Realtime website tracking softwareRealtime website tracking software

Monday, December 26, 2016

වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්‍රදාය හා කලාකරුවාගේ භූමිකාව



ලංකාවේ කලාව යනු හිගන්නාගේ ජීවන විලාසයයි. එයට ඇත්තේ එබඳු ස්ථානගත වීමකි. නමුත් යන්නේ කතරගම බව දැන ගියොත් අතරමං වන්නේ ද නැත.සියුම්ව විග්‍රහ කර බැලුව හොත් බොහෝ කලාකරුවන් අවසානයේ දුක්ඛිත ඉරණමකට භාජනය වන්නේ කලාවේ අවුල් සහගත භාවය නිසා නොවේ. මුදල් කළමණාකරණයේ , මත් පැන් භාවිතයේ සීමාවන් සහ ස්වකීය ජීවිතය පිළිබදව නිසි වගකීමක් නොමැති වූ නිසාය. තමන්ගේ අවුල අවසානයේ රටේ අවුලක් කරගැනීමේ හේතු සහගත භාවයක් නැත. තරුණ අවධියේ කෙබදු මෙහෙයක් කළද තමා අරභයා වන කිසිදු බලපෑමකට ප්‍රතිචාරයක් දැක්විය නොහැකි තත්වයකට කිසියම් කලාකරුවකු අවසන් අවදියේ පාත්‍ර වනවා නම් එය අතිශය ඛේදජනක තත්වයකි. මේ වීරයන් සැමරීමේ උත්සවය නිසා ස්වකීය වීරත්වය නැත්තටම නැති කරගන්නට සිදු වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකටය.

එකී උත්සවය වඩා එකතු ව සිටි පිරිස ඔහුගේ ජීවන මෙමෙහවර හෝ කලාවේ භාෂාදියේ භාවිතය පවා නොදුටු උඩින් පාත් වූ පිරිසක් බව දුටු මොහොතේම මම සියල්ල තේරුම් ගෙන පසෙකට වීමි. නමුත් දැන් මේ පිලිබද ඒ කණ්ඩායම් වලින්ම බිදී ගිය පිරිස් විවිධ චෝදනා නගති. නමුත් මෙය සාමුහික සිදුවීමකි. එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ඇගිල්ල දිගු කර කිසිවකුට ගැලවෙන්නට හැකියයි නොසිතමි. නිස්සරණාධ්‍යාශයෙන් මිනිසුන් දුන් මුදල් අවභාවිතාවකට ලක් වී නම් කලාකෙතට දිය දෝතක් නමින් මුදල් එකතු කළ චන්දන ගුණසේකර ඇතුළු කණ්ඩායමම ඒ සම්බන්ධව මහජනතාවට විවෘත සහ ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුය.

උත්සවයේ වීඩියෝ සහ ජායාරූප සදහා හතළිස් දහසක පමණ මුදල් ලැබී තිබියදීත් තමාට උත්සවයේ ජායාරූපයක් වත් නොලැබුණු බව සුනිල් අයියාගේ නිවස තුළින්ම මගේ කණටම ඇසෙද්දී මම නිහඩව සිටියෙමි.මේ සමස්ත සිදුවීමේ දී අන්‍යයන්ට පාවිච්චි නොවීමේ වගකීම සුනිල් මාධවටත් තිබිය යුතුය. ඔහු ශාරීරිකව පිරිහුණු බව ඇත්තය. නමුත් මානසික තත්වයෙන් ශක්තිමත් විය යුතුය. තමාට ලංවෙන සැටියෙන්ම සතා කවුදැයි වටහා ගන්නට ශක්තියක් නොමැතිනම් එය මහත් ඛේදවාචකයකි. සහෘදයා සහ කලාකරුවා තුළ පැන නගින ප්‍රේමය සත්‍ය වශයෙන්ම අතිශය ගැඹුරුය. එය තාවකාලික වාසියට මුදල් ගැරිල්ලට ඇති වන්නක් නොවේ. එවන් ගැඹුරක් ඇති වන්නේ ඒ කලාකරුවාගේ නිර්මාණ කෙරේ ඇතුලාන්තයෙන්ම බැදී ඇත්නම් පමණි. මම එසේ අනන්ත බැදී ඇත්තෙමි. එවන් ආදරයක් ඇති වූ විටක ඒ කලාකරුවා මිය ගියද මගේ හදවතේ කිසිදු වෙනසක් ඒ හැගීම කෙරේ ඇති නොවේ.සිරිල් සී.පෙරේරා වියාතාණන් කෙරේ උපන් හැගීමද එබදුය.

අදටත් මම දවස අරඹන්නේ ඔහුගේ පරිවර්තන කෘතියක කොටසක් කියවීමෙනි. මා ඒපොත් ටික තබා ඇත්තේ වෙනමමය. තවත් මට සොයා ගන්නට නොහැකි වූ ඔහුගේ පොත් ඇති බව මා දැන ගත්තේ එබදුම වියතුන් කෙනෙක්ගෙනි. දැනුම් සාගරයක් බදු මිනිසකු හමු වූ විට මම ඔහුව අතනොහරිමි. බඩ බැදගෙන රකිමි. ඒ හදවතින්මය. ඔය කියන කණ්යඩායම් සරිල් මහතාගේ ගෙවල් පැත්තට ගියානම් පෝස්ට් දමමින් නොසිට කීයක් හෝ වියදම් කර මාස කිහිපයක් ඇදේ ඉන්නට බෙහෙත් දීමට සිතා ගෙන අපි සිටියෙමු.

සිරිල්.සී මහතා ද කෙතෙරම් රෝගාතුර වුවද ගොදුරු නොවී සිටීමේ ප්‍රතිපත්තියෙහිම සිටියේය.කෙනෙකු බේරා ගැනීමට නම් ඔහුගේ සහය ද අපට අවැසිය. නැත්නම් ඒක පාර්ශ්ළුීය සටනකින් ඇති පලක් නැත. තම ධෛවය විශිෂ්ට ලෙස දිනූ තවත් එබදුම මිනිසකු ලෙස සිහිපත් වන්නේ ලාල් හෑගොඩයන්ය.ඔහු ස්වකීය රෝගය ජයගත්තේ පුදුමකාරවය. රෝද පුටුවේ සිටියේ දවසක් හෝ දෙකකි. චිත්ත ධෛර්යයෙන්ම නැගී සිටියේය. මම සාමාන්‍යයෙන් සර් (Sir) යන යෙදුම අනෙකකු උදෙසා ජීවිතයේ භාවිතා කළේ තුන් අවස්ථාවකි. ඒ මේ නම් සඳහන් දෙදනාත් ඇතුළුවය. ආයතනයේ ප්‍රධානින්ටවත් එසේ නොයොදමි. ගෞරවය බලයෙන් ලබාගන්නට නොහැකිය. පෞර්ෂය බිඳවැටුණු විට සිදුවන්නේ තමා සමාජය තුළ අවභාවිතාවීමයි.

ජයලත් මනෝරත්නයන් තල මල පිපිලා නට්‍යයෙන් සම්මාන සහ උපහාර මුවාවෙන් කලාකරුවාට සිදු කරන පරිහාණිය පිළිබඳ ඉගියක් ලබාදුන්නේය .යැපීම පිළිබද අරගලයේදී අනෙකාගේ සරණ නොයන තැනට තමා ස්වාධීන විය යුතුය. ස්වකීය ජීවිතය ගැන වගකීමක් නැති තැන මිනිසකුගේ සමාජ භූමිකාව ද වටිනාකමෙන් තොර වූවක් බවට පත්වේ.

මේ වන විට සෝමතිලික ජයමහ,බොබී. ජී බොතේජු වැනි කලාකරුවන් සහෘදයාගේ ආදරය අවශ්‍ය අවධියක විවේකී ව සහ හුදකලාව ස්වකීය සන්ධ්‍යාභාගය ගත කරති.මෙවන් මිනිසුන් අපේක්ෂා කරන්නේ තමා කළ කලාකටයුතු කෙරේ වර්තමානයේ ඇති අවධානය මිස අනෙකක් නොවේ. බොබී. ජී. බොතේජු මහතා සිරිල් සී පෙරේරා මහතා මෙන්ම අති දක්ෂ පරිවර්තකයකු විය. අද ඔහු තරමක් අසනීප තත්වයෙන් පසුවෙයි. එබදු මිනිසුන් ඇසුරු කරනවානම් පළමුව ඔවුන්ගේ නිර්මාණ සේවනය කළ යුතුය. මේ අවස්ථාව වන විට මම ද යම් අපහසුතා මැද සිටියත් බොබී ජී.මහතාගේ පරිවර්තන කිහිපයක් ඔහුගේ අවසරය ඇතිව අන්තර්ජාලයට මුදා හැරීමට තීරණය කරගෙන සිටිමි.

මේ මිනිසුන් ජාතික උරුමයන්ය. ඔවුන්ගේ වටිනාකම වටහාගෙන ආදරයෙන් ආරක්ෂා කිරීම මිස කිසිදු විටක බඩවඩාගැනීමේ මාධයයක් කර නොගත යුතුය. නමුත් ගොදුරු වීමේ ක්‍රියා දාමයේදී ගොදුරු කරගන්නා පමණක් නොව ගොදුර බවට පත්වන්නාටද සමාජ වගකීමක් තිබිය යුතුය. ඒ තමාගේ වීරත්වය උදෙසා රුපියලක් හෝ දුන් ජනතාව නොමග යැවීමේ කාර්යාවලියට තමාද වක්‍ර වශයෙන් දායක වී ඇති නිසාය..

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

10 comments:

  1. ගොදුර බවට පත්වන්නාටත් සමාජ වගකීමක් ඇතිබව මමත් පිළිගන්නා කරුණක්.
    ලිපියට ස්තූතියි.
    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔවු කලාකරුවා හා සහෘදයා අතර තියෙන්නෙ වින්දනීය සම්බන්ධයක්..සහෘදයා විසින් තමාව නඩ්තු කරන්න ඕන කියල එකක් නැහැනේ..

    ReplyDelete
  3. පිටින් ලස්සනයි වගේ පෙනුනාට , කලාකාරයොන්ගෙ ලෝකෙ සෑහෙන ප්‍රශ්ණ තියනවා. කැපිලි- කෙටිලි, කුඩු-කේඩුකම්, කඩේ යෑම්. ලිංගික අල්ලස් සහ තව නොයෙක් දේවල්. අරූ සහ හැලපෙ මෙව්වා දන්නවා, ඒත් ඔවුන් ලියන්න තීරණය කරල තියෙන්නෙ කලාකාරයොන්ගෙ ජීවිතවල සුන්දර පැත්ත ගැන විතරයි. ඒකත් හරි, එකක් ඒව්වා එයාලගෙ පෞද්ගලික ජීවිතේ, අනික කවුද කැමති අනුන්ගෙ කුණු අවුස්සන්න.

    මම මේ ගැන සඳහන් කලේ, ඇස්පනාපිට පෙනෙන බහුතරයක් වැඩිහිටි කලාකාරයොන්ගෙ සෝචනීය ඉරණම නිසයි. මම අහල තියනවා සමහරු කියනවා, කලාකාරයොත් දැණගන්න ඕනෙ , එහෙම ඉරණමකට ගොදුරු නොවී ඉන්න කියලා. ඒත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් කියලයි. සමාජ අවධානය නිසා, නඩත්තුකල යුතු බරපතල ජීවන විලාසිතා, සදාකාලීන නොවන , ක්‍රමයෙන් ගිලිහෙන ජනප්‍රියත්වය සහ ඒ නිසාම අඩුවෙමින් යන ආදායම වගේ දේවල්.බහුතරයක් කලාකාරයො මත්පැන් ලෝලියො. මම ඒකෙ වැ‍රැද්දක් දකින්නෙ නෑ. ඒ මිනිස්සුත් කන-බොන මිනිස්සු. අනික ඔහොම එකතුවෙන තැන්තමා එයාලගෙ සමාජ සහ කලා සාකච්චා මණ්ඩප. මේක විෂම චක්‍රයක්, අපි එයාලගෙ සපත්තුවට බැහැල බැලුවොත් පෙනෙයි, මේ චක්‍රයෙන් ගැලවෙන එක පහසු නැති බව.

    දෙවන කාරණය, කලාකාරයො වෙනුවෙන් කෙරෙන්න ඕනෙ, සමාජ සහ රාජ්‍ය වගකීම ගැන. මොකද , කලාකාරයො ඉන්නෙ සීමිත සංඛයාවක්, එක සැරයක් දියවන්නාවට රිංගපු ඕන හොර නෙඩේට දෙන සැප, විශ්‍රාම වැ‍ටුප් බැලුවාම ඒක කරන්න බැරිදෙයක් වෙන්න බෑ නෙව?

    ReplyDelete
    Replies
    1. දෙවන කාරණය, කලාකාරයො වෙනුවෙන් කෙරෙන්න ඕනෙ, සමාජ සහ රාජ්‍ය වගකීම ගැන සම්පුර්ණයෙන් එකඟයි වෙන්න ඕනෙ.

      මේ දිග හෑල්ල ගැන වැ‍රැද්දක් ඇත්නම් සමාවෙන්න. මට හිතෙන දේ ලිව්වෙ. මාත් කීප වංගියක්ම ආවා, ගියා, ම්හු කවුරුත් කට අරින පාටක් නෑ, බැරිම තැනයි ලිව්වෙ. කොහොමත් " කාමරේ ඉන්න අලියා" නොදැක්කා වගේ ඉන්න එක , අපේ ජීවන විලාසිතාවක් නෙව?

      Delete
    2. //////කලාකාරයො මත්පැන් ලෝලියො. මම ඒකෙ වැ‍රැද්දක් දකින්නෙ නෑ. ඒ මිනිස්සුත් කන-බොන මිනිස්සු. අනික ඔහොම එකතුවෙන තැන්තමා එයාලගෙ සමාජ සහ කලා සාකච්චා මණ්ඩප. මේක විෂම චක්‍රයක්, අපි එයාලගෙ සපත්තුවට බැහැල බැලුවොත් පෙනෙයි, මේ චක්‍රයෙන් ගැලවෙන එක පහසු නැති බව.//////////

      මේ කතාව එදා සමාජයට අදාලයි. අද එහෙම තත්වයක් තියේද කියා හිතාගන්න බැහැ .

      Delete
  4. 'අද කිසිම කලාවක් නෑ',
    'නිර්මාණාත්මක දෙයක් බිහි වෙන්නෙ නෑ',
    'අදීන කලාකරුවො කෝ?',
    'කලාව ද රැකියාවකි',
    'තමුන්ගේ මිල අයකරගැනීම තමුන්ගේ කටයුත්තකි',
    'කලාකරුවාට තමා ගැන වගකීමක් ඇත'

    මෙන්න මේ ප්‍රකාශ එකම කටකින් කරන්න බෑ.ඒ තුලම තියනවා ලොකු පරස්පරයක්.ඒ පරස්පරය තුලින්ම සැබෑ කලාකරුවන් බිහිවන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  5. කලාව, කලාකාරයෝ ගැනනම් මට වැඩි අවබෝධයක් නෑ. සුනිල් මාධව අය්යා නම් හොඳ මනුස්සයෙක් කියලා මම අහලා තියෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ හොඳ මිනිස්සුන්ගේ මනුස්සකමින් කපටියෝ අයුතු ප්‍රෙයා්ජන ගන්න එක.

    ReplyDelete
  6. කලාකාරයන් කියලා විශේෂ මිනිස් කොට්ඨාසයක් නැහැ. හැබැයි ඇතැම් මිනිසුන්ට විශේෂ කලා හැකියාවන් තිබෙනවා.

    යමෙක් තමන් කලාකාරයෙකු ය කියා අනන්‍යතාව සලකුණු කර ගන්නේ වෘත්තීය තත්වයක් ලෙසයි. එතැනදී කලාකරුවාගේ අනාගත සුරක්ෂිතභාවය කියන්නේ තවත් එක් වෘත්තීය ගැටලුවක්. වෘත්තීය තත්වය ආරක්ෂා කර ගැනීමේදී කලාකරුවාටත් බරපතල වගකීමක් තිබෙනවා. ඒක හරියට කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කම්කරුවාගේ වගකීම වගේ දෙයක්.

    අසරණකම පෙන්වන එකත්, උපහාර ඉල්ලන එකත්, උපහාර නො ලැබුණා කියා අඬන, දොඩන එකත් කලාකරුවන්ගේ අභිමානයට පහරක්. උපහාරය වුණත්, නම්බුකාර විධියට ගන්න ඕනැ. නැතිනම් එපා කියන්න කලාකරුවන්ට කොන්ද පණ තියෙන්න ඕනැ.

    ReplyDelete
  7. ගොදුරු නොවී සිටීමට ආත්ම ශක්තියක් තිබිය යුතුයි. නමුත් ආර්ථික අපහසුතාවයන් ඉදිරියේ තාප්පයට හේත්තුවෙන එක නවත්තන්නේ කොහොමද මන්දා. සංවිධානය කරන්න ඉදිරිපත්වෙන අයට වෙන ඇජෙන්ඩාස් තියෙනව ඇති. රජ බලුවෙනවාද බලුකරනවාද කියලත් හිතෙනවා.

    ReplyDelete