Thursday, January 5, 2017

විරහවද ගීතයකි.

 


අතර මග යන එන විට ඇසුනොත් මිස මම ගීත අසනවා ඉතා අඩුය. එයට හේතුව කාලය පිළිබද ඇති ගැටලුවයි. නමුත් ගීතයක් විදින්නට ආශාවක් පහළ වූ විට මා ප්‍රිය කරන ගීතයක් තෝරා ගෙන අන්තර්ජාලය ඔස්සේ විඳිනවා විනා, ගුවන් විදුලියට හෝ රූපවාහිනියට වැය කරන්නට කාලයක් ඇත්තේම නැත. නමුත් නව පරපුරේ ප්‍රේම ගීතයක් අහම්බෙන් හෝ ඇසූණු දවසක ඒවා අලුත උපන් දරුවන් වාගේය. එකිනෙකින් වෙන්කර හදුන්නනට බැරිය. කටහඩවල් වලද අනන්‍යතාවක් නොමැත. ගායන විලාෂය සැලකූ විට විලාපයන් සේය. මේ වැලපිලි ගායනා අසා සිටි මට සිතුණේ මේ ගායකයන්ගේ පෙම්වතියන් ඔවුන් හැර දමා යාම පුදුමයක්ද කියායි. 

ප්‍රේමය සුන්දර තනුවක් නම්, විරහව ද මිහිරි ගීතයකි. පෙම් බැඳීම යනු කලාවකි. එය කුමන මොහොතක කෙසේ ඇති වෙත්දැයි සිතිය නොහැකිය. නමුත් තමා ගේ සිහිනය හා සරිලන ප්‍රේමයක බැඳූණු විට එය රමණීය ප්‍රබෝධයක්ද ඇතුළු හදෙහි මරණිය වේදනාවක් ද එකවිට ඇති කරයි. නමුත් රමණීය වින්දනය පෞද්ගලික ප්‍රමුදිත භාවයෙන් ඉක්මණීන් අවසන් වන අතර හොඳ රසවන්තයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ, අහිමි වීම හෙවත් අනෙකා තමා සතු කර ගත නොහැකි වීමේ වේදනාවයි. ඔහු ප්‍රේමයේ මරණීය වේදනාව තුළීන් අවසානයේ ජීවිතයේ ආලෝකය සොයා යයි. පහත දැක්වෙන ගී පද රචනා ද්විත්වය විමසා බලමු.

01. පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..
 
02. සොඳූරිය ප්‍රේමිය දයාව පොඩ්ඩක් හිටපිය
අර ගස් මුල් අතරේ පෙම් කළ කාලය සිහිවිය
සොඳූරිය ප්‍රේමිය දයාව පොඩ්ඩක් හිටපිය
 
පළමු වැන්නට සඳහන් කළ සුනිල් සරත් පෙරේරා විසින් විරචිත ගේය පද රචනාව අරුමැසිය. එසේ වන්නේ ඔහු විසින් නිරූපිත ප්‍රේමය වඩාත් විචිත්‍ර වූවක් වන බැවිනි. ඔවුහු ද ගස් මුල් යට නිදහසේ ප්‍රේම කළහ. නමුත් ගේහසික වන්නට වරම් නොලද්දෝය. මේ ප්‍රේමවන්තයා විසින් පෙම්වතිය උදෙසා ලියා දෙන ලද්දේ කුඩා බිළිදකු නිදි ගන්වන්නට හැකි තරම් මුදු ගුණයකින් යුතු ගී වැල්ය. ප්‍රේමයෙහි අසිරිය පවතින්නේ දරාගැනීමේ ප්‍රඥාව මතය. සම්මත පවුල් රටාව තුළට අනුගත වූ සැණින් ප්‍රේමය බිඳී විසිරෙයි. පංචේන්ද්‍රීය මූලික නොවූ ප්‍රේමය සදාකාලිකව පවතී..

මෙහි දෙවැන්න චන්දු ද සිල්වා නොහොත් ජොලි සීයාගේය. මෙම පදරචනා දෙකෙහිම අනුභූතීන් එකමය. එනම් පෙම්වතියගෙන් විප්‍රවාසී පෙම්වතුන් දෙදෛනෙකු පිළිබද කතාවකි.නමුත් මෙම දෙවන ගේය පද රචනයේ දී පෙම්වතා විසින් අපගේ සිත තුළ මවන්නේ මරදානේ තාර වත්ත පැත්තේ වෙසෙන දාමරිකයෙකි. ඔවුන් ගස් මුල් වල ගෙවූ අතීතය පිළිබඳව එන්නේ සුන්දර ස්මරණයක් නොවේ. ජුගුප්සාජනක අමිහිරකි. එයට හේතුව අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීම යන කාරණයේදී කවියා හෝ ගේය පදරචයා ජීවිතය තුළ මෝරා නොවැඩීමයි. ඔහු පරිදේව දුක්ඛය, සංසවාය මෙන්ම විප්‍රවාසය ද ජීවිතය තුළින්ම ප්‍රගුණ කර තිබිය යුතුය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකය පොතෙහි වූ එක් සිදුවීමක් මට මතකයට නැගෙයි. ඒ ඔහුගේ යහළුවකු පිළිබඳ කතාවකි. සරච්චන්ද්‍රයෝ ශිෂ්‍යයකුව සිටි සමයේ ඔහුගේ මිතුරෙක් එක්තරා ගැහැණු ළමයෙක්ට ආදරය කළේය. ඔහු ඇයවම පතා ලිපි යවමින් සිහින දකිමින් කාලය ගත කළේය .නමුත් අය ඔහුව ප්‍රත්ක්ෂේප කළාය. ඉන් පසු කාලයක් යහළුවන් දෙදෙනා මුණ නොගැසුනේලු. වසර කිහිපයකට පසු එක් දිනක් හදිසියේම සරච්චන්ද්‍රයන් හමු වීමට ආ පෙර කී යහළුවා ඔහු අත නිහඩවම පොතක් තැබුවේලු. විමතියට පත් සරච්චන්ද්‍රයෝ එය පෙරළා බැලුවේලු. එය සුන්දර කවි රැගත් විශ්මිත කවි පොතකි. සියළු කවි ලියවී තිබුණේ පෙම්වතිය උදෙසාය. විරහව ශෝකයක්ව කරුණ රසය බවට පරිවර්තනය වී පැවතිණ.පොත කියවා නිමවූ සරච්චන්දුයෝ යහලුවාගෙන් ඇසුවේ මෙබන්දකි.

ඒ කියන්නේ අවසානෙදි ඔහේට ඒ කෙල්ල ආදරය ප්‍රකාශ කළා ?

ඔව්..ඒත් මේ ළගදි්‍නේ... මම ඔය කවි ලිව්වෙ එයා මාව ප්‍රතික්ෂේප කරපු කාලයෙ... ඒ කාලයේ මට දිගට ලියන්න පුළුවන් වුණා.. කවියෙක් වුණාට පස්සෙ එයා මට ආදරය පළ කළා.. ඒත් දැන් මම කැමතියි එයාගෙ ආදරය පිළිඅරන් සතුටු වෙන එකට වඩා මේ විරහව තුළ රැදෙන්න..මට කවි ලියන්න පුලුවන් එතකොටයි..

යහළුවාගේ කතාව ඔහුට කල්පනා ලෝකයේ සැරිසරන්නන් හෙවත් රචකයාගේ ලේඛකයාගේ සහ රසවන්තයාගේ කාර්යභාරය යනු කුමක්ද යන්න පිළිබඳ කදිම පාඩමක් විය. කොන්ස්තන්තීන් පවුස්තවුස්කිගේ රන්රෝස කෘතියෙහි එන ෂෝන් ෂාමීට් විසින් සුසේන් කෙරේ දක්වන ආලය කෙබඳුද? එය අරුමැසි ප්‍රේමයකි. ඔහු ඇගේ ජීවිතයේ අරමුණු අහුරා ගන්නකු නොවෙයි. නමුත් ඇයගේ සන්තුෂ්ටිය පවතින සිහිනය සපුරා දෙන අටින් ස්වකීය ජීවිතය වැය කරයි. ෂෘමීට් රන් සාප්පු අතුගා ඉවතලන කුණු පොලා එකතු කර තනන රන් රෝසමල වඩාත් බබළන්නේ ද එබැවිනි. ප්‍රේමය යනු විප්‍රවාසී වීමේ මරණී්‍ය වේදනාව තුළීන් රසවන්තයකු, ලේඛකයකු හෝ දාර්ශනිකයකු බිහිකරන මාවතයි. එය පසුකලක දයාවේත් භක්තියේත් අනුස්මරණයේත් දර්ශනයක්ව විශ්වකේන්ද්‍රීයව පවතිනු ඇත..

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

16 comments:

  1. විරහව ගී උල්පතක්, නිර්මාණ උල්පතක් කියලා මාත් පිළිගන්නවා, උපේක්ෂා. විරහවක් දැණුනාම ඒ මතුවෙන හැඟීම වචනෙකට පෙරලුණාම පොඩි සැනසීමකුත් දැනෙනවා. මම එහෙම වෙලාවක ලියූ නිර්මාණ බොහොමයක් මගේ බ්ලොගයෙත් දැම්මා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේම ස්තුතියි ඔබට.. ඒ ලියවිලි වල ලින්කුවක් මෙතනට එල්ලන්නේ නම් මැනවි..

      Delete
  2. මගේ විරහවට කවි ලිව්වානම් මට කවි පොත් කීපයක්ම ලියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ..

      Delete
    2. පවුල් ජීවිතේ රැකගන්නත් ඕනනේ හිටං

      Delete
  3. මල්ගොමු අස්සේ
    ලියගොමු අස්සේ
    පතෝල මැස්සේ
    ඉඳළයි බැස්සේ
    තෙමි තෙමි වැස්සේ
    පෙම් කළ රිස්සේ
    නිකම්ම ගැස්සේ
    බැන්දට පස්සේ

    ReplyDelete
  4. ඔය දෙකම විඳින්න පුළුවන් නම් තමයි ඉස්තරන්..

    මම හිතන්නේ අමරදේව මහත්තයට ඒ ගුණේ තිබුනා..

    ඒකනේ එතුමා ඔය ගීතයට කොල්ලො (හෝ උඹ වගේ කෙල්ලෝ) හදාපු ඒවත් වින්දේ...

    පෙර දිනයක මා පෙම්කල හැතිරිය
    තවෙකෙකු දක්කනවා
    මගේම කලිසම ගජේට ඇඳගෙන
    උගේ වගේ යනවා...

    පෙර දිනයක මා පෙම්කල යුවතිය
    රටකජු විකුනනවා
    මගේම ලියුමක් ගොට්ටක් ගහලා
    රටකජු මට දෙනවා
    රටකජු කන්නද ලියුම කියන්නද
    මගෙ සිත විමසනවා
    මගේම ලියුමේ මක්කා බලන්නද
    මම රටකජු කනවා..

    උඹ අහලා තියෙනවද ජොලි සීයගෙම බජාර් එකේ ලලක්කා සින්දුව..

    ආන් විප්ලවීය ගීත..

    ReplyDelete
    Replies
    1. ලලක්කා ගීයට මම කැමතියි ..මම හිතනවා ගණිකාවක් ගැන කියවුණු හොදම ගීතය ඒක.. ඔහු ඒක කියද්දිම ලලක්කව මැවිල පේනවා

      Delete
    2. ඔය දෙකම විඳින්න පුළුවන් නම් තමයි ඉස්තරන්..


      ********

      Delete
  5. සුනිල් පෙරේරා සහ නිහාල් නෙල්සන් කියන්නෙ අඩුවෙන් තක්සෙරු වුණ මරු ගායකයො දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ඔවු තරිදු.ඔයා ඕක කියද්දි මට කතාවක් මතක් වුණා. වර්තමානයෙ ගී පද රචකයා පද රචනයක් කරලා ගායිකාවටත් ගෙවලා රූපරචනයටත් ගෙවලා අන්තිමේ සින්දුව ගායකටම දීල නිකම් ඉන්නවා. ගොඩක් අය නවක ගී පද ගන්නෙ ඔය විදිහට ..නමුත් මම දන්න තරමට සුනිල් පෙරේරා තාමත් තමන්ගෙ ගී ලියපු අයට කතෘභාගෙ ගෙවනවාලු පඩියක් වගේ.. ඉතින් නවක පදරචිකාවක් දවසක් ලස්සන ගී පද රචනයක් දාල තිබිලා මම කමෙන්ට් කළා මෙය ගීයක් කරන්න කාට හරි දෙන්න කියලා.. ඇය මේ ප්‍රශ්නෙන් බැට කාපු කෙනෙක්.. ඇය එක්වරම කමෙන්ට් කලා සුනිල් අයියට තමයි දේනන වේනනෙ කියලා..මොකද ඔහු පමණයි හරියට කතෘ බාග ගෙවන්නේ...

      Delete
  6. විරහවද ගීතයකි.අනිවාර්යයෙන්ම.

    ReplyDelete
  7. නිර්මාණ දිහා බලද්දි විරහව වඩාත් ප්‍රොඩක්ටිව්.

    ReplyDelete
  8. විරහවද රසයකි. එය විඳ දරා ගැනීමට තරම් හදවත් සංවේදී විය යුතුවේ.

    ReplyDelete
  9. දැන් ඔයා කියන විදිහට අමරදේව කිව්ව එක තමයි සින්දුව....ජෝලි සීයාගේ සින්දුව සින්දුවක් නෙවෙයි......ඔය එක එක ගුරුකුලවල අර‍ටු බැහැපු අය දේසනා කරන විදියට ලංකාවේ පොරවල් කලාව ජීරණය කර ගත්තා නම් අද වෙනකොට ජෝතිපාලලා,මිල්ටන් පෙරේරා,ක්ලැරන්ස්ලා මලගිය භූතාත්ම වෙලා තියෙන්න ඕනෑ.....අපට නමේ ඒ ඒ වෙලාවට ඔය ගොඩක් කෑම ජීරණය කර ගන්න පුලුවන්......ගල් වගේම ඩබල් බ්ලැක් ඕනා දෙයක්.....

    ReplyDelete