Realtime website tracking softwareRealtime website tracking software

Sunday, January 22, 2017

තාත්තේ මම ඔබේ දියණියයි



ඊයේ රාත්‍රිය පුරහම මම අතීතය තුළ මනසින් සැරිසැරුවෙමි.මා මෙසේ මනසින් අතීතය තුළ අතරමං වන්නේ ජීවිතය කඩඉමක් කොට දකින අවස්ථාවලදීය‍. මිය ගිය ද මනුෂ්‍යයන් අතර වූ අමරණීය බැඳීම් කිසිදා නොලිහෙන බව මගේ විශ්වාසයයි. අදටත් මම මගේ හදවත මුළුමණින්ම විවර කොට තාත්තාගේ ආත්මය ඉදිරියේ තබමි. ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථා මා ජයග්‍රහණය කළේ එසේය.මගේ හදවත බොහෝ විට නතර වන්නේ මා වයස අවුරුදු අටක් පමණ කුඩා දැරියක ව උන් කාලයේය. එවක අපි පදිංචිව හුන් තාත්තාගේ මහ ගෙදර තරමක් ඉඩ කඩ ඇති නිදහස් අවකාශයක් තිබූ නිවහනක් විය. එහි බිත්ති අල්මාරියක් පුරවා විවිධ වාර ප්‍රකාශන , රැසියානු පරිවර්තන ආදියපුරවා තිබිණ. අපගේ ගෘහ ජීවිතය කලහකාරී නොවූ සාමකාමී වටපිටාවක ගෙවී ගියෙන් නිදහස් දවස්වල මමත්, අම්මාත් තාත්තාත් රසවත් පොතක් තුළ හුදකලා වීමු. එකිනෙකාට ගරුකරන්නට කලාව අගයන්ට මම සැබැවින්ම උගත්තේ තාත්තා ගෙනි.

එකළ එළැඹෙන සති අන්තය යනු මගේ සිහිනයකි. දහම් පාසල් යෑම නිවන් මගට පාරක් නොවන බව දැන හුන් තාත්තා මට කිසිදා ඒවාට බල නොකලේය. 

උඹට නිවැරදි විදිහට පේන පාර තමයි උඹේ විමුක්තිය කෙල්ලේ..

ජීවිතය පිළිබඳ ඔහුගේ දර්ශනය එබන්දක් විය. බොහෝ සති අන්තයන්හි තාත්තාගේ සුන්දර යහලුවෝ අප ගේ නිවසට ආහ. ආලින්දයේ වූ වේවැල් පුටු රවුමකට තබා ඔවුහු බොහෝ දේ කතා කළහ. එකී සංවාද සාහිත්‍යය රසයෙන් පිරුණු අතිශය සුන්දර එ්වා විය. කුඩා දැරියක වුවද මම ඒ කතා අසන්නට ප්‍රිය කළෙමි.මන්ද ඔවුහුද එදවස කතා කලේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා නොවුණු බැවිනි..තාත්තා කිසි දා කිසිවක් හඹා නොගියේය. නාට්‍ය කාරයකු , ලේඛකයකු වශයෙන් බොහෝ දුර ගමනක් යන්නට හැකියාව තිබියදීත් ඔහු රස විදීම තම හදවතට පමණක් සීමා කලේය. මා පැටි වියේදී අප නිවසට මෙසේ පැමිණි ඔහුගේ යහලුවන්ගෙන් එක් අයකුගේ පුත්‍රයකු මගේ සීනියර් බැචෙකු වී විශ්වවිද්‍යාල ජීවිතය තුළ දී හමු වීමද ආශ්චර්යයකි. ඔහු අද කැළණිය සරසවියේ සමාජ විද්‍යා කතිකාචාර්යවරයකු වන සුධීර ජයවීරය. තමන්ගේ දූ පුතුන් ඔවුහු මෙන්ම සාහිත්‍ය කාමීන්ව එකිනෙකා හා අවබෝධයෙන් මිතු දමක වෙලෙන්නට ඕනෑ බව සිහිනයක්ව පැවති බවත් අද එය සැබෑවක් වීම ගැන තමා සතුටු වන බවත් සුධීර අයියාගේ පියා මගේ තාත්තාගේ අවමංගල සභාවේ ප්‍රකාශ කරන තෙක්ම මගේ සීනියර් යහලුවා මා පැටිවියේ නිවසට ආ පියාගේ මිතුරකුගේ ප්‍රත්‍රයකු බව නොදැන සිටියෙමි.

තාත්තාගෙන් මා උගත් හොදම පාඩම අත්හැරීමේ සහ ආදරය කිරීම පිළිබද ගැඹුරු දර්ශනයයි. ඔහු වැඩි කතා බහකින් තොර හොද පෞර්ෂයකින් යුතු සුන්දර මිනිසකු විය. කතා කළ යුත්තේ කුමක්ද නැත්තේ කුමක්ද යන්න ඔහු හොදින් දැන සිටියේය. ගැහැනු ළමයා පිළිබද පොදු සමාජ සම්මතය තුළ කූඩු කරන්නට ඔහු කිසි කලෙක ප්‍රිය නොකලේය.

උඹේ සීමාව පේන්නෙ උඹේ ඇහැටයි. අනුන් ලකුණු කරන රවුමක උඹ දුවන්න ගියොත් හෙම්බත් වේවි පුතේ..අළුත උපන් වහු පැටවු බලාපන්.. දෙපාරක් හිතන්නැ..කකුල් පණ ආව ගමන් දුවල යනවා.. තමන්ගෙ ජීවිතේ තමන්ගෙ. ජීවත් වෙද්දි හරි යන තැන් තියෙයි තවත් සමහර වෙලාවට වරදියි.. ඒ හැම දේම කවදහරි උඹ තනියම බාර ගන්න ඕන..ඒක තමයි ජීවිතේ..

සිද්ධාන්ත ලෙස පාඨශාලීයව ඉගන ගත් බොහෝ දෑ අමතක වුවත් තාත්තා උගැන්වූ ජීවිතය පිළිබද මූලධර්ම කිසි කලෙක මට අමතක නොවුණේය. කිසිවක් හඹා නොගියෙන් තාත්තා මහා කලාකරුවකු වූයේ නැත. සාමාන්‍ය මිනිසකු ලෙස වුවත් ගම්මුන්ගේ ආදරය මැද අවසන් ගමන් ගියේය.. ඔහු ගේ මිතුරන් අතරින් කීර්තිමත් මිනිසකු ලෙස දුර ගමනක් යාමට වරම් ලද්දේ තාත්තාගේ ජේෂ්‍යට පාසල් මිත්‍රයකු වූ තිස්ස අංකල් ය. ඔහු පසුකලෙක මට මුණ ගැසෙන්නේ ජ්‍යේෂ්ට මහාචාර්ය තිස්ස කාරියවසම් ලෙසය.මා සරසවියට ආ පළමු දින නවක අභිනන්දන වැඩ සටහනට සිටි ප්‍රධාන දේශකයා ඔහුය . එදින අපේ අම්මා තාත්තා ට මෙසේ කීවේය..

තිස්සට පොඩ්ඩක් කෙල්ලව අදුන්වල දෙන්නකෝ.. එතකොට එයා ටිකක් මෙයා ගැන බලයිනේ..ජනසන්නිවේදනය වගේ විෂයක් මෙයා කරන්නත් ආසයිනේ.. ටිකක් බලයිනේ..
අම්මාගේ වචන යනු මගේ කේන්තිය අවුස්සන ඒවා බව තාත්තා දනී.ඔහු ඉතා නිවුණු පිළිතුරක් අම්මාට දුන්නේය..

කාගේවත් බැල්ම වැටෙන්න මගේ කෙල්ල ආතුරයෙක් නෙමේ. එයා ව අනෙක් මිනිස්සු අදුනගන්න ඕන කිසියම් අනන්‍යතාවක් ඇතුළෙ. කවද හරි එයා ඒක තනියම කරගනීවි. අපි ඔය වැඩසටහනට යන්න ඕන නැහැ. දැන් එයාට එයාගෙ ජීවිතේ බාර දීල අපි මෙතනින් යමු..

අම්මාගේ හීනය වූයේ තිස්ස අංකල්ගේ බැල්ම ඇතිව මා ජනසන්නිවේදන පොරක් වීමය. ඒ නිසාම මම මුළුමණින්ම වෙනස් විෂයක් වූ ආර්ථික විද්‍යාව උපාධිය සඳහා තෝරා ගත්තෙමි. එය අම්මාගේ චිත්ත ප්‍රීතිය මුළුමණින්ම විනාස කළ තීරණයක් වුවද තාත්තා ඉන් උද්දාමයට පත් වූ බව මම දනිමි. මුග්ධකමද මනුෂ්‍යයකු අවශ්‍ය වෙලාවට භාවිත කළ යුතු එක්තරා උපක්‍රමයක් බව ඔහු මට උගන්වා තිබිණි. නමුත් සාහිත්‍යය උළෙලවල් වලදී තිස්ස නම් ගුරුවරයාගේ ප්‍රශංසාවට ලක්වන්නටද මම භාග්‍යවත් වීමි.නමුත් ඔහු මිය යනතෙක්ම මා කාගේ කවුදැයි නොදැන සිටියේය. නමුත් ඒ මොහොතවල් වල ගුරු ගෝලයන් ලෙස ගොඩනගා ගත් අනන්‍යතාවය අප අතර වෙනත් අමරණිය බන්ධනයක් ඇති කළේය. ඉතිහාසය එක් තැනකදී කඩා දැමිය යුතුය යන්න තාත්තාගේ මතය විය.

පුතේ ඉතිහාසය කියන්නෙ රටා දමාපු පැදුරක් වගේ. පැදුරක් වියද්දි කොන් කපල දානවා. අපි පැදුරක් වියන්නෙ මොකටද? බිම ඉදගන්නෙ ඇයි.කාටවත් යටත් වෙන අනුගත වෙන වෙලාවට පස්ස තියාගන්න කොන් කපල හදන පැදුරක් ඉතිහාසය. කවදාවත් ඉතිහාසයට වන්දනා කරන්න එපා. හැම වෙලාවෙම ජීවිතේ ඒ මොහොත උපරිම විඳින්න.. ඔයාට දැනෙන හැටියට..

ජීවිතය තුළ අන්ත අසරණවූ බොහෝ දවස්වල මම තාත්තාගේ හදවත ඉදිරියේ මගේ සිතිවිලි විදාරණය කළෙමි. ආදරය ශාපයක් වී බොහෝ දෑ අත් හරින්නට තීරණය කළ මොහොතේ මා මගේ ජීවිතය සකස් කළ යුතු ආකාරය සැලසුම් කලේ එසේය. කිසි ආකාරයකට ජීවිතය වරද්දාගත නොගත යුතුයයි සිතූ මම අධ්‍යාපනය සහ නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළට දායක වී සුන්දර ගමනක් යා යුතු බව මටම සපථ කරගත්තෙමි. වේදනා දුක් අනන්ත ආවද මට ඒවා නොදැනුනේය. තාත්තාගේ ආත්මය මා අත් නොහැරම සිටියේය.ඒ ආ ගමනේ අද වන විට මටම සතුටු වන්නට බොහො දෑ තිබේ. මා පශ්චාත් උපාධියකට අඩිතාලම් දැම්මේ වේදනා බර යුගයකය. එහි පළමු අදියරට සාර්ථකව මුහුණ දී දැන් අවසාන භාගයට එළඹ සිටිමි. මේ වන විට වේදනා සහ තැවුල් මා හැර ගොසින්ය. තාත්තා මෙන්ම වටිනාකම් සහිත මිනිසුන්ගේ ආදරය ඇසුර ලබන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඔහු කී බොහෝ දේ ඇත්තය.

මවගේපෙකණියෙහිම ඇලී සිටියේ නම් අපි තවමත් බිළින්දෝය. පෙකණියෙන් බිලිදෙකු වෙන් කරන්නාක් පරිදි අපි අපේ අතීතයෙන්ද මුළුමණින්ම ගැලවී වර්තමානය යනු කුමක්දැයි තනිවම සොයා ගත යුතුය.වර්තමානය නිවැරදිව හදුනාගත් තැන අනාගතය පිළිබදව එළඹ් සාංකාවද හිරු දුටු පිණි මෙන් සැණෙන් වියැකී යයි.සැබැවින්ම ජීවිතය යනු සුන්දර වස්තුවකි. නමුත් අප ආදරය කළ යුත්තේ ආදරයෙහි විටනාකම දන්නා අයකුටය.සුදුස්සාට සුදුසු දේ ප්‍රධානය කීරීමෙහිත්, අනෙකාට සබදතාවයකදී ගෞරවය කිරීමේත් පාඩම අපට අපේ ජීවිතය යළි ලබා දෙන ආශ්ර්යමත් ප්‍රබවයෝ වෙත්..සැබැවින්ම මම යළි ආලෝකය දකිමින් සිටිමි. මන්ද,

තාත්තේ.. මම ඔබේ දියණියයි...!!!

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

8 comments:

  1. අපේ තාත්තගෙත් සමහර තැන් මෙතනට යා වෙනවා.හොද ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. හැම තාත්ෙතක්ම දරුෙවක්ට සුන්දර වස්තුවක්..!!

      Delete
  2. උතුම් චරිතයක් ඔබේ පියා. අර වසුපැටියගේ ආදර්ශය අපූරුයි උපේක්ෂා. කවදත් වගේ මේ ලියමන රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි දුමින්ද මහත්තයා..

      Delete
  3. /////තාත්තාගෙන් මා උගත් හොදම පාඩම අත්හැරීමේ සහ ආදරය කිරීම පිළිබද ගැඹුරු දර්ශනයයි/////

    /////උඹට නිවැරදි විදිහට පේන පාර තමයි උඹේ විමුක්තිය කෙල්ලේ/////////
    ////උඹේ සීමාව පේන්නෙ උඹේ ඇහැටයි. අනුන් ලකුණු කරන රවුමක උඹ දුවන්න ගියොත් හෙම්බත් වේවි පුතේ/////

    ///හැම වෙලාවෙම ජීවිතේ ඒ මොහොත උපරිම විඳින්න.. ඔයාට දැනෙන හැටියට..////

    ////සැබැවින්ම ජීවිතය යනු සුන්දර වස්තුවකි. නමුත් අප ආදරය කළ යුත්තේ ආදරයෙහි විටනාකම දන්නා අයකුටය.සුදුස්සාට සුදුසු දේ ප්‍රධානය කීරීමෙහිත්, අනෙකාට සබදතාවයකදී ගෞරවය කිරීමේත් පාඩම අපට අපේ ජීවිතය යළි ලබා දෙන ආශ්ර්යමත් ප්‍රබවයෝ වෙත්..///////

    වෙන මොකුත් කියන්න දෙයක් ඉතිරිකරලා නැහැ. මමත් වැඩිමහල් දියණියකගේ පියෙක්. ඔබට ජයෙන් ජයම වේවා උපේක්ෂා.

    ReplyDelete
  4. ජීවතු අතර සිටින අපේ තාත්තාව සිහිවුණා. එයත් අනුන්ගෙ මුක්කුවලින් අපව ඉස්සරහට තල්ලු කළේ නැහැ. ගුරුවරයෙකු වුණත් කිසිම විශේෂත්වයකින් සැලකුවේ නැහැ. උපේක්ෂාගේ අදීන බවේ පදනම තාත්තා විය යුතුයි.

    ReplyDelete
  5. මම උපේක්ශෂාගේ ගැඹුරු අදහස් වලට ගරු කරනවා. පියාගේ චරිතයේ දාර්ශනීය සිතුවිලි සිත් ඇද ගන්නා ආකාරයට විග්‍රහ කිරීමට ඔබේ හැකියාව හරි අගෙයි. මා දියණියන් තිදෙනෙකුගේ පියෙක්. ඔවුන් තිදෙනාම විවාහ වී විදේශයක ඉතා හොඳින් ජීවත් වෙනවා. අපද මෑතක සිට ඔවුන් සමගයි. ඔබගේ පියා මෙන්ම මාද බොහෝ දේ අතහැර දමා ජීවිතයේ සැඳෑ කාලය විවේක සුවයෙන් ඔවුන් සමග ගත කරනවා. ඔබට සුබ අනාගතයක්.

    ReplyDelete