Realtime website tracking softwareRealtime website tracking software

Saturday, May 27, 2017

සාහිත්‍යය ඔස්සේ බුදුන් දැකීම...




බුදුන් යනු ගැමියා වචනාර්ථයෙහි ආශ්චර්යය තුළින් දුර්වල මනසක් හිමි මනුෂ්‍යයාගේ මනසෙහි මවන ලද්දා වූ විචිත්‍ර වූත් අනුහසාත්මක වූත් නායකත්වයකි. බුදුන් දුටු කිසිවෙක් නොමැති මුත් බුදු කෙනෙකුන් පිළිබද මනෝමය සිහින ගොඩ නංවා ගැනීමට ලාංකිකයාට ඉවහල් වූයේ බුදු සමය විසින් තිළිණ කළ සාහිත්‍යයි. මහින්දාගමනයත් සමඟ ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික පුනරුදයක් ඇති විය. ඉන්පසු සියලුම කලා ශිල්ප, අධ්‍යාපනය, ආර්ථිකය ,දේශපාලන සහ භාෂා ශාස්ත්‍රාදියේ ද දියුණුව ඇති වීම නිසා සාහිත්‍ය ලේඛනයට වැඩි වටිනාකමක් හිමිවිය. නමුත් මෙම පුනරුදය විදේශීය ආක්‍රමණ නිසා පසුකාලීනව කිසියම් පරිහානි තත්වයකට පත් වූ අතර නැවත වරක් ලංකාවෙහි බෞද්ධ සංස්කෘතික පුනරුදය ගොඩ නැගෙන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය. 

පශ්චාත් යුධකාලීන සමාජ පසුබිමක් තිබූ ලංකාවේ ජනසමාජයකට සංස්කෘතික සාහිත්‍යය ආභාෂයෙන් සිදු කළ බරැති භාෂා උපක්‍රම වලින් යුතු සාහිත්‍යයක් තවදුරටත් අවශ්‍යය නොවීය. එම රික්තකය හඳුනාගෙන සමකාලීන සමාජ ගැටලු බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරය සහ සාහිත්‍යමය ප්‍රතිභාව ඒකාත්මික කොට ලේඛණයේ නිරත වූ ධර්මසේන හිමියෝ ගැමියන් ඇසුරෙහි ජීවත් වූ අව්‍යාජ හිමි නමක වූහ. කිසි කලෙක පදවි තානාන්තර ලුහුබැඳ නොගිය උන්වහන්සේගේ සාහිත්‍යය මෙතරම් රසවත් වූයේ ගැමියන් ඇසුරෙහි ඔහු ලද අත්දැකීම් සහ ජීවිත පරිඥානය නිසාය. ‘ ධර්මසේන ස්ථවිරයන් තරම් කථා කීමෙහි ශූරයෙක් සිංහල ග්‍රන්ථ කාරයන් අතර නොවීය. කථා කීමෙහි ශුරයකු වූ ධර්මසේන ස්ථවිරයන්ගේ රීතිය ඇතැම් විට එකල ගම කථා කීම කලාවක් මෙන් පුරුදු කළ වෘද්ධ ගැමියන් විසින් නිපදවන ලද රීතියට බෙහෙවින් සමාන වූවකි. (වික්‍රමසිංහ, 2011.පි.අ. 133) මෙසේ ගැමි ජීවිතය සහ, ගැමියාගේ මනස වටහා ගත් ධර්මසේන හිමියෝ සාහිත්‍ය්‍ය නිර්මාණ තුළ බුදු රැව මවන ලද්දේ ගැමියන්ගේ අපේක්ෂාවේ ස්වභාවයන් හදුනාගනිමිනි..

සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් සේවනය කරන පාඨකයා හෝ ශ්‍රාවකයා හැමවිටම ස්වකීය ධර්ම සහ ශාස්ත්‍රීය ඥානය ගොඩ නැංවා ගැනීම, සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගැනීම, ආකල්ප සංවර්ධනය, රසාස්වාදය, කෘතියෙහි සම්පාදිත ධර්මෝපදේශ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම සහ භාව විරේචනය යනාදී ගුණාංග කෘතිය තුළින් අපේක්ෂා කරනු ලබයි. නමුත් බුදු දහමේ බලපෑම තුළින් බිහි වූ ඇතැම් සම්භාව්‍ය සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමෙන් ඉහත අරමුණු සාධනය කර ගත හැකි නොහැකි වූයේ ඒවා ‘ධර්ම ප්‍රචාරණය’ නමැති පටු රාමුව තුළ දැඩිව සිරගත වීම නිසාය. නමුත් සද්ධර්ම රත්නාවලිය ඒ සඳහා මූලාශ්‍ර වූ පාලි ධම්ම පදට්ඨ කතාවෙන් මුළුමණින්ම ස්වාධීන වූ කෘතියක් විය. මෙම ස්වාධීනත්වය කරා කතුවරයා පහසුවෙන් එළඹෙන්නේ තමා සතුව තිබූ සමාජ පරිඥානය සහ ගැඹුරු පරිකල්පන ශක්තිය තුළිනි. උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළ කාලයක් තිස්සේ පැවත ආ පුවතක් වුව ස්වකීය නිර්මාණය තුළ ඒ ආකාරයෙන්ම නිරූපණය නොකරයි. ඒ වෙනුවට සිදු කරන්නේ මෙතෙක් සමාජගතව තිබූ ප්‍රවෘතියක් තමාගේ ව්‍යුත්පත්තියක් ලෙස උපයෝජනය කරමින් පරිකල්පනීය චරිතයක් හෝ සිදුවීමක් අලුතින් ම කෘතිය තුළ මැවීමයි.

සද්ධර්ම රත්නාවලියෙහි එන සෑම කතාවක්ම නිර්මාණය වී ඇත්තේ කිසියම් ධර්ම පණිවිඩයක් සමාජගත කිරීමේ මූලික අභිලාෂය ඇතිවය. එම නිසා ධර්මදේශනා රීතිය උපයෝගී කරගන්නා ධර්මසේන හිමියෝ එහි එන සෑම කතාවස්තුවකම ආරම්භයෙහි එකී කතාව ඉදිරිපත් කිරීමෙහි අභිලාශය සෘජුව සඳහන් කරයි. ඒ අනුව සද්ධර්මරත්නාවලියෙහි එන බොහෝ කතන්දර ආරම්භ වන්නේ සමස්ත කතාව පිළිබඳ පැහැදිලි අදහසකට පාඨකයාට හෝ ශ්‍රාවකයාට සෘජුව එළඹිය හැකි පරිදි කථාවෙහි සාරය ඇතුළත් කොට ලියැවුණු කෙටි වාක්‍යයකින් හෝ දෙකකිනි. ‘තවද ඊර්ෂියාවෙහි නපුර දක්වන්නට එක්තරා ස්ත්‍රියකගේ වස්තුව දක්වමු..’ ( සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 1018 ) . ‘ තව ද බණ අසා ඒ වූ පරිද්දෙන් පිළිපදුත් මුත් නොපිළිපැදීමෙන් ප්‍රයෝජන නැති නියාව දක්වන්ට ධර්මශ්‍රවණ වස්තුව කියමු.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 563) . ඒ අනුව ‘එක්තරා ස්ත්‍රියකගේ වස්තුවෙහි’ කතා සාරය වන්නේ ඊර්ෂ්‍යා සහගත වීමේ ආනිසංසය බවත් ‘ධර්මශ්‍රවණ වස්තුවෙහි’ අන්තර්ගත වන්නේ ඇසූ බණ නොපිළිපැදීමේ ඵලවිපාක බවත්, කතාව ආරම්භයෙහිදීම පාඨක ශ්‍රාවක දෙපිරිසට වැටහේ. ඔවුහු කතාව තුළට අවතීර්ණ වන්නේ එහි අන්තර්ගතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිවය.මෙහි සෑම කතා වස්තුවක්ම ප්‍රධාන අවස්ථා තුනකින් යුක්තය. එනම් වර්තමාන කතාව, සමෝධානය සහ උපදේශය යන කොටස් තුනයි. සෑම කතාවක්ම ආරම්භවන්නේ එම කතාව හා බැඳුණු අතීත සිදුවීම ඉදිරිපත් කිරීමට හේතු වූ වර්තමාන සිදුවීමකිනි. ‘කාලි යකින්නගේ වස්තුවෙහි’ දී වර්තමාන කතාවෙන් පසු එහි ප්‍රතිවිපාකය වශයෙන් ලද පුනරුත්පත්ති ආත්මය සමෝධානය කරයි. නමුත් ‘අජගර පේත වස්තුවෙහි’ දී පිඹුරු ප්‍රේතයා පිළිබද අතීත කතාව සමෝධානය වෙයි.මේ සෑම කතාවස්තුවකම අවසානයෙහි කිසියම් උපදේශාත්මක වැකියක් සදහන් වෙයි. ජාතක කතාවෙහි මෙන් කතාවසානයෙහි දී පූර්වාපර සන්ධි විග්‍රහයක් නොකරන අතර ‘උපදේශාත්මක වගන්තියක්’ සෑම කතාවස්තුවකම අගට එකතු කරයි. ‘කාලියකින්නකගේ වස්තුව’ අවසන් වන්නේ ‘ සිත් සතන් පිරිසිදු කළ මනා බැවින් බුදුන් කරා පැමිණෙන්නට ඒ බුදුන් පිරිනිවියත් මේ සද්ධර්මරත්නාවලී බුදුන් කරා පැමිණ ආදීනව අසා දත් වෛර හැර අනුසස් ඇසූ මෙත්සිත පිහිට ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු...’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 111) යනාදී වශයෙනි. ධර්මෝපදේශය පිණිස ශික්ෂාකාමී සහ ජීවිතාවබෝධයෙන් යුත්ක යතිවරයකු විසින් විරචිත සාහිත්‍යමය ග්‍රන්ථයක් තුළ බුදුවරයකු ට උරුම වූ ගැඹුරු ජීවන දැක්මක්, නුවණක් සහ ගැඹුරු ජීවිත පරිඥානයක් අන්තර්ගත වේ. එබැවින් අප විසින් අදහනු ලබන ඒ අගනා ධර්මය දේශනා කළ බුදුන් පිරිනිවන් පෑවද එම ධර්මයේ හරය අන්තර් ගත වූ සද්ධර්මරත්නාවලී නම් කෘතිය බුදුවරයකු වඳින සැදැහැවතකුගේ බඳු භක්තියකින් සහ ප්‍රඥාවකින් මනසින් වැඳ පුදාගන්නා ලෙස ‘කාලියකින්නගේ වස්තුව’ අවසානයෙහි උන්වහන්සේ සඳහන් කර ඇත. බුදුන් වහන්සේ යන සුවිශේෂ චරිතය පිළිබඳව ස්වකීය හදවතේ තමාට ආවේණිකවූ ආකාරයකට රූපයක් මවා ගැනීමට පාඨක ශ්‍රාවක දෙපිරිසට අවස්ථාව ලබා දෙන ධර්මසේන හිමියෝ ඇතැම් කථාවස්තු ඉදිරිපත් කරන්නේ පෙර පුවත පසු පුවතෙහි ව්‍යුත්පත්තියක් කර ගනිමිනි. ‘නාගසේන මහතෙරුන්වහන්සේගේ වස්තුව’ ට පසුව එන ‘ථුල්ලතිස්ස තෙරුන්වහන්සේගේ කතාවස්තුව’ ආරම්භ වන්නේ මේ ආකාරයෙනි. ‘තව ද යම් කෙනෙක් කීකරු නොවෙත් නම් කීකරු නොවීමෙහි දෝෂ මිළිඳු රජ්ජුරුවන් එක් ජාතියක දමන්ට කියාලු කසල පසුව දමතත්, කළ නොකීකරුකම නිසා එවක හැමඳ එක් කළ මුසුන් දඩු හරින් දැම්ම වූ නාගසේන මහතෙරුන් වහන්සේ දැක ගුරුළුන් දැක නයින්ගේ ආනුභාව නැති වූ වා සේ ආනුභාව නැතිව මිළිඳු රජ්ජුරුවන් බාගිය ගමනින්ම දැනෙතත් අනෙකුත් කතාන්තරයකින්ම ඊ ම දෝෂ දක්වනු පිණිස ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 95 ) සංසාරය තුළ මනුෂ්‍යයාගේ ආත්මය මෙන්ම සිදුවීම්ද පුනර් හට ගැනීම් ඇති බවත් පෙර හටගත් හේතුවක ඵලය ලෙස මනුෂ්‍යයාගේ වර්තමානය තීරණාත්මක විය හැකි බවත් මේ මගින් විෂධ කරයි. එය වඩාත් රසවත් කිරීම සදහා පන්සිය පනස් ජාතක පොතෙහි එන ඇතැම් කථා වස්තූන් නිදර්ශන ලෙස භාවිතා කරයි. ‘කාලි යකින්නගේ වස්තුවෙහි’ දී බුදුන් වහන්සේ පෙර අත් බැව් විමසන්නේ ජාතක කතා තුළින් අත්කරගත් ස්මරණයන් සහ ව්‍යුත්පත්තීන් සමග කාලි යකින්නගේ වෛරයෙහි ස්වභාවය ගලපමිනි. ‘ මේ තොපගේ වෛරයත් එන්දන ජාතකයෙහි කප මුළුල්ලෙහි නොසිඳී පවත්නා කෝම්ගස් හා වලසුන්ගේ වෛරය මෙන් ද , උදක ජාතකයෙහි කපුටන් හා බකමූණන්ගේ වෛරය මෙන් ද කප මුළුල්ලෙහි පැවත යන දෙයය.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014.පි.අ.108) මෙසේ නිදර්ශන සහ ආදර්ශ කතන්දර වලින් පිරුණු කෘතියක් රසවත්ව සභාවකට ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම පෙර ඇසූ කතාවක් වර්තමානයේ පරිශීලනය කරන කෘතියක් තුළින් අසන ප්‍රවෘතියකදී පුනර් ශ්‍රවණය කරන ශ්‍රාවකයා පෙර ඇසූ පුවතෙහි වූ රසය වර්තමාන කතා රසය තුළටම රැගෙන විත් තමන්ගේ ජීවිතය අරභයා තුලනාත්මක විමසුමක නිමග්න වේ.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි ධම්මපදට්ඨ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ආඛ්‍යාන රීතිය මගිනි. එහි දී කිසියම් දෙයක් සිදු වූ බව මිස සිදු වූ ආකාරය නොදැක්වේ. ධම්මපදට්ඨ කතාවේ එන ‘මට්ටකුණ්ඩලී වස්තුවෙහි ’ එන අදින්නපුබ්බක මසුරකු බව පවසන්නේ මේ ආකාරයටය. ‘තසෙසක පුතෙතා අහොසි; පියො;මනාපො;අථසස පිලන්ධනං කාරෙතුකාමො ‘සචෙ සුවණණකාරසසාවිකඛිසසාමි වෙතනං දාතබබං හචිසසතී’ ති සයමෙව සුවණ්ණ තොටෙටතවා මටටානි කුණ්ඩලානි කතවා අදාසි. තෙනසස පුතෙතා මට්ටකුණ්ඩලීතෙවව පඤඤායිතථ ( ධම්මානන්ද හිමි, 1913, පි.අ .12-13) මෙහි පවසන්නේ අදින්න පුබ්බකු මසුරකු බවත්, ඔහුගේ පුතා මට්ටකුණ්ඩලී බවත්ය. නමුත් ‘සද්ධර්මරත්නාවලී’ කතුවරයා ගැමියන් ඉදිරිපිට රූපණය කරන්නේ අදින්න පුබ්බක නම් සිටුවරයාගේ මසුරු කම තුළින් ‘මට්ටකුණ්ඩලී’ නම් සිටු පුත්‍රයා නිර්මාණය වූ ආකාරයයි. ‘උන්ගේ එක ම පුතණු කෙනෙක් ඇත. ජීවිතය සේ ඉතා ප්‍රියයෝය. ඒ ප්‍රිය පුතණුවන්ට ආබරණයක් කරවන්නට සිතා කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තෝ නුග ගස මහත් වුවත් නුග පලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස කුඩා බැවින් ආභරණ කරවන්නට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය. එසේ කලට නැතක් වී සාල් වියදම් වෙයි. නැවත කර්මාන්ත නිමවා දුන් කල මිලත් දිය යුතුය. දන්නා නොදන්නා තමා ම කරන කලට වියදම් වන දෙයක් නැත්තේ වේදැයි තුමූම රත්තරන් හැරගෙන අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි හඳනා සේ කුණ්ඩලාබරණ සේ තළාපියා දුන්හ. ඒ කුණ්ඩලාභරණය උරුට්ටු ආදී සූක්ෂම කර්මාන්ත නැති හෙයින් මට සිලිටු විය. එසේ හෙයින් කුමාරයන්ට මට්ටකුණ්ඩලී නම් තැබූහ.’(සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 55) අතීතයෙහි අදින්න පුබ්බක නම් සිටාණ කෙනෙකුන් සහ මට්ටකුණ්ඩලී නම් සිටුදරුවාණ කෙනෙකුන් විසීයයි කීවොත් එය කිසියම් සිදුවීමක් සිදුවූ බව කීමකි. එහි පවතින්නේ ප්‍රවෘත්ති වටිනාකමක් පමණි. නමුත් ධර්මසේන හිමියෝ සිටුවරයාගේ මසුරුබවෙහි ස්වභාවයත්, ඉන් ඔහුගේ පුත්‍රයා ‘මට්ටකුණ්ඩලී’ නම් වූ සැටිත් මෙසේ නාට්‍යානුරූපීව නිරූපණය කරයි. ගැඹුරු ජීවන දර්ශනයක් නොමැති එදිනෙදා පැවැත්ම තුළ සාමාන්‍ය මනුෂ්‍ය ධර්මතාවලට මුහුණ දෙන ගැමියාට අවශ්‍ය වන්නේ කිසියම් සංසිද්ධියක් තුළින් මනුෂ්‍ය ස්වභාවයක් නිර්මාණය වන්නේ කෙසේද යන අවබෝධයයි.
 
සද්ධර්ම රත්නාවලියෙහි විශිෂ්ටත්වයට හේතු වන්නේ ගැමි යෙදුම් සහ නව්‍ය උපමා බහුල වූ කාව්‍යාත්මක භාෂා භාවිතාවයි. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුවෙහි දී උන්වහන්සේ ගේ ශරීරයෙහි කුෂ්ඨ රෝගය පැතිර ගිය ආකාරය විස්තර වන්නේ පහත පරිදිය. ‘ කෙසේ ඇති වී ද යත් - හබ සා විතර සීන් කස් ඇතිව ලා පසු ව මුං සා ව , පසුව මෑ ඇට සාව, පසුව ඇඹුල සාව,පසුව බෙල් සාව,ලා පැසී ගොසින් පැළී සිල්වන්ට වන. සියල් සිරුර වේයන් කෑ පරඩැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. එවක් පටන් ඵූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධ වූ සේක. පසුව දවස් ගණනකින් ඇටත් බිඳින. බැලීමටත් අක්ෂම වූ සේක. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස්කා ගිය පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑත් බැලිය නොහී අත්හල සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නැතිව මඤ්චපරායනව හොත් සේක.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද, 2014. පි.අ. 340 ) මෙසේ විරාම නැති දිගුවැකි සහ උච්ඡාරණයේ දී උත්ප්‍රාස රසය ජනනය කරන සමාන ශබ්ද සහිත වැකි භාවිතා කිරීම නිසා දේශකයාට සියුම් රිද්මයක් සහිතව විරාම ලක්ෂණ තබමින් කිසියම් ලාලිත්‍යයකින් යුක්තව ලගන්නා සුළු පරිදි ශ්‍රාවක සමාජය වෙත කතාව ඉදිරිපත් කළ හැකිය. මුං සාව, ඇඹුල සාව, බෙල් සාව , වශයෙන් උත්ප්‍රාසය ජනනය වන ශබ්ද රටා සහ සිත් රූ මැවෙන උපමා භාවිතාව නිසා පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරයෙහි හටගත් රෝගයෙහි ස්වභාවය පිළිබද කරන විග්‍රහය ගැමි ශ්‍රාවකයා තුළ බුදු කෙනෙකු පිළිබඳව ඇති කරගත් චිත්ත රූපය මුඛපරම්පරාගතව බෞද්ධාගමෙහි සාරය නඩත්තුකළ ගැමියන්ගේ සහ චීවරධාරින්ගේ මායාමය ව්‍යාජෝක්තිවලින් බැහැරව ගැඹුරු ජිවන අවබෝධයක් බවට පරිවර්තනය වේ. ධර්මසේන හිමියෝ උපමා ලෙස භාවිතා කරන්නේ ගැමියා ජන ජීවිතය තුළ සත්‍ය වශයෙන් මුහුණ දෙන විවිධ භෞතික හෝ පාරිසරික වස්තූන්ය. පරසතු මල්, මකරා වැනි මායාමය සාහිත්‍යමය භාවිතාවන්ට වලට වඩා මුං, බෙලි, නෙල්ලි,වැනි ගැමියාට ව්‍යවහාරික ජීවිතය තුළ වඩාත් සමීප පාරිසරික වස්තූන් උපමා ලෙස භාවිතා කළ විට නිර්මාණයේ වස්තුවිෂය ගැමියාට වඩාත් සමීප වේ. ‘අනෙක් සිංහල ගද්‍ය ග්‍රන්ථ කාරයෝ පොතින් උපුටාගත් කතාවස්තු පොතින්ම උපුටාගත් උපමා උපමේය ආදීන්ගේ සංකලනයෙන් වර්ණනා කළහ. ධර්මසේන හිමියෝ පොතින් උපුටා ගත් කථාවස්තු තමන් අත්දුටු ජීවන ප්‍රවෘත්තීන් බහා විචිත්‍ර කරමින් වර්ණනා කළහ.’ (වික්‍රමසිංහ, මාර්ටින්. 1954, 142 ).

සද්ධර්මරත්නාවලිය ධර්මෝපදේශ ග්‍රන්ථයක්, සාහිත්‍ය ග්‍රන්ථයක් පමණක් නොව දඹදෙණි යුගයෙහි ආර්ථික සමාජ සංස්කෘතික සහ දේශපාලනික වටපිටාව පිළිබඳ පැහැදිලි කැඩපතක් ද වෙයි. දඹදෙණි යුගයෙහි සිංහල සමාජයෙහි පැවති විවාහ ක්‍රමය පිළිබද සංඥාර්ථයක් කාලි යකින්නගේ වස්තුවෙහි දක්නට ලැබේ . එනම් විවාහක ස්ත්‍රියක දරුවන් ලැබීමෙහි අසමත් නම් අන්‍ය ස්ත්‍රියක සරණ පාවා ගන්නට ස්වාමියාට පුළුවන. නූතන ලාංකීය සමාජයෙහි මෙන්ම පුරාණ සිංහල සමාජ ක්‍රමය තුළද විවාහය සහ පවුල් ක්‍රමය දරුවන් ලබා ගැනීම යන අරමුණ මත පදනම්ව පැවති අතර දරුවන් ලැබීමෙහි අසමත් ස්ත්‍රිය සමාජීය වශයෙන් යම් අසරණ භාවයකට පත් වේ. සිය ස්වාමියා මත යැපෙන පරපෝෂීත සත්වයකු බවට පත්වන ස්ත්‍රියකගේ මනෝභාවයන් දෙස බැලිය යුත්තේ කවරාකාරවද යන අදහස එමගින් සමාජගත කරයි. එමෙන්ම මෙම කථාවස්තුවෙහි අපර භාගයෙහි දී විග්‍රහ කරනු ලබන කාලි යකින්න පිළිබඳ කතන්දරයෙහි එවක ගැමි සමාජයෙහි වූ ඇතැම් අභිචාර විධි සහ පිළිවෙත් ගැන ද සඳහන් වෙයි. සෝවාන් වූ පසු කාලියකින්නගෙන් කෘෂිකර්මාන්තය සඳහා වැසි දිය සුලභ වේද නැද්ද ආදී තොරතුරු ගැමියන් විසින් අසා දැන ගන්නේ ඇයට කැඳ සහ බත් දන් දීමෙනි. දොළ පිදේනි දීම යකුන් ඇදහීම, දෙවියන් වැඳීම ආදි චාරිත්‍ර වාරිත්‍ර බෞද්ධ පුනරුදයක් තිබූ දඹදෙණි යුගයෙහි සිංහල ගැමි සමාජයෙහි ද පැවති බව මින් පැහැදිලි වේ. දඹදෙණි යුගයේ දී කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපායක් වූ අතර දේවදත්ත වස්තුවෙහි එන අනුරුද්ධ කුමාරයාගේ අතුරුකතාවෙහිදී ඒ යුගයෙහි කෘෂිකර්මාන්තය සිදු කළ ආකාරය පිලිබඳ ව දැක්වෙන්නේ මෙපරිදිය. ‘ පළමු කොට කුඹුරු ගෙවඩිය යුතුය. ඉක්බිති බිම් නැගිය යුතුය.පසුව දෙසී සෑව යුතුය. මියර කෙටිය යුතුය. තුන්සී සාන්ට යුතුය... ( සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 179 ) වශයෙනි.

මේ අතරින් දඹදෙණි යුගයෙහි ආර්ථික සමාජීය සහ දේශපාලන වටපිටාව පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් සේ දැක්විය හැක්කේ සුඛ සාමණේර වස්තුවයි. එහි රාජ්‍ය පාලකයාගේ ස්වභාවය සහ සාමාන්‍ය වැසියාගේ ඉරණම පිළිබඳව තියුණු විශ්ලේෂණයක් සිදු කර ඇති අතර පැවති සමාජ ක්‍රමය සෝපාහාසයෙන් විග්‍රහකිරීමක් ද දැකිය හැකිය.‘සුඛසාමනේර වස්තුවෙහි දී ගන්ධක සිටාණන් බත් කන සැටි බලන්නට සිතිවිල්ලක් පහලවන්නේ ජීවනෝපාය පිණිස දර පලා ගැලක ලාගෙන නුවරට පැමිණි පිටිසර වැසියකුටය. මෙයින් දඹදෙණි යුගයෙහි සාමාන්‍ය වැසියාගේ ජීවනෝපාය ක්‍රම පිළිබඳව යම් සඳහනක් තිබේ. එනම් ගොවිතැන මෙන්ම දර විකිණීම් ආදී රැකියාවන්හිද එවක ගැමියා නියැළුණු බවයි. සාමාන්‍ය වැසියා සහ සිටුවරයා අතර පවතින දැඩි ආර්ථික විෂමතාව නිරූපණය කරන්නේ දඹදෙණි යුගයට පමණක් නොව අදටත් උචිතවන පරිදිය. ගන්ධක සිටාණන් බත්කන සැටි නරඹන සාමාන්‍ය වැසියා ඔහුගේ බත් පිඬකට ලොබ වෙයි. මෙය වර්තමාන පාලකයන් සහ සාමාන්‍ය වැසියා අතර පවතින සහසම්බන්ධයට හැම අතින්ම සමානය. මින් ගම්‍ය වන්නේ සෑම කලෙකම පාලකයා කන බොන ක්‍රීඩාදියේ යෙදෙන සෑම අවස්ථාවක් ම මහජන සංදර්ශනයක්ව තිබූ බවත් පාලක පන්තියෙහි පරිභෝජන රටාව සාමාන්‍ය වැසියාට සිහිනයක්ව තිබූ බවත්ය. කෙසේ වුවත් අවසානයේ දර විකිණීමට නගරයට ආ සාමාන්‍ය වැසියා ගන්ධක සිටාණන්ට බත් බැලයකු සේ වසර තුනක් සේවය කොට බත් පිඩක් ලැබීමේ වරම හිමිකරගනී. එය ද ආශ්චර්යයක් බව සද්ධර්මරත්නාවලී කතුවරයා සදහන් කරන්නේ පාලක පන්තිය තවදුරටත් හාස්‍යයට ලක්කරමිනි. ‘ බත් බැළයෝ ගන්ධක සිටාණන්ගේ ගෙට තුන් අවුරුද්දක් බැළ මේ කොට බත් තළියක් ලද්ද. උන් බත් කන සැටි දකින්ට නුවර වැස්සන් ආව මැනවැයි නුවර බෙර ලැවුය.බොහෝ දෙනත් මැස් මත්තේ මැසි ලාගෙන බලති. බැලු බැලු තැන් වෙව්ලන්නා සේ විය.නළුවෝත් පිරිවරාගෙන සිටියහ.එක්දහස් අසූ දවස් කළ මෙහෙ බලත් බත් තරමට එක දවසක නොකළා හා සරිය.බත් තළීයක් ගෙනවුත් ඉදිරියේ තබාලුය.බත් කන්ට යයි අතසෝදන වෙලාවට ගඳමදන් පව්වේ නන්දමුලක නම් ලෙණ වසන පසේ බුදු කෙනෙකුන් වහන්සේ නිරෝධ සාමප්තියට සමවැද සත්වන දවස් නිරෝධයෙන් නැගී ‘ අද සිඟා කොයි යෙමි දෝ හෝ යි බලන හෙයින් තමන් වහන්සේත් බැලුවා දුටුසේක.. (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 739 ) පාලකයන් විසින් සාමාන්‍ය වැසියාගේ ශක්තිය මිරිකාගෙන ඔහුට සුළු වරප්‍රසාදයක් පවා පිරිනමන්නේ මහජන සන්දර්ශනයක් ලෙසිනි. එදා දඹදෙණි යුගයෙහි දේශපාලනික සංස්කෘතියත් අද දවසත් අතර එතරම් වෙනසක් නොපෙනේ. ගිහි වැසියා මෙසේ දරදිය ඇද ලද බත් පිඩ බුදින්නට සූදානම් වන විට ආර්ථීක සාධකයට දායක නොවන මහණ කෙනෙකුන් ඊට බැලුම් ලයි. දුගියා දේශපාලනික සහ ආර්ථික සංස්ථාවෙන් පීඩාවට පත්ව උපයන දෙය නොමිලයේ පිළිගැනීමට බලය ලත් විරැකියාවැති චීවරධාරීන් කොටසක්ද සෑම කලෙකම සමාජයෙහි වෙසෙති.. මින් කොටසක් ශාසන ග්‍රාහිව සිල්වත්ව වෙසෙති.‍අනෙක් කොටස අර්ධ ගිහියන්ව වෙසෙති. වඩා සමබර මනසකින් සමාජය කියවීමට සමත් වන ධර්මසේන හිමියෝ රාජ්‍ය
 
පාලකයන්ගේ නිවට ස්වරූපය තවදුරටත් සෝපාහාසයට නංවන්නේ මේ ආකාරයෙනි. බත්බැලයා තුන් අවුරුදු බැළ මෙහෙවර කොට උපයා ගත් බත් පිඬ අවසානයේ රහතන්වහන්සේට පිරිනමා පින් ලබා ගනී. එනිසා ඔහු රජුගේ මසු දහස නොපතයි. එය සැළවූ රජු මසු දහස දී සාමාන්‍ය වැසියා ලබා ගත් පින මිලදී ගනියි. වර්තමානයේද දේශපාලකයන් සිදු කරන්නේ අන්‍යයන්ගේ පින් මිලදී ගැනීම නොවේද? සුඛ සාමණේර වස්තුවෙහි දෙවන භාගයෙහි එන සුබ කුමාරයන් සම්බන්ධ පුවතෙහි දී එකළ පැවති ගැමි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සදහන් වේ. ‘ බත් කවන මගුල් ආදී යෙහිත් ආදී ලෙසමනො එක් රස ඇති භෝජන ය සැරියුත් ස්වාමීන් මුල් වූ පන්සියයක් දෙනා වහන්සේට දුන් සේක. (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 742) ‘ පුතණුවන් රජවෙස් ගන්වා සරහාලා මහපූජාවෙන් වෙහෙරට ගෙන ගොසින් මහණ කරවන්ට මහතෙරුන් වහන්සේට පාවාදුන්හ. (සරච්චන්ද්‍ර, විජිතානන්ද , 2014. පි.අ. 743) කුඩා දරුවකු සදහා සිදු කරන ඉඳුල් කට ගෑම, දරුවකු මහණ කරන විට පෙරහැරකින් පන්සලට බාරදීම ආදී චාරිත්‍ර ඒ යුගය තුළද තිබුණු බව මින් පැහැදිලිවේ. සීවලි තෙරුන්ගේ වස්තුව , වනවාසික තිස්ස සහ පණ්ඩක සාමණේර ආදී කතා පුවත්වල දී දරුවන් උපන් වෙලේ දරුවන්ට නම් තබන දවසට නිවසට භික්ෂූන් වඩමවා දන්දීමේ සිරිතක් පැවති බව පවසයි. එමෙන්ම දේවදත්ත වස්තුවෙහි එන අනුරුද්ධ කුමාරයාගේ කතාවෙහි දී කැවුම් ආදී කැවිලි ආදියද පැරණි සිංහල සමාජයෙහි තිබූ බව පැහැදිලිවේ. එමෙන්ම දඩයමින් ජීවත් වූ ගැමියා දානාදිය සදහා මස් මාංශ ආදිය පවා පිළිගැන් වූ බව ‘චුන්ද සූකර වස්තුවෙන්’ පැහැදිලි වේ. කුණ්ඩලකේසිගේ වස්තුව සහ පටාචාරා වස්තුව තුළින් එකල කාන්තාව ගේ ජීවන දෘෂ්ටිය සහ සංස්කෘතික බැඳීම් පිළිබඳ විපර්යස්ථ කතිකාවකට මුලපුරන අතර සොර්‍යෙය වස්තුව තුළින් ස්ත්‍රියක ලෙස සහ පුරුෂයකු ලෙස ජීවත් වන්නට සිදුවන සිටුවරයකුගේ පුවතක් ගෙනඑයි. එය වර්තමානය තුළද විවාදයට බඳුන්වී ඇති සංක්‍රාන්තික ලිංගිකයන් පිළිබඳව විමසුම් සහගත කතිකාවකි. එදා ගැහැනිය සහ අද දවසේ ගැහැනිය අතර තවමත් නොවෙනස්ව පවත්නා චෙතසික ස්වභාවයන්, පිරිමියාගේ පොදු දුබලතා වැනි සංස්කෘතියකට ආවේනික නොවන සාමාන්‍ය මනුෂ්‍ය දුර්වලතා වටහාගත් ධර්මසේන හිමියෝ තමා සතු දුබලතා ජීවත් වීමේදී අවම කරගන්නේ කෙසේද යන කාරණය ගැන මනස මෙහෙයවීම සඳහා සද්ධර්මරත්නාවලියෙහි සෑම කතා වස්තුවක්ම වෛරයෙහි ප්‍රතිවිපාක, නොහික්මුණු සිතිවිල්ලෙහි ප්‍රතිවිපාක වැනි සාමාන්‍ය ජීවිතයෙහි සිදුවන මනුෂ්‍ය දුබලතා කෙරෙහි මනස යොමු කරවන ලෙස සකස් කර ඇත. අප බුදුදහම වශයෙන් වටහා ගන්නේ බෞද්ධාගම මූලික වූ සාහිත්‍යය තුළිනි. තමා ඇසුරු ඛළ සමාජයෙහි පැවති මනුෂ්‍ය දුබලතා තුළින් නව දහමක් සම්පදනය කල ධර්මසේන හිමියන්ගේ බුදු දහම මායාවෙන් බැහැර වූ ගැමි දිවිය දැඩිව ස්පර්ශ කළ සරල දහමකි. ඔහු විසින් මවන ලද බුදුන් පිළිබද අනුරුව අතිශය සරල ගැමි කාය ස්වභාවයකින් සහ ශික්ෂණ කාමී සහ විචිත්‍රවත් සමාජ පරිඥානයකින් හෙබි වූ පුරුෂයකුගේ ආනුභාව සහෘදයා තුළ මතු කරයි. ආගමික නායකන් යනු සාමාන්‍ය ජනයාට සමීප විය නොහැකි අසාමාන්‍ය රූපකායකින් යුක්ත විශාල අනුරූ ලෙස නිමවනු වෙනුවට උන්වහන්සේ සිදු කළ ගමෙහි වෛද්‍ය කර්මය සිදු කළ තැනැත්තේ මෙන් ව්‍යාධිය හදුනා බෙහෙත් කළ යුතු පිළිවෙත සමාජ ගත කිරීමයි.

 - උපේක්ෂා නුවන්ශ්‍රීනි -

11 comments:

  1. තේරුම් ගත්තා එහෙත් අදහසක් දැක්වීමට මට අවබෝධය මදියි.

    ReplyDelete
  2. මේක මට ෆුල් අවුල්. 🙈🙈. මොකෝ හලෝ වෙසක් එකට දාපු පොස්ට් එක මැකුවේ..?? නිදාගන්න හදනකොට ඇහැරිලම කියවන්නම් කියල බලනකොට බඩු නෑ ..!! 😳

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ගමන් දරුණු වැඩියි කියලා හිතුනා. බොරු කියන්නෙ මොකටෑ, කියෙව්වෙ නෑ.

      ටික්කා කිව්වා වගේ වෙසක් එකට මකපු පෝස්ට් එක නම් අපේ ජාතියේ එකක් වෙන්ටෝනෑ? දැන් බලාන්ට " ප්‍රිති වෙසක්, ඕන පුකක්" කිව්වාම ඒකෙ තියෙන සම්භාවය ගතිය? ඕන පුකක් කියලා, පබිලිස් කරන්න නෙව තිබුනෙ, අපරාදෙ මැකුවෙ?

      Delete
    2. ඕන පුක දැම්මා ඕං...

      Delete
  3. ජේද ටිකක් බෙදා වෙන්කලානම් කියවන්නාට ටිකක් පහසු වෙන්න තිබුනා.

    මාතෘකාවේ අඩයි නේද ලිපියේ තියෙන්නේ? ඒ කියන්නේ පුළුල් විදියට ගන්නවා වෙනුවට, නියැඳි දෙකකින් පමණක් ' සාහිත්‍යයෙන් බුදුන් දැකීම' විස්තර කළා වගෙයි. ලිපියේ ගලායාම නම් මට වැඩිය ගෝචර උනේ නැත්තේ එක අතකට මම හොයපු දේ නොලැබුන නිසාද මන්ද.

    මේ සාහිත්‍යම නේද බුදුන් වහන්සේගේ ධර්මය විකෘති කලේ? සස ජාතකේ කියෝලා, හඳේ ඇඳපු හාවා ගැන 'කෙබර' ඇදීමෙන් වෙච්ච හානිය, මේ සාහිත්‍යමය වැනුම් වලින් වහන්න බැහැ කියලයි මම හිතන්නේ. සමහර වෙලාවට ධර්මය ඇතුලේ බුද්ධ වචනයේම තියෙන උපමාවට එහා ගියපු උපමාවකින් වඩා හිත ගන්නේ 'මැජික්' බලාපොරොත්තු වෙන අසන්නා වෙන්නත් පුළුවන්...

    තව ලියමුද?

    ReplyDelete
    Replies
    1. හරි අපි ලියමු ලිඛිතා

      Delete
    2. කෝ ඉතින් ජේද වෙන් කරලා නැහැනේ!!!!!!

      Delete