා සහ වේදනාව අතර මැද මිනිසා යන දෙදෙනා වනන්තරයේ අරගලය තුළ විටක මුණ ගැසේ. ඇසිල්ලකදී ඔවුහු මුළුමණින්ම නිරුවත් වෙති. ඒ අධ්‍යාත්මික නිරුවත ගර්භාෂ මල්ලේ හෙවුණු කලල අවදියේ ජලජමය පාරිසරික අවධිය සිහිකරමින් ජලාශයක නිදහස් ස්නානයකට යොමු කරවයි. ඔවුන්ගේ ස්වභාවිකත්වයට සංස්කෘතික වන්දනාකරුවෝ බිය වෙති. එතැන් සිට උන්මත්තකයා ද උමතු භාවය සොයමින් යන සොල්දාදුවාද මොහොතකට මිතුරන් වෙති. නමුත් යළිත් සොල්දාදුවාට සංස්කෘතික ජීවිතය සිහිපත් වෙයි. දැන් ඔහුට අවශ්‍ය එකසිය එක්වන ගොදුරයි.නමුත් ස්වකීය ඛේදණීය මොහොත සැණින් වටහා ගන්නා උන්මන්තකයා ජීවිතය බේරා ගෙන වනයේ ගූඨත්වය තුළ ගිලෙන්නට තරම් ශූරවෙයි. මේ අතර තවත් මිනිසකුගේ සහ ගැහැණියකගේ ඉරණම වනාන්තරයේ ගූඨත්වය සමග බැදී මිනිසාගේ ආත්මය සමග බැඳෙමින් පවතී.

චිත්‍රපටයේ නමක් සහිත පළමුවැන්නා ඔහුය .ඔහු රාහුල් ය..(Sudip Mukherjee ) කල්කටාවේ වැසියකු වූ රාහුල් සිය වෘතීය සුදුසු කම් සපුරාගැනීමට ඩුබායි වෙත පැමිණේ. එහි විශාල කොන්ත්‍රාත් සමාගමක විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියකු වන රාහුල් වඩා ප්‍රිය කළේ අහස සිඹින විශාල ගොඩ නැගිල්ලේ නිර්මාතෘවර‍යා
වීමටය. කුඩා මිලකට දුගීන්ගේ භූමිය පවරාගන්නා ව්‍යාපාරිකයෝ ස්වකීය සිහින සුවිසල් කොන්ක්‍රීට් මැදුරු බවට පරිවර්තනය කරද්දී ඒවායෙහි රටාව නිර්මාණය කළේ රාහුල්ය. නමුත් රාහුල්ට කල්කටාවේ මහා බැඳීමක් තිබිණි. ඇය පාඔලිය (Paoli Dam) .ඇය ප්‍රේමය තුළ රහුල් උදෙසාම බලා හිඳින්නීය. කෙනෙකු උදෙසා බලා හිඳීම , කැප කිරීම, ඇප වීම යන ක්‍රියාවලිය සංස්කෘතික වීමත් සමග
ගැහැණියකගේ ජීවන අපේක්ෂා බොහොමයක් බිඳී යයි. පා ඔලිගේ රංගනය සහ භූමිකාව වටහා ගැනීමට කාන්ස් සිනමා උළෙල සඳහා ඉදිරිපත් කළ සංස්කරණයෙන් තොර පිටපත නැරඹීම අත්‍යවශ්‍යය. ලිංගිකත්වය සහ ජීවිතය යනු රහසේ විඳිය යුතු සහ විවෘතව මතවාදයකට නැගීම පාපකාරී යයි සිතන සංස්කෘතික හරඹයන් හමුවේ මේ සා විසල් කාව්‍යමය රූපාවලියක් සංස්කරණයකට බඳුන් කිරීම මා දකින්නේ සාපරාධී ක්‍රියාවක් ලෙසිණි.

පාඔලී සැබැවින් ම රාහුල් වෙත බැඳී සිටියාය. ඔහු ඉදිරිපිට ඇය සිටියේ වඩාත් විනීත ස්ත්‍රියක ලෙසිනි. එකම සයනයේ දෙපසකට වී ඔවුහු සැබැවින්ම තමන් කවුරුන්දැයි සොයමින් නිසලව රාත්‍රීය පහන් කළහ.කුමන තත්වයක් යටතේ වුවද රහුල් ගේ සිතෙහි තවමත් පහ නොවුණු තැවීමක් තිබිණි. ඒ වනචාරී දිවියක් ගෙවන තමාට මගහැරුණු සොයුරා පිළිබද සාංකාවයි. ඉනික්බිති ඔවුහු සෙවීම පිළිබඳ අරගලයෙහි දීර්ඝව නිමග්න වෙති. පාඔලීගේ සපත්තිරෝෂණය හෙවත් ආදරය ගිලිහීමේ සාංකාව සහ ස්වභාවික ජීවිතය මගහැරීම (පුද්ගලයාට ආවේණික වනචාරීත්වය මුදා හරින්නට රික්තකයක් හසු නොවීම ) අභිමුවේ මනුෂ්‍යයා මුහුණ දෙන බිහිසුණු ඛේදවාචකය ඉස්මතුවන්නේ ඇය රස්තියාදුකාර තරුණයා සමග රමණය කරන දර්ශනයේදීය. එය හදවත කකියන දසුනකි.මන්ද අතිශය නිහඩ ලෙස ඛේදනීය දෛවයකට මුහුණ දෙන ඇගේ පීඩනය අවසානයේ පුපුරා යන්නේ අතිශය සානුකම්පිත ආකාරයටය. වීථියේ සරණ වනචාරියකැයි සිතන්නට හැකි කුස පිරවීම පිළිබද අරගලය ජීවිතයේ මුඛ්‍යාර්ථය කරගත් ජනේලයෙන් පනින කොලුවා සමග ඈ රමණයෙහි යෙදෙයි. (ඇනුබ්‍රට ඹසූ. මෙහි වඩාත්ම වේදනාබර තත්වය වන්නේ රමණයට පෙර කොළුවා විසින් උගේ ගාස්තුව ඇගෙන් උදුරා ගැනීමය. සිනමාපටය ක්‍රමාණුකූලව
ගලා ආ කාව්‍ය්‍යක් නම් එහි උත්ප්‍රාසය පැවතියේ එකී දර්ශනය තුළය. එය ඕනෑම මනුෂ්‍යයකුගේ හදවත තුළ දරුණු වේදනාවක් පමුණුවා තමා ගේ ඇතුළු හද ගර්භය දෙසට හිස හරවා බලන්නට පොළඹවයි.අවසානයේ මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් හැඟීම් මිලදී ගැනීමට සිදු වීම දක්වා දේශපාලන සහ සාමජීය ක්‍රි
වලිය කෘෘර වෙළඳපල ක්‍රමයක් කරා ගමන් කරන්නේ කෙතරම් බිහිසුණු ආකාරයකටද? පාඔලී ගෙ ජීවිතයේ ඛේදවාචය සිහිනයක් පරිදි විටක දිග හැරේ .ගෘහ නිර්මාණ ශිල්පියාට වනන්තරයේ දී සිදු වන්නේ ධනුද්ධර ළුූ මනමේ කුමාරයාට වන අත්වැරදීමමය. ඔහුට පාරිසරික සමාග්‍රහණය යන්න අත්හැරේ. ඔහු ඛනුවක් හිටවන විටක අනෙක බිම වැටේ. ඔහු තනන ගෘහය බිඳ වැටී අවසානයේ ඔහු වනගත වන්නේ උන්මත්තකයකු වශයෙනි. වනගත වීඹ ප්‍රකෘතිය තුළ සිදු කළ නොහැකිද? සත්‍ය වශයෙන්ම වඩාත් ස්වභාවික ළදරුවෝ සහ උන්මත්තකයෝය.. ඔවුහු තුළ සංස්කෘතික නිර්ණායක කිසිවක් ම නොමැත.

රාහුල් සිය වෘතිය ජීවිතය අරභයා ප්‍රෙමා්දයට පත් වෙයි. අහස සිඹින සිහිනවලට පෙම් බඳින ඔහු සිය සොයුරා සෙවීමේ කතාර්යාවලිය ද නොනවත්වයි. ස්වකීය පෙම්වතිය වූ පාඔලිද ඊට සහභාගී කරගනී. සැබැවින්ම අනෙකෙකු සෙවීම අසීරු කාර්යයක් බව රහල් අවසානය වන තෙක්ම වටහා නොගනී.ඔහු පිරිස් බලය යොදවා අවසානයේ තුරු මත නිදන ස්වභාදහම හා අත්‍යන්ත වූ ස්වකීය සොයුරා නිවසට කැරඳවා ගෙන එයි. නමුත් ප්‍රකෘතිය තුළට එළඹි මනුෂ්‍යයාට සංස්කෘතික ඇඳුම් ආයිත්තම් යනු වඩා අසීරු තත්වයකි.රහල් ගේ සොයුරා නාගරික රාමුව තුළ වඩාත් නොසන්සුන් තාවයට පත්වේ. එහි පැවැත්මට සරිලන කිසිදු මෙවලමක් ඔහු සතුව නැත.ඔහුට නමක් නැත. භාෂාවක් නැත.වචන නැත. ඔහු පුරුදු පුහුණු වූ සත්ව ශබ්දය මෙහි උපයෝජනය කළ නොහැක. හෙතෙම කොන්ක්‍රීට් රාමුවක වඩාත් අසරණ සත්වයකුගේ තත්වයට පත්වේ.
රාහුල්, පාඔලී මෙන්ම සෑම සංස්කෘතික ගැහැණියක සහ පිරිමියකු විසින් කටුව තුළට ඔලුව ඔබා ගත් ඉබ්බන් වැනිය. පාඔලි කටුවෙන් ඔලුව එළියට ගන්නේ ජීවිතය තවදුරටත් පවත්වාගන්නටය. නමුත් රහල්ගේ සොයුරා පූර්ණ ජීවිතය තුළම කටුව තුළින් හිස එළියට ඇද ගත් ඉබ්බෙකු වැන්න. මිනිසාට ප්‍රකෘතිය හිමි වන්නේ එක්කෝ ජීවිතයේ පරිච්චේදයක් විනාස කිරීමෙනි. නැත හොත් මරණයෙනි. රහුල්ගේ සොයුරා පරිච්චේදයක් මරා දමා ප්‍රාථමික මිනිසකු ලෙස දෙවන යුගයක් ආරම්භ කරයි. වනචාරියා යනු සෑම විටම අහිංසකයකි.

ඔහුට කිසිදු සමාජීය ආරෝපණයක් තුළ ජීවිතය අපේක්ෂා කළ නොහැකිය. ඔහු අහස සිඹින තුරු මුදුන් තුළින් මිස කොන්ක්‍රීට් බැමි සහ බලෙන් පැළැන්දූ සළු පිළි අතර ජීවිතය නොසොයයි. නිවස තුළ නිරුවතින් ඉන්නට, පෙර මෙන් හඩ නගා දුවන්නට ඔහුට අවකාශයක් නොවේ. අවසානයේ ඔහු විදුලි බිබුල ගලවා සිය දෑතින් පොඩි කරයි. රහල් තමා කටුව තුළ ඔබා ගත් හිස එළියට ගත යුතු බව තීරණය කරන මොහොතේ සොයුරා යළි ස්වභාවධර්මය වෙත බාර දී පැමිණෙයි.

ඇතැමෙකුට ආරෝපිත සංස්කෘතික දේහ ලක්ෂණ නැතිව හිස එළියට ගත් ඉබ්බන් සේ පවතින්නට බැරිය. ආරෝපිතයෙන් බැහැර වීම යන කාරණයේදී ඌහු දිවිනසා ගනිති. රාහුල් අහස සිඹින කොන්ක්‍රීඩ් ගොඩනැගිල්ලෙන් බිමට පනින්නේ ප්‍රාථමිකත්වය හෙවත් ස්වඛීය ප්‍රකෘතිය මුණ ගැසුණු අවස්ථාවේය. ඔහුද ස්වකීය සොයුරා වනගත ජීවිතය තුළ පළ කළ ශබ්දයට සමාන හඩක් නිකුත් කරයි. නමුත් රහුල්ට වනන්තරය ආගන්තුකය. සමහර මිනිසුන්ගේ පැවැත්ම මරණය විසින් සාධනීය කරයි.ඔහු පණ අදින මොහොතේ මෙතෙක් දෘඨ වැස්මක් තුළ හිස සගවා ගත් ඉබ්බකු රිසිසේ ඔලුව ඔසවා තමාගේ අනන්‍යතාවය සොයමින් පොළව සාරමින් ගමන් කරන දර්ශනය මනුෂ්‍යත්වයේ පැවැත්ම පිළිබඳ අරගලයේ අතිශය ඛේදනීය දසුනක් වෙයි. සිනමා පටය ආරම්භයේ දී ස්වකීය ආත්මීය රහස් පොළෝ ගර්භය තුළට මුදා හරින්නට දෑතින් පොළව හෑරූ සොල්දාදුවාත්, වනන්තරය තුලදී ජීවිතය තවදුරටත් තහවුරු කරගත් වනචාරියාත්, අවසානයේ සංස්කෘතික මිනියක් අසළ පොළව හාරන ඉබ්බාත් යනු එකෙකි. ඒ පරිණාමය සහ පැවැත්ම පිළිබඳ විශ්ව සත්‍යය මිස අනෙකක් නොවේ.

සිනමාපටය තුළ කිසිදු රංගන ශිල්පියකු රංගනයක නිරත නොවූ අතර සියළු දෙනා විසින් සිදු කරන ලද්දේ එළඹි මොහොතේ ඛේිදවාචකයට මුහුණ දීමයි. විශේෂයෙන්ම පාඔලී ඩෑම් සුවිශේෂීව දැනෙන අතර ඇය ස්වකීය භූමිකාව තුළ නිදහසේ හමන සුළගක් පරිදි ගමන් කරයි. සුළග එනු පිණිස චිත්‍රපටය තුළ පොහොසත් අමුද්‍රව්‍ය මිස ගැඹුරු නිෂ්පාදනයක් නොදුටු නමුදු චත්‍රක් සිනමාපටය තුළ විමුක්ති ජයසුන්දර ද ස්වකීය තීරණාත්මක මොහොත කවරේදැයි අවබෝධයකින් යුක්තව ට වඩාත් සාර්ථකව මුහුණ දේ. සිනමාපටයේ ප්‍රාණය බොහෝ විට රැදී තිබුණේ සුවිශේෂි කාව්‍යයක්කාරයකු අතය. හේ චන්න දේශප්‍රිය නම් විය. පැවැත්ම සඳහා භීතීය මූලික කරගත් මන්දගාමී සත්වයකු ස්වකීය ස්වභාවික නියාම ධර්ම සහමුලින්ම බිඳ දමා කටුව හැරදා මුළුමණින්ම නිරුවත්ව සහ වේගවත්ව ක්‍රියාත්මක වන ඉන්දුජාලික ඉබ්බෙකු මෙන් ඔහු මේ අඳුරු සහ බිහිසුණු මනුෂ්‍ය වනාන්තරයේ තවමත් ජීවිතය සොයා යන මේ අපූර්ව මිනිසුන් දෙස හිස යොමාගෙන මේ අපූරු ජීවිත විවරණය කවියක් බවට පත් කරයි.තවදුරටත් සිනමාව යනු පූර්ව සැලසුම් සහගත ක්‍රිවලියකැයි යන සිහිනය සහමුළින්ම ශුන්‍යත්වයට පත්වෙයි. බිම්මල යනු පාරිසරික ක්ෂතියකි (සිහිනයකි) එය දිය ලද විගස පිපී මොහොතින් වියැකී යයි. මනුෂ්‍යයා විසින් සිදු කළ යුත්තේ ස්වභාවික නියාම ධර්මයන්ට අසීරුම මොහොතේ අවනත වෙමින් දුෂ්කරම සහ ඛේදනීයම මොහොත කෙසේ හෝ තරණය කිරීමයි.

.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

Thursday, January 26, 2017

ශාස්ත්‍රීය ඖචිත්‍යයට හසුනොවන ජීවන ලාලසාව, ජොලිසීයා , ලලක්කා සහ අමරසිරි පීරිස්.




නිර්මාණයක් සර්වකාලීන වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඖචිත්‍යය. ඔචිත්‍යය කියන්නේ සාහිත්‍යයමය ඔචිත්‍යය වගේම වින්දන ඔචිත්‍යයත් හරිම වැදගත්. මම ඉන් අදහස් කරන්නේ අපි කතා කරන ප්‍රස්තුතය එක්ක වඩාත්ම තදාත්මීයව බැදෙන සමහර රටාවන් තියෙනවා. ගණිකාවන් සම්බන්ධව ලංකාව ඇතුළෙ ලියවුණු ගීත අපමණ තියෙනවා .ඒ අතරින් වඩාත්ම කතා බහට ලක්වුණ රන් බණ්ඩා සෙනෙවිරත්න විසින් රචනා කළ ලඳුනේ ගීතය සාහිත්‍ය වැදගත් කමකින් යුක්ත භාව පූර්ණ ගීතයක්. නමුත් ඇත්තටම ඒ ගීතය ඇහෙද්දි ගණිකාවකගෙ ආත්මය නියම විදිහට මට නම් එන්නෙ නැහැ. පොඩි හයික්ලාස් මැවීමක් එන්නේ..රචකයාට ගණිකාවගෙ ආත්මය තවදුරටත් දුර බවකුත් බොරු උපාසක කමක් මවන්න යන ව්‍යාජයකුත් මට දැනෙනවා. 

අමරසිරි පීරිස්ගෙ පුරුදු පුහුණු කරපු ශාස්ත්‍රීය කටහඩත් එවන් ගැහැනියක් නිරූපණ්‍ය කරන්න සමත් වෙන්නෑ. මොකද වෘතිය ගායකයෙක් කියන පරමාර්ථයෙන්ම කටයුතු කරද්දි ඒ හඩ සමාජ කටහඩක් වෙන්නෙත් නැහැ. ඒ ගැහැනුන්ට අමරසිරි පීරිස් කොහොමත් දුරස්ථයි..ඇත්තටම ළදුනේ ගීතයට රූප රචනයක් නැත් නම් ගණිකාවක් මැවෙන්නෙම නැහැ. හැබැයි ජොලි සීයගෙ බජාර් එකේ ලලක්කා කියන සිංදුවට මම හරි ආසයි.ඒකෙ මෙලෝ සාහිත්‍යයක් නැහැ. ඒත් මාළුවා ටින් කරන්නෙ නැතිව ජලාසෙ ඉන්දැද්දි පෙන්වනවා වගේ හරිම පැහැදිලි රාමුවක ලලක්කාව ගේනවා. මුඩුක්කුවක ජීවත්වන පැටලිලි සහගත ජීවිත තියෙන ගැහැනියක් ක්‍රමාණුකූල සාහිත්‍යයකින් කවදාවත් නිරූපණය කරන්න බැහැ. ජොලි සීයගෙ කටහඩ හරි අව්‍යාජයිනේ.., ඒ සරල වචන පේලි දෙක කියන කොටම මට එකපාරටම ගුනසිංහ පුරයෙ රූපරාමුවක් මැවෙනවා...

බජාර් එකේ ලලක්කා
හිත හොද අක්කා
හුරුබුහුටියි කටකාරයි
ගෑනි ලලක්කා

ඔය පේළි එක්ක පුදුම විදිහට ඒ ගෑනිව මට නම් මැවිල පේනවා. ඇය නියෝජනය කරන සමාජය, සංස්කෘතිය, ආර්ථික වටපිටාව එක්ක ඇයව ආමන්ත්‍රණය කරද්දි ඒ කට හඩ ඇය එක්ක ගැටෙන කෙනෙක්ගෙ හඩක් වෙන්න ඕන. ගණිකාවක් පන්සලක් ඇතුළෙ දි දැකලා ඇය ගැන ලියන්න පුලුවන්ද? ඇයව දකින්න ඕන ෆීල්ඩ් එක ඇතුලෙ. ළඳුනෙ ගීතයෙ තීන්නෙ පන්සලේ මල්පුදන ගැහැනියකගෙන් ගණිකාවක් මවා ගැනීම. රචකයට ඇයව දැක්ක ගමන් පේන්නෙ ගනිකාවක් විදිහටනේ.. ඇගේ පැටිකිරියනේ සිහිපත් වෙන්නේ ..නමුත් මේ රචකයා නියම සංවර මානසිකත්වයකින් හිටියනම් මේ ගෑනිගෙ හිස්ට්‍රිය පන්සල ඇතුලෙ අමතක කරනවා. එහෙනම් ඔහු ඔය ගීතය ලියන්නැ. මල් පුදන දාහක් දෙනා අතරෙ ඇයවත් උපාසක අම්ම කෙනෙක් වශයෙන් දැකල අමතක කරනවා. ඒත් ඒක කරගන්න ඔහුට බැරිවෙලා. ඒ හන්දා ළදුනේ ගීතයෙ පරිකල්පනය ගැන මට තියෙන්නෙම වීථියේ ගෑනිය ගැන මවපු ව්‍යාජ ඩමියක් කියන අදහස තමයි.හරියට අර රත්නපුරේ බට්ටිට මාධ්‍යවලින් කලා වගේ වැඩක්.නිර්මිතයක්. සමාජ ජීවිත නිර්මාණයට නැගීමේදී නිර්මිත අසාර්ථක වන අවස්ථා තියෙනවා. පළමු දේ ඒ ගැහැනියගෙ යථාව අසන්නා තුළ සැණෙන් මවන්න පුලුවන් වෙන්න ඕන .ඒ වගේම ඒ සමාජ තලයෙ ඉන්න ගැහැනියකට ඇසුනු සැනෙන් අර්ථ පරිවර්තනයක් නොකර වටහ ගන්න තරම් සරල වෙන්න ඕන.

ඇත්තටම ජොලි සීයා හෙවත් චන්දුද සිල්වගෙ ගෙ හඩ වචන ආමන්ත්‍රන සේරම අර ගෑනි හැපෙන ගැටෙන සමාජයටම බැදිච්චා.. වින්දනය කියන එක ශ්‍රාස්ත්‍රීයවම කරන්න බැරි අවස්ථා තියෙනවා. ගණිකා වෘතියම නිදසුනකට ගන්න පුලුවන්. සදාචාර විවාහයට පිටින් බොහෝ පිරිමි පිට ගෑනු හොයන් යනවා වගේ ප්‍රමිතිය කියන රාමුව කඩල දාපු තැන්වලින් අපි යම් වින්දනයක් ලබනවා. මහාචාර්යවරු මොන දේ කීවත් මට නම් වීථියේ ස්ත්‍රිය හොදින්ම නිරූපණය කළ ගීතයක් තමයි ලලක්කා..සාමාන්‍ය මිනිහා සුනිල් පෙරේරා, ජෝතිපාල, ජොලිසීයා වගේ අයව වැළද ගන්න එක හේතුවක්

තමයි සැබෑ ජීවිතය කියන එක ප්‍රතිනිර්මාණයකින් තොරව ඔවුන් බලාපොරොත්තු වෙන එක.ඒ නිසා ප්‍රබුද්ධ - අප්‍රබුද්ධ භේදයකින් තොරව මේ නිර්මාණ දෙකොඨ්ඨාසයම යම් කලෙක බාර ගන්න සිද්ධ වෙනවා. නාහෙන් අඩන ප්‍රේම ගීත නෙවේ. අව්‍යාජ සමාජ කටහඩක් වශයෙන් තියෙන නිර්මාණ. ඒවායෙන් එන්නෙ සාහිත්‍යමය සෞන්දර්යයක් නෙමේ. නමුත් ජීවිතය මැවීම කියන කාරණාවෙදි ජනප්‍රියවාදී ගායකයො විසින් සිදු කරන්නෙ සුවිශාල කාර්ය භාරයක්..

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

Wednesday, January 25, 2017

ඇගේ නම ස්වර්ණාය



 ස්වර්ණා මල්ලවාරච්චි මගේ හදවතට සමීප වන්නේ සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා නමැති සිනමාපටයෙනි. එය නරඹන විට මා සිටියේ ඉතා කුඩා අවදියේය.. සිනමා පටයේ බොහෝ තැන් හරි හැටියටනොතේරුණද මගේ පැහිච්ච මොළයට හීන් කෙලී ගේ වේදනාව හොදටම තේරුණේය. ඇගේ සුන්දර රූපය මම මෙලොව වඩාත් ප්‍රිය කරන කාන්තා රූපයයි. මුඛරි කට මෛන්ම ඒ අපූර්ව රංගන ප්‍රතිභාවද සැබැවින්ම මා මවිතයට පත් කළේය.මගේ අම්මාද තුරුණු වියේදී රූපයෙන් අතිශය සුන්දර වූත් චතුර කටක් තිබූ ද කාන්තාවකි. ඇයද ගිරවියක මෙන් කියළුීමේ සමර්ථ කම් තිබූ නිසා සිනමාපටය නැරඹීමෙන් ඉනික්බිති මම ඇයට හීන් කෙළී යයි නම තැබුවෙමි. ඒ උක්ත චරිතය විසින් මගේ හදවත මුළුමණින්ම ආක්‍රමණය කළ නිසාය.
 
සැබැවින්ම සිංහල සිනමා පට නැරඹීම කෙරෙහි මා තුළ ඇල්මක් ඇති කළේ ස්වර්ණායයි මට සිතේ.ඉන් පසු මම ඇගේ බොහෝ සිනමාපට නැරඹීමි.හංසවිලක්, දඩයම, බවදුක, බවකර්ම, සත්සමුදුර , අයෝමා,සුද්දිලාගේ කතාව ආදී නිර්මාණ සමුච්චය අතරින් මම අයෝමාට වඩාත් ප්‍රිය කළෙමි. ඇය සෑම විටම පණ දුන්නේ පීඩිත පංතියේ කාන්තාවන්ගේ චරිතවලටය. මුදල් පසුපස හඹා නොගිය ඇය වෙළද වස්තුවක් සේ වෙළෙන්දන්ට නොපෙනීම මට නම් පෙනෙන්නේ ජාතියේ භාග්‍යයක් පරිදිය. විකිණීමට පහසු දෑ වාණිජ භාණ්ඩ මිස කලාකෘති නොවේ. එසේ නම් ස්වර්ණා තවමත් කලාකෘතියක වටිනාකම තම පෞර්ෂය තුළ රඳවාගැනීමට තරම් සමත්ව ඇත්තීය.

ලංකාවේ කවර කලකවත් මනුෂ්‍ය වටිනාකම් වලට නිසි අගැයීම් ලැබුණේ නැත.කලාවට ව්‍යාපාරිකයා ආගමනය වන්නේ කවර කාරණාවක් නිසාදැයි යන්න මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ සවිමන් කබලාන ගේ චරිතය හරහා මැනවින් නිරූපණය කළේය. කබලාන ශූර වෙළෙන්දෙකි. උක්දඩු මෙන් මිනිසුන්ගේ ශ්‍රමය සූරා පෙරා එහි අග්‍ර ඵලය ගැනීමට ඔහු දත්තේය. ඔහු කිසිසේත්ම කලාකරුවෙක් හෝ කලාකෘතියක ඇති ඥානය උකහා ගත හැකි ජීවන පරිඥානයක් හෝ ශීක්ෂණයක් ඇත්තෙක් නොවේ. නමුත් පොදු මනුෂ්‍යයා කියවීමට ඇති ශූර ව්‍යාපාරික ඥානය නිසාම චිත්‍ර ප්‍රදර්ශන, ජායා රූප ප්‍රදර්ශන ආදියට යන කබලාන නිර්මාණ ශිල්පියාගේ සිත කියවීමේ සාමාර්ත්‍යයෙන් කලාකෘතිය අරබයා විශ්මිත උපකල්පන සමාජගත කළේය. ඉන් පසු ඉහළ සමාජය ඔහුව පිළිගනු ගනු ලැබුවේ අතිශූර රසවන්තයකු පරිද්දෙනි.

වර්තමානයේ සිනමා නිෂ්පාදනයට එළඹෙන බොහෝ ව්‍යාපාරිකයෝ සවිමන් කබලානලාය. මේ ඇතැම් අයගේ ව්‍යාපාර සම්මා කම්මන්ත ද නොවෙති. මුදලේ කළු පැහැය මකා ගන්නට ඔවුහු කලාව පොරෝණයක් කොට භාවිත කරති. ව්‍යාපාරික ඉලක්ක මිස කලාවෙහි අගය නොදත් ප්‍රජාවකට ස්වර්ණා වැනි රංගන ශිල්පියන්ගේ වටිනාකමක් නොදැනේ. ස්වර්ණා නිරූපණය කළ පීඩිත සහ පුපුරා යන කාන්තාව යනු ඔවුන්ගේ ඇතුළාන්තය සහ ජීවිතයේ ආරම්භක අවධීන්හි වැරදුණු තැන් සිහිපත් කරවන මාරක ප්‍රහාර වැන්න..ඉතින් ඔවුන් ඇයට ඉස්මතු වීමට ඉඩක් දෙතැයි සිතන්නට නොහැක.

ස්වකීය මෑණියන්ගේ මෙහෙවරට තැකීමක් නැති සමාජයක් ගැන නරේන්ද්‍රාගේ සටහනක් දුටු සැණින් මට මතක් වූයේ අයෝමා චිත්‍රපටයේ අවසානයයි.සිනමාපටය ගලා යන්නේ අයෝමා විසින් පුවත්පත් කලාවේදියකුට නිර්මාණ ආරම්මණයක් උදෙසා සිදු කෙරෙන ජීවිත පාපොච්චාරණයක් ලෙසිනි. ඇයගේ කතාවෙන් නවකතාවක් පබදන පුවත්පත් කලාවේදියා තමන්ගේ නිර්මාණය අවසන් කරන්නේ අයෝමා චරිතය මිය යෑමට සලස්වමිනි. ඒ පුවත ඇසූ ජීවමාන අයෝමා අසන්නේ මෙබන්දකි..ඇයි මහත්තයො මාව මැරුවෙ? ඒ තනි වාක්‍ය තුළ සිනමාපටය විසින් සමස්ත ධාවන කාලය තුළම නොකී සුවිශාල කතාවක් තිබේ. 

ඉතිහාසය මෙන්ම සියළු නිර්මාණ ද, කතන්දර ද කාගේ හෝ මානසික සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතාවක් මත සංස්කරණය වූත් සත්‍යට පිටු පාන ලද්දාවූත් නිර්මාණාත්මක ප්‍රකාශන පමණක්වේ . නමුත් සත්‍යය යනු කතන්දරයෙන් ,ගීතයෙන්, රාමුවෙන් සහ තිරයෙන් පිටත සැබෑ ජීවිතයයි..ස්වර්ණා නම් රංගවේදිනියට වඩා වර්තමානයේ දකින ස්වර්ණා නම් ඒ සුන්දර ගැහැණියට මම වඩාත් පෙම් කරමි.පළමුවර ඇය මට මුණ ගැසුණේ පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරී අතරතුරදීය. බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයේ පැවති ජන්දමධ්‍යස්ථානයට පැමිණි ඇය ඒ කුඩා මොහොත තුළ අප සියලු දෙනාගේ හදවත් තුළ පුදුමාකාර සුන්දරත්වයක් ඉතිරි කළාය. ඇගේ නිහතමානීත්වයෙන් මම අතිශය පුදුම වීමි. 

සුන්දර දිගු වරලස මේ වන විට අහිමි වී තිබුණද හීන් කෙළීගේ නිවී ගිය දෑසත් දැල්වෙන දෙතොලත් තවමත් ඈ ළග ඉතිරි වී තිබිණ .මම ඈ දෙස බලා සිටියේ මහත් ආදරයෙනි. ඇය පදික වේදිකාවේ රුපියල් දහයට විකිණෙන මොනාලිසා කෙනෙකු බවට බවට කිසි දිනක පත් නොවූවාය. සරදාකාශයේ තාරකාවක් නොවූ ඇය සැමදා පයට පෑගෙන ගැහැනිය වෙනුවෙන් සිංහල සිනමාවේ නොමැකෙන සළකුණක් තැබුවාය. සත්තකින්ම..ඇගේ නම ස්වර්ණාය..!!!!

-උපේක්ෂා නුවන්ශ්‍රීනි -

Sunday, January 22, 2017

තාත්තේ මම ඔබේ දියණියයි



ඊයේ රාත්‍රිය පුරහම මම අතීතය තුළ මනසින් සැරිසැරුවෙමි.මා මෙසේ මනසින් අතීතය තුළ අතරමං වන්නේ ජීවිතය කඩඉමක් කොට දකින අවස්ථාවලදීය‍. මිය ගිය ද මනුෂ්‍යයන් අතර වූ අමරණීය බැඳීම් කිසිදා නොලිහෙන බව මගේ විශ්වාසයයි. අදටත් මම මගේ හදවත මුළුමණින්ම විවර කොට තාත්තාගේ ආත්මය ඉදිරියේ තබමි. ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථා මා ජයග්‍රහණය කළේ එසේය.මගේ හදවත බොහෝ විට නතර වන්නේ මා වයස අවුරුදු අටක් පමණ කුඩා දැරියක ව උන් කාලයේය. එවක අපි පදිංචිව හුන් තාත්තාගේ මහ ගෙදර තරමක් ඉඩ කඩ ඇති නිදහස් අවකාශයක් තිබූ නිවහනක් විය. එහි බිත්ති අල්මාරියක් පුරවා විවිධ වාර ප්‍රකාශන , රැසියානු පරිවර්තන ආදියපුරවා තිබිණ. අපගේ ගෘහ ජීවිතය කලහකාරී නොවූ සාමකාමී වටපිටාවක ගෙවී ගියෙන් නිදහස් දවස්වල මමත්, අම්මාත් තාත්තාත් රසවත් පොතක් තුළ හුදකලා වීමු. එකිනෙකාට ගරුකරන්නට කලාව අගයන්ට මම සැබැවින්ම උගත්තේ තාත්තා ගෙනි.

එකළ එළැඹෙන සති අන්තය යනු මගේ සිහිනයකි. දහම් පාසල් යෑම නිවන් මගට පාරක් නොවන බව දැන හුන් තාත්තා මට කිසිදා ඒවාට බල නොකලේය. 

උඹට නිවැරදි විදිහට පේන පාර තමයි උඹේ විමුක්තිය කෙල්ලේ..

ජීවිතය පිළිබඳ ඔහුගේ දර්ශනය එබන්දක් විය. බොහෝ සති අන්තයන්හි තාත්තාගේ සුන්දර යහලුවෝ අප ගේ නිවසට ආහ. ආලින්දයේ වූ වේවැල් පුටු රවුමකට තබා ඔවුහු බොහෝ දේ කතා කළහ. එකී සංවාද සාහිත්‍යය රසයෙන් පිරුණු අතිශය සුන්දර එ්වා විය. කුඩා දැරියක වුවද මම ඒ කතා අසන්නට ප්‍රිය කළෙමි.මන්ද ඔවුහුද එදවස කතා කලේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා නොවුණු බැවිනි..තාත්තා කිසි දා කිසිවක් හඹා නොගියේය. නාට්‍ය කාරයකු , ලේඛකයකු වශයෙන් බොහෝ දුර ගමනක් යන්නට හැකියාව තිබියදීත් ඔහු රස විදීම තම හදවතට පමණක් සීමා කලේය. මා පැටි වියේදී අප නිවසට මෙසේ පැමිණි ඔහුගේ යහලුවන්ගෙන් එක් අයකුගේ පුත්‍රයකු මගේ සීනියර් බැචෙකු වී විශ්වවිද්‍යාල ජීවිතය තුළ දී හමු වීමද ආශ්චර්යයකි. ඔහු අද කැළණිය සරසවියේ සමාජ විද්‍යා කතිකාචාර්යවරයකු වන සුධීර ජයවීරය. තමන්ගේ දූ පුතුන් ඔවුහු මෙන්ම සාහිත්‍ය කාමීන්ව එකිනෙකා හා අවබෝධයෙන් මිතු දමක වෙලෙන්නට ඕනෑ බව සිහිනයක්ව පැවති බවත් අද එය සැබෑවක් වීම ගැන තමා සතුටු වන බවත් සුධීර අයියාගේ පියා මගේ තාත්තාගේ අවමංගල සභාවේ ප්‍රකාශ කරන තෙක්ම මගේ සීනියර් යහලුවා මා පැටිවියේ නිවසට ආ පියාගේ මිතුරකුගේ ප්‍රත්‍රයකු බව නොදැන සිටියෙමි.

තාත්තාගෙන් මා උගත් හොදම පාඩම අත්හැරීමේ සහ ආදරය කිරීම පිළිබද ගැඹුරු දර්ශනයයි. ඔහු වැඩි කතා බහකින් තොර හොද පෞර්ෂයකින් යුතු සුන්දර මිනිසකු විය. කතා කළ යුත්තේ කුමක්ද නැත්තේ කුමක්ද යන්න ඔහු හොදින් දැන සිටියේය. ගැහැනු ළමයා පිළිබද පොදු සමාජ සම්මතය තුළ කූඩු කරන්නට ඔහු කිසි කලෙක ප්‍රිය නොකලේය.

උඹේ සීමාව පේන්නෙ උඹේ ඇහැටයි. අනුන් ලකුණු කරන රවුමක උඹ දුවන්න ගියොත් හෙම්බත් වේවි පුතේ..අළුත උපන් වහු පැටවු බලාපන්.. දෙපාරක් හිතන්නැ..කකුල් පණ ආව ගමන් දුවල යනවා.. තමන්ගෙ ජීවිතේ තමන්ගෙ. ජීවත් වෙද්දි හරි යන තැන් තියෙයි තවත් සමහර වෙලාවට වරදියි.. ඒ හැම දේම කවදහරි උඹ තනියම බාර ගන්න ඕන..ඒක තමයි ජීවිතේ..

සිද්ධාන්ත ලෙස පාඨශාලීයව ඉගන ගත් බොහෝ දෑ අමතක වුවත් තාත්තා උගැන්වූ ජීවිතය පිළිබද මූලධර්ම කිසි කලෙක මට අමතක නොවුණේය. කිසිවක් හඹා නොගියෙන් තාත්තා මහා කලාකරුවකු වූයේ නැත. සාමාන්‍ය මිනිසකු ලෙස වුවත් ගම්මුන්ගේ ආදරය මැද අවසන් ගමන් ගියේය.. ඔහු ගේ මිතුරන් අතරින් කීර්තිමත් මිනිසකු ලෙස දුර ගමනක් යාමට වරම් ලද්දේ තාත්තාගේ ජේෂ්‍යට පාසල් මිත්‍රයකු වූ තිස්ස අංකල් ය. ඔහු පසුකලෙක මට මුණ ගැසෙන්නේ ජ්‍යේෂ්ට මහාචාර්ය තිස්ස කාරියවසම් ලෙසය.මා සරසවියට ආ පළමු දින නවක අභිනන්දන වැඩ සටහනට සිටි ප්‍රධාන දේශකයා ඔහුය . එදින අපේ අම්මා තාත්තා ට මෙසේ කීවේය..

තිස්සට පොඩ්ඩක් කෙල්ලව අදුන්වල දෙන්නකෝ.. එතකොට එයා ටිකක් මෙයා ගැන බලයිනේ..ජනසන්නිවේදනය වගේ විෂයක් මෙයා කරන්නත් ආසයිනේ.. ටිකක් බලයිනේ..
අම්මාගේ වචන යනු මගේ කේන්තිය අවුස්සන ඒවා බව තාත්තා දනී.ඔහු ඉතා නිවුණු පිළිතුරක් අම්මාට දුන්නේය..

කාගේවත් බැල්ම වැටෙන්න මගේ කෙල්ල ආතුරයෙක් නෙමේ. එයා ව අනෙක් මිනිස්සු අදුනගන්න ඕන කිසියම් අනන්‍යතාවක් ඇතුළෙ. කවද හරි එයා ඒක තනියම කරගනීවි. අපි ඔය වැඩසටහනට යන්න ඕන නැහැ. දැන් එයාට එයාගෙ ජීවිතේ බාර දීල අපි මෙතනින් යමු..

අම්මාගේ හීනය වූයේ තිස්ස අංකල්ගේ බැල්ම ඇතිව මා ජනසන්නිවේදන පොරක් වීමය. ඒ නිසාම මම මුළුමණින්ම වෙනස් විෂයක් වූ ආර්ථික විද්‍යාව උපාධිය සඳහා තෝරා ගත්තෙමි. එය අම්මාගේ චිත්ත ප්‍රීතිය මුළුමණින්ම විනාස කළ තීරණයක් වුවද තාත්තා ඉන් උද්දාමයට පත් වූ බව මම දනිමි. මුග්ධකමද මනුෂ්‍යයකු අවශ්‍ය වෙලාවට භාවිත කළ යුතු එක්තරා උපක්‍රමයක් බව ඔහු මට උගන්වා තිබිණි. නමුත් සාහිත්‍යය උළෙලවල් වලදී තිස්ස නම් ගුරුවරයාගේ ප්‍රශංසාවට ලක්වන්නටද මම භාග්‍යවත් වීමි.නමුත් ඔහු මිය යනතෙක්ම මා කාගේ කවුදැයි නොදැන සිටියේය. නමුත් ඒ මොහොතවල් වල ගුරු ගෝලයන් ලෙස ගොඩනගා ගත් අනන්‍යතාවය අප අතර වෙනත් අමරණිය බන්ධනයක් ඇති කළේය. ඉතිහාසය එක් තැනකදී කඩා දැමිය යුතුය යන්න තාත්තාගේ මතය විය.

පුතේ ඉතිහාසය කියන්නෙ රටා දමාපු පැදුරක් වගේ. පැදුරක් වියද්දි කොන් කපල දානවා. අපි පැදුරක් වියන්නෙ මොකටද? බිම ඉදගන්නෙ ඇයි.කාටවත් යටත් වෙන අනුගත වෙන වෙලාවට පස්ස තියාගන්න කොන් කපල හදන පැදුරක් ඉතිහාසය. කවදාවත් ඉතිහාසයට වන්දනා කරන්න එපා. හැම වෙලාවෙම ජීවිතේ ඒ මොහොත උපරිම විඳින්න.. ඔයාට දැනෙන හැටියට..

ජීවිතය තුළ අන්ත අසරණවූ බොහෝ දවස්වල මම තාත්තාගේ හදවත ඉදිරියේ මගේ සිතිවිලි විදාරණය කළෙමි. ආදරය ශාපයක් වී බොහෝ දෑ අත් හරින්නට තීරණය කළ මොහොතේ මා මගේ ජීවිතය සකස් කළ යුතු ආකාරය සැලසුම් කලේ එසේය. කිසි ආකාරයකට ජීවිතය වරද්දාගත නොගත යුතුයයි සිතූ මම අධ්‍යාපනය සහ නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළට දායක වී සුන්දර ගමනක් යා යුතු බව මටම සපථ කරගත්තෙමි. වේදනා දුක් අනන්ත ආවද මට ඒවා නොදැනුනේය. තාත්තාගේ ආත්මය මා අත් නොහැරම සිටියේය.ඒ ආ ගමනේ අද වන විට මටම සතුටු වන්නට බොහො දෑ තිබේ. මා පශ්චාත් උපාධියකට අඩිතාලම් දැම්මේ වේදනා බර යුගයකය. එහි පළමු අදියරට සාර්ථකව මුහුණ දී දැන් අවසාන භාගයට එළඹ සිටිමි. මේ වන විට වේදනා සහ තැවුල් මා හැර ගොසින්ය. තාත්තා මෙන්ම වටිනාකම් සහිත මිනිසුන්ගේ ආදරය ඇසුර ලබන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඔහු කී බොහෝ දේ ඇත්තය.

මවගේපෙකණියෙහිම ඇලී සිටියේ නම් අපි තවමත් බිළින්දෝය. පෙකණියෙන් බිලිදෙකු වෙන් කරන්නාක් පරිදි අපි අපේ අතීතයෙන්ද මුළුමණින්ම ගැලවී වර්තමානය යනු කුමක්දැයි තනිවම සොයා ගත යුතුය.වර්තමානය නිවැරදිව හදුනාගත් තැන අනාගතය පිළිබදව එළඹ් සාංකාවද හිරු දුටු පිණි මෙන් සැණෙන් වියැකී යයි.සැබැවින්ම ජීවිතය යනු සුන්දර වස්තුවකි. නමුත් අප ආදරය කළ යුත්තේ ආදරයෙහි විටනාකම දන්නා අයකුටය.සුදුස්සාට සුදුසු දේ ප්‍රධානය කීරීමෙහිත්, අනෙකාට සබදතාවයකදී ගෞරවය කිරීමේත් පාඩම අපට අපේ ජීවිතය යළි ලබා දෙන ආශ්ර්යමත් ප්‍රබවයෝ වෙත්..සැබැවින්ම මම යළි ආලෝකය දකිමින් සිටිමි. මන්ද,

තාත්තේ.. මම ඔබේ දියණියයි...!!!

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

Friday, January 20, 2017

වැඩතහනම් වෙච්ච උන් පෙන්ෂනුත් ගන්න මාර රටක් ඕයි මේක!!!



අමමප මේක මාර රටකි. මේකට අම්මට සිරි ලංකාවයයි කියන්නෙත් නිකමට නෙවේය. මට ඉස්සර සමහර තැන් තේරුම් ගැනීමේ වාක්‍යමය ගැටලු අම්බානකට තිබිණි. මම ඉතිං ඒවා තේරුං ගත්තේ ගෙස් කිරීමෙනි. ඇත්තටම එහෙම හිතපු එවුවායෙන් සමහර එවුවා හරි ගියේය. සමහර එවුවා වැරදුණේය. ඉස්සර පත්තරේ ගිය ඇඩ් බලලා සනීපාරක්ෂක තුවා කියන්නේ සනීපෙට මූණ පිහිදාන ජාතියක් වෙන්ට ඇතැයි සිතීමි. නමුත් ඒකෙ සනීපය දැනුණේ පස්සෙං පහුය. මට අනෙක් ගැටලුව ආවේ මංගල යෝජනා කියෝන කොටය. පහේ පන්තියේ ඉදන්ම මම එවුවා කියවීමෙන් මාර මෙව්වා එකක් ලැබීමි. ටොයෝටා කොරොල්ලා එක ගැන වාක්‍ය දහයක් කියා අවසානයේ මනමාලයා ගැන එක වාක්‍යයකින් කියන මංගල යෝජනා මට කටපාඩමේ තිබිණ. මම ඉස්සර හිතුවේ ඒ වාහන සේල් කරන එක ක්‍රමයක් කියාය. ඒත් වාහනය විස්තර කර ඉන් පස්සේ වරදට සමාව දෙනවාය කියා සඳහන් කළාම මම හිතුවේ ඒ වාහනේ ගත්තට පසු සිදුවන එන්ජින් දෝස ආදී සේරම අපිම දරා ගන්න ඕන කියාය.ඒ පොඩි කාලේය. ලොකු වුණාට පස්සේ මට ඔවුවා ඔය තරමටවත් තේරුං ගන්න බැරි වී අඤ්ඤකොරොස්ම වී ගියේය.

කොහොම වුණත් ඔය මොක ගැන මක්කා හිතුවත් රජයේ නීති රෙගුලාසි ගැන උසාවිය වගේ එවුවා ගැන හීනියට බයක් නං තිබුණේය. ශිෂ්‍යත්වෙ පන්ති තීන දවස්වල හවස්වෙලා එන කොට උසාවියේ පේර ගස් වලින් ගෙඩියක් දෙකක් හොරාට කඩාපු එක ඇත්තය.කඩේකින් අරං කනවාට වඩා එහෙම කන එකේ ඇත්තටම රහක් තීනවාය. ඒත් අපි එවුවා කෑවෙ ගෙදර ගෙනත් හෝදලා කරලාය. කෝක වෙතත් ඒ වගේ දවසට පස්සෙන් පහුවෙනිදා අපි ආයෙ ඒ පැත්තෙ යන්නෙවත් නැත. ඒ තරමට බයය. බය වුණත් පුරුද්ද නවත්තාගන්නටත් බැරිය. අපි උසාවියේ පාර අයිනේ ගස් වලින් ගෙඩි කඩද්දී උසාවියේ ලොකු තැන තමන්ගෙ කාමරය ඇතුළේම අනුන්ගේ ගස්වලින් ගෙඩි කඩාගෙන නොසෝදාම කන පුවතක් පහු ගිය කාලයේ ඇහෙන්නට වුණේය. කොයි තරම් බඩජාරී වුණත් ඔය වගේ කෑම නම් අපි කන්න බයය. ඉතින් මේ උත්තමයා මාර පොරක්ය කියා හිතපු අපි ඒ උත්තමයා ගැන හෙවුවේ කුතුහලය නිසාමය. මක්නිසාද යත් මේ කාපු කෑමේ කැත දැනුණු හන්දාම ටිකක් හොම්බ පොවා බැලුවේ අමුතු සතෙක් හන්දාමය. හත්වලාමයකි. අමුත්ත ඇත්තේ සතාගේ පමණක් නොවේ. මේක මේ සමස්ත ක්‍රමය පිළිබද අවුලකි.

සාමාන්‍යයෙන් මගේ ඥාන පද්ධතියේ සංජානනේට අනුව වැඩ තහනම් වුණ එකෙක්ට ආයේ රස්සාවක් හොයා ගැනීම සිහිනයකි. සාමාන්‍යයෙන් සිකුරිටි රස්සාවක් වගේ පොඩි පහේ එකක්වත් මා දන්නා තරමින් දෙන්නේ නැත. නමුත් මේ බුවා රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාවක් කොට රටේ නීති පද්ධතියේ ඉහළම තනතුරක් වූ විනිසුරු පදවියක් ලැබුවේය. එකපාරටම දිව්‍ය ලෝකෙ ගියාම වෙන්නේ මොනව කන්නද මොනව නොකන්නද කියා හිතා ගන්නට බැරිවීමය. මෙයාට වුණේත් ඒකය .අන්තිමේ මුන්නාන්සේ අතින් ස්ත්‍රී දූෂණ දෙකක් සිද්ධ වුණේය. මෙයා බීල වැඩිවෙලා වමනෙ දාද්දි පිට අතගාන්න අර දියවන්නාවේ ජොකා පිටින් තැටි ගැහූ විනිසුරු අයියා හැම කලකදීම තනියට හිටියේය. ඉතින් ඒ සරණින් බඩුකාරනාන්සේ
 
පුරුදු සෙල්ලම එහෙමම් කරගෙන යද්දි සියලු දෙනා නිදා සිටියෝය. නමුත් රටේ වාසනාවට කොන්ද පණ ඇති පත්තර කාරයෙක් හිටියේය. ඒකා පිස්සු බල්ලා සේ මේකා පසුපස පැන්නුවේය. අවසානයේ බඩුකාර තැන ස්ත්‍රී දූෂණ චෝදනා දෙකට සහ වැඩ තහනම් වීම සගවා විනිසුරු පදවියට පත්වීම යන චෝදනා තුනටම වැරදි කරු විය. ඉන් ඔහුට ලැබුනේද මාර ඉන්ටරෙස්ටින් දඩුවම්ය.

01. පඩියෙන් අර්ධයක් ලැබෙන සේ වැඩ තහනම් කිරීම.
02. සේවා කාලයෙන් පසු සාමාන්‍ය සේවකයෙක් සේ විශ්‍රාම ගැන්වීම.

දැන් මේ මුළු සිද්ධියේම අතිශය මොංගල් ස්වභාවයක් ඔබට පේනවා ඇතිය. වසර පහළවකට පමණ හිරේ ඉන්න ඕන එකා වැඩත් තහනම් වී ඒ මදිවට සනීපෙට පෙන්සනුත් ගැනීම ඇත්තටම මාරය. ඒක මාස්ශුද්ධි දවසේ නාන්නේ නැති ගෑණියක් එක්ක ඉන්න එක වගේම අවුල්ය. අපට නම් හිතන්නවත් බැරි තරම්ය. ඒත් ඉතින් මෙව්වා මේ සිරි ලංකාවේ ඇත්තටම සිද්ධ වුණේය.හැබැයි ඉතින් කොට්ටෝරුවාට කෙළ වෙන්නේ කෙහෙල් ගහට කොටන්නට ගිය දාටය. කෙහෙල් ගහ තෙතමනේට කූල් පිට හැදෙන ගහක් වුණාට කොට්ටෝරුවන්ගේ හොටවල් ඒකෙ පැටලෙන්නේ හිතාගන්න බැරි විදිහටය. ස්වභාදහමේ නිර්මාණ අසිරිමත්ය කියන්නේ ඕන්න ඕකටය.

ඉතිං අවසානේ මේ බඩුකාර උන්නාන්සේගේ වැඩ කිඩ ටික රිදී තිරයටත් නැගුණේය. එය සිංහල සිනමාවේ දිශානතිය ද වෙනස් කළ චිත්‍රපටයක් වූ අතර දිට්ඨධම්මවේදනීය කර්මය පළිසන් දෙමින් තමාම වැලලූ කුණ අනුන් ලවා හාරවන්නට බල කරන්නට අර පොරට සිතෙන්නේය. ඉතින් එයා තමාගේ මෙව්ව එකට මෙව්ව වෙන බව පවසා වාරණ නියෝගයක් ඉල්ලා චිත්‍රපටය සති දෙකකට වාරණය කරනවාය. අවසානයේ මේ සෙල්ලම් වැරදී චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා විතරක් නොව ඊයේ පැවති (19) නඩු වාරයේ තත්වය අනුව සියළුම වාරණ නියෝගද අවසන් වී අදාල නිර්මාන කරුවන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් උන්දෑ යළි නඩුවක සිරගතව ඇත්තේය.දැන් බඩුකාරයාට එරෙහිව සිනමාකරුවා සහ වාරණ නියෝගයට මුහුණ පෑ සෙසු හත්දෙනාගෙන් නඩුවක් වැටී ඇත. ඒ ව්‍යාජ නඩුවක් මගින් ඇති කළ අලාභය සහ මානසික පීඩාව අරභයාය. මන්ද බඩුකාර උන්නාන්සේගේ නීතිඥවරයගේ තර්කය වූයේ ඔහු විනය පරීක්ෂණයෙන් නිර්දෝෂී වූවෙකු බවත්, මෙය කිසියම් රූපවාහිනී වැඩසටහනක් බලා සකස් කළ අපහාසාත්මක සිනමාපටයක් බවතය. නමුත් ඔහු විනය පරීක්ෂණයෙන් නිර්දෝෂී බවට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොවූ අතර කටවචනයක් මත වාරණය සිදුවූයේ සිනමාපටය ප්‍රදර්ශනයට සියළු කටයුතු සූදානම් කර මුහුරත් උළෙලද පැවැත්වූ දිනට පසු දිනය.(එනම් 2016 ඔක්තෝබර් 06 වෙනිදාය). එපමණක් නොව උසාවියේ නඩුකාර උන්නාන්සේ තැබූ වගන්තිවලට උඩින් පහලින් ව්‍යාජව එවුවා මෙවුවා ඔබන්නටද බඩුකාර උන්නාන්සේ සමත් වෙනවාය.කෙසේ වෙතත් නාකි අශ්පයාට දුවන්න බැරි බවට මේ වන ඔප්පු වෙමින් පවතිද්දී ඔහුට නඩුව සංශෝධනය කරගන්නට ආසාවක් ඇති වී ඇත. කෝමත් වැරදි පේන කොට කොයි කොයි එවුවාත් සංශෝදනය වෙන එක නං හොදය.අපටත් ඕනෑ මේ කේස් එකේ මුල පටන්ම පැවත ආවැරදි ටික සංශෝදනය කරන්නටය. කෙසේ වෙතත් බඩුතුමාගේ නඩුවට උත්තරයක් දී ඉන් පසු චූදිතයන් විසින් බඩුතුමාට එරෙහිව හරස් නඩුවක් ගොණුකර තිබේ.ඒ ව්‍යාජ නඩුවක් මගින් තිරගතවීමට තිබූ සිනමාපටයක් වාරණය කිරීමෙන් තමන්ට සිදු කළ ආර්ථික සහ මානසිකපාඩු සලකා බැලීමෙනි. . ඒ අනුව ඔහු ඇමිටි ලයිට් සිනමාශාලාවට පමණක් රු.මි. 1001ක වන්දියක් ගෙවිය යුතුයි.ඒ වගේම චූදිතයන්ට 1 ට 500 ගුණයක නඩු ගාස්තු ගෙවීමටත් ඔහුට සිදු වෙනවා ඇති..................................වත් නැති අතිශය දුර්වල නඩුවක් වීමත්, විනිසුරුවරයන්ගේ වැරදි සදහා වෙනම අභියාචනාධිකරණයක් ලංකාවේ පැවතුනාද කියන එක ගැනත් ඉදිරියේදී හිතල බලන්න වෙනවා.කෙසේ වෙතත් මේ නඩුවේ සැබෑ අරමුණ වන්නේ මහ නඩුවේ පටන්ම තිබූ මොංගල් ස්වභාවය කාට කාටත් අවබෝධ කරවීමයි.

ඉස්සර කාලේ මට වාක්‍යමය ගැටලු ඇති වූ තැන් කිහිපයක් මුලින් කීමි. එයින් තව එකක් කියා අවසන් කරමි. ඉස්සර ඉල්ලං කනවාය කියන එක ගැන මං හිතුවේ දන්සල් දවසට පෝලිම්වල ගොස් කන එකට කියාය. ඒත් ඒකත් මහ අසමජ්ජාති මෙව්වා එකක් බව ඔප්පු කලේ බඩුකාර උත්තමයාමය. කෝම වුණත් මේකෙන් පස්සෙන් පහුං අනුන්ගේ ගහක ගෙඩියක් බිම වැටිලා දැක්කත් හෝදලාවත් නොකන්න ඕනැය කියන එක කවුරු කවුරුත් හිතට ගන්ට ඕනැමය.මොකද ඔය ගෙඩි කියන එවුවා කෑවොත් කෑවාමය. ආයේ දිරවීමක් අවසානයක් ඇත්තේම නැත.ඒත් ඉතිං ගෙදරින් කාලා බැරිම නම් කීයක් හරි වියදම් කර වේලක් දෙකක් කඩෙන් කෑවත් කමක් නැත. ඒත් තියෙන කුම්මැහි කමට දහපාලොස් දාහක් වියදම් කරන්න වෙන වැඩේ රුපියල් දෙසීයෙන් කරන්නට ගිය කළ අන්තිමේ සිද්ධ වුණේ ඔන්න ඕකය. අපේ අත්තම්මලා හැමදාම කියන කතාවක් තීනවාය. ඒ කන්න බොන්න නම් කවදාවත් ලෝබ වෙන්න එපා කියන එකය.

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

මගේ චිත්තරපටි අධ්‍යක්ෂිකා හීනය සහ උගේ ෆෝන් කොන්වසේෂන්




ඌ - තෝ මක්කඩ කරන්නේ ?

මම - හදිසියෙම චිත්තරපටි අධ්‍යක්ෂිකාවක් වෙන්ට හිතුණු හන්දා නවය පන්තියෙ ඉතිහාස පොතක් පෙරළුවා යකු..

ඌ - ඉතිං.. ඉතිහාස පොත මක්කටැයි ඒකට

මම - ඕකෙන් කොණක් හොයා ගත්තැකි චිත්තරපටියකට .මං බැලුවෙ එළාරගෙ පුතා කරත්තෙට වහුපැටිය යට කරල මරපු එකෙන් හදන්න ගවසජ්ජායන තන්ත්‍රය වගේ අපබ්‍රංස නමක් හෙම දාල හොදට නැගල යන ෆුල් ඔප් ඇක්සොන් මූවි එකක්...

ඌ - ඒ කෙ චිත්තරපටියක් කරන්න තරම් දෙයක් තීනවද බම්. ෆිල්ම් එකක් වුණාම අඩුම තරමේ පැය දෙකක්වත් තීන්න එපාය.ඕකෙ විනාඩි දහයක් වත් දුවන්න දෙයක් තීනවද යකු?

මම - ඔය ඉතිහාස කතා කොරන වුන් කොරන්නෙ යමක් තිබිලද යකු. කරත්තෙට යට වෙද්දි හරක පිඹින එකම මාර දෙයක්නේ..අපේ උන් කැමතියිනේ හරක් පිඹින එවුවට..

දැන් මේමයි ඕක ටිකක් ප්‍රසාරණය කරල ගන්ටෝනේ. ප්‍රධාන චරිතෙ එළදෙන නේ. ප්‍රධාන චරිතෙට හොද කේප්ප වැස්සියක් තෝර ගන්නවා මුලින්ම.මේ කාලෙ ඒක ඒ තරම්ම අමාරු වෙන්නැ.. ඊට පස්සෙ ඒකිට මැච් වෙන්න සෙසු නලු නිළියො තෝර ගන්නවා..වැස්සි වහුපැටිය කාලෙ ඉවර වෙලා සිංදුවක් එක්කම මල්වර වෙනවා. ඊට පස්සෙ සනුහරේ ක්‍රියාත්මක වෙලා වැස්සිට වස්සො ප්‍රපෝසල් කරන තැනිම් නාමාවලිය ඉවර වෙලා ෆිල්ම් එක පටන් ගන්නවා.. ගොඩක් මංගල යෝජනා චකබ්ලාස් වෙලා අවසානෙ එක හරකෙක් සෙට් වෙනවා..ඊට පස්සෙ ගව ජෝඩුව තණ කොල පිට්ටනියෙ හනිමූන් යනවා..අතර මැදදි සින්දු දෙකක් දානවා..ශාස්ත්‍රිය එවුවා ( දැන් ශාස්ත්‍රිය වාණිජ චිත්තරපටි තීනවානේ අර කුස පබා වගේ ආං ඒම එවුවා)

ගවයාණනි හෘද මන්දිරේ සෙලවේවී ස්වර්ණ වර්ණ දේහෛ්

ගව නාරී නුඹ මගේ දේවී //

තෘණ පිටියෙන් එහා බැන්ද ප්‍රේමේ//

විකසිත වෙන්න මේ හඳ පානේ

උම්බෑ ස්වරෙන්ම මුමුණා

පවසන්න ඔබගේ මන ප්‍රෙමී //

ඔන්න ඔය වගේ පද ටිකක් ..තේරුමක් තීන්නම ඕන නැහැ ගසල් වගේ ඇදල කියද්දි වචන තේරෙන්නැ..ප්‍රසිද්ධ ශාස්ත්‍රිය බුවෙක් දාල කිවුවම නොතේරුණත් මිනිස්සු හිතන්න ගන්නවා ඕකෙ යමක් ඇතැයි කියලා..

ඌ - හත්වලාමෙ ඊට පස්සෙ

මම - ඊට පස්සෙ වැස්සි ගැබ්බර වෙනවා. ෆ්‍රී ප්‍රෙග්නන්සි ෂූට් එකක් දැම්මම ටිකක් කාලෙ යවන්න පුලුවන් ..ඔය මල් පිපිච්ච පදුරු අස්සෙ වැස්සි කරක් ගහනවා..දොළ දුකට තණ පැළෑටි හොයන වස්සා වගේ හෘදයංගම ෂොට් දෙක තුනක් දාපුවම උපාසකම්මල ඉබේම ෆිල්ම් එක බලන්න එනවා..ඒ වගේම වස්සයි වැස්සියි බැදල ඉන්න පිටියෙ ඉණිවැටේ කුරුල්ලො එලවන්න ගහන කොඩ් වෙනුවට බෞද්ධ කොඩි ගහන්න ඕනැ.එතකොට මේ ප්‍රවෘතිය දිහා ලංකාවෙ ඉන්න අම්මටසිරි ප්‍රෙක්ෂකයො බලන්නෙ වෙනමම අමුතුම ඇහැකින්.. හරි..දැන් ඊගාව ටික.. ඊට පස්සෙ පැටියා උපදිනවා.වස්සයි වැස්සියි අතරෙ ඔය පොඩි පොඩි ගැටලුත් ඇති වෙනවා. ඉතින් පැටියා පොඩ්ඩක් ලොකු වෙලා දවසක් පාරෙ ඇවිදින්න යද්දි එළාරගෙ පුතාගෙ කරත්තෙට අහුවෙනවා..පැටිය මැරෙනවා..එළාර තීරණය කරනවා පුතාවත් ඒ මම මරන්න .. ආං ඒමයි වෙන්නෙ..

ඌ- අන්තිම ටික ටිකක් ඉක්මන් වැඩියි වගේ. පාලුනේ..

මම - නෑ නෑ මේමනෙ වෙන්නේ.. පැටියව මරන තැනයි එළාරගෙ පුතාව මරන තැනයි දර්ශන දෙක අතරවාරයට මේම එකක් වෙනවා. හොද අලුත් සිවුරු ඇඳපු හාමුදුරු පන්සීයක් විතර තැන තැන වාඩි වෙලා පිරිත් ගායනා කරන දර්ශන පෙලක් දානවා. පැටිය මරද්දි පැය බාගයක් පිරිත් කියනවා ..පුතා මරද්දි විනාඩි හතළිස් පහක් පිරිත්..ඕම බලද්දි පිල්ම් එක පැය හතරක් වගේ තියෙයි..

ඌ --උටා ..මරුනෙ ඕයි!!!


- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

Thursday, January 12, 2017

තාත්තාගේ කපුටු කූඩුවේ පුත්‍රයා දැමූ කොවුල් බිත්තරය ‘ආලෝකො උදපාදී ῝




ග්‍රන්ථාරූඨ ඉතිහාසය ගවේෂනය කිරීම යනු සැබැවින්ම නිර්ර්ථක ප්‍රයත්නයකි. එයට හේතුව වන්නේ අතට පහසුවෙන් හසුවන තන, තට්ටම් ආදිය පිරිමදින බසයේ ජැක් ගසන්නා මෙන් රජවරුන්, සෙනෙවියන්, රූබර බිසවුන්, සහ නම් දැරූ කවටයන් සහ සල්ලාල සෙනෙවියන් ආදී කුමන හෝ සමාජීය ඉස්මතු වීමක් ලද්දා වූ පිරිස් හැරුණු විට, දේශපාලනික පසුබ්මි කතන්දර වල සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතවලට නියමිත අගය නොලැබෙන බැවිණි. 

Sunday, January 8, 2017

මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න



මේක මාර බෞද්ධ රටක්ය. හැම තැනම කොඩි වැල්ය. රෙදිවැල්ය. සාධූ කාරය. පන්සල්වලට මල් පුදා ෆීල්ම් හෝල් වලට සාදුකාර තියන්න පුලුවන් තරමටම බුදු බණ වෑහෙනවාය. අටලෝදහම දන්නෙ නැති , පිදුරු කකා ගාලේ ඉන්න ඕන එවුන් චිත්‍රපටි කරන්න ගියාම අපිත් ඕවා බලනවාය. ඉතින් අපි අපටම කෙවිටෙන් තලාගන්නට ඕනය. හැබැයි ඉතින් අපට ඒන විදිහට ඒ ගැන ලියන්න කතා කරන්න තහනම්ය.

කෝල් එනවාය. කෝල් එවනවාය. ශරීර ඇප තියාගෙන ඒවා පාවිච්චි කරනවාය. චිත්‍රපට කර්මාන්තයට කෙළවෙන්නේ මෙවන් හරක් නිසාය. උන් පසු පස ඉන්නේ මීහරක් ව්‍යාපාරිකයන්ය. උන්ට අවශ්‍ය මනුෂ්‍යයන් නොවේ. මිනිස් ද්‍රව්‍යයන්ය.ඔවුහු ඒ ද්‍රව්‍ය භාවිත කරන්නේ තමන්ට උවමනා හැටියටය. මට මිනිස් ද්‍රව්‍යයක් වන්නට බැරිය. 

වරක් මට Satyajit Maitipe චෝදනාවක් කළේය. ඒ හඳගම සහ ප්‍රසන්න උඩදමනවා කියාය. ඔවු මම මීට පස්සේ එයාලව විතරක් උඩදානවාය. මොකද ඒ අයගේ එුවවාට මොන දේ ලීවද කිසි ගැටලුවක් එන්නේ නැත. සේපාල් අමරසිංහ ගෙන ගිය කැම්පේන් එකේදී හඳගම සිටි නිසල ස්වභාවය මතක ඇතැයි සිතමි. විචාරක යා හරි ප්‍රේක්කෂයා හරි ලියන්නේ ඌට ඕන දේය. අධ්‍යක්ෂට හරි ඒකාගේ අම්මට හරි ඕන දේ මම ලියන්නේ නැතිය.. බූරුවන්ට පිදුරු මිස වටලප්පන් කවා වැඩක් නැත.සතා කවුදැයි නොදැන කිසි කලෙක මොනම ලියවිල්ලක්වත් යළි ලියන්නේ නැත.. 

ඔය කියන එක මහජන ප්‍රදර්ශනය නොකර රෙද්දක ඔතා තියා ගන්න කියා අධ්‍යක්ෂකට කියනවා නම් වඩා හොදය. රෙද්ද අස්සේ විචාර ඇත්තටම මම දන්නේ නැතිය. ඒ ඇත්තෝ හිත රිද්දාගත්තාට මන්දබුද්ධිකයෝය කීවේ නිකම් නෙමේය...!!! 

( දැන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින් වතුන් තුන්පාරක් සාධු කාරයක් දීලා ටොක්කක් ඇනන් ආයෙමත් නිදා ගන්ට..!!! ඕං මං ගියා..!!

Thursday, January 5, 2017

විරහවද ගීතයකි.

 


අතර මග යන එන විට ඇසුනොත් මිස මම ගීත අසනවා ඉතා අඩුය. එයට හේතුව කාලය පිළිබද ඇති ගැටලුවයි. නමුත් ගීතයක් විදින්නට ආශාවක් පහළ වූ විට මා ප්‍රිය කරන ගීතයක් තෝරා ගෙන අන්තර්ජාලය ඔස්සේ විඳිනවා විනා, ගුවන් විදුලියට හෝ රූපවාහිනියට වැය කරන්නට කාලයක් ඇත්තේම නැත. නමුත් නව පරපුරේ ප්‍රේම ගීතයක් අහම්බෙන් හෝ ඇසූණු දවසක ඒවා අලුත උපන් දරුවන් වාගේය. එකිනෙකින් වෙන්කර හදුන්නනට බැරිය. කටහඩවල් වලද අනන්‍යතාවක් නොමැත. ගායන විලාෂය සැලකූ විට විලාපයන් සේය. මේ වැලපිලි ගායනා අසා සිටි මට සිතුණේ මේ ගායකයන්ගේ පෙම්වතියන් ඔවුන් හැර දමා යාම පුදුමයක්ද කියායි. 

Sunday, January 1, 2017

තෑග්ගක බරපතල කම



ඊයේ මොහොමඩ් ෆර්ෂාන් නමින් සමාජ සේවකයකු ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කරන වංචනිකයකු, ජංගම දුරකථනයක් ලබා ගැනීමක් සම්බන්ධව ප්‍රශ්න කරද්දී, ඔහු මගෙන් මෙසේ ඇසුවේය.

 ඒක තෑග්ගක්.. ඇයි? ඔයාට තෑගි ලැබිලා නැද්ද?

ෆර්ෂාන්ගේ ක්‍රියාව වංචාවකි. එයට නිසි පිළිතුරු ලබා දී රාත්‍රියෙහි ඇදෙහි වැතිරී දෙනෙත පියා ගත් මම, මා විසින් ජීවිතයෙහි ලද ත්‍යාගන් පිළිබඳව කෙමෙන් සිහිපත් කළෙමි්‍. කුඩා විය වැඩුණු විය ආදී හැම අවදියම කෙමෙන් නිරාවරණය වන විට ඒ තිළිණ ලද සෑම මොහොතකම ඉසුයුම් සිනහවක් හදවතෙහි නැගෙන්නට විය .එය අතිශය සාමකාමී සහ නිදහස් හැගීමකි. නමුත් ඒ සියලු සමරු සටහන් එකින් එක මනසින් කියවා බිමින් තැබූ විට හදවතෙහි වූයේ පරිපූර්ණ හිස් බවකි. හරියටම ක්‍රමාණුකූලව නොඇසි රෑ අල්මාරියක් මුළුමණින්ම හිස් කළාක් බදු හැගීමකි. ඉන් පසු මම මට වඩාත් අනුස්මරණීය ත්‍යාග මොනවාදැයි හදවතින් ප්‍රශ්න කළෙමි.