Realtime website tracking softwareRealtime website tracking software

Sunday, December 11, 2016

අවසාන කුරුල්ලා



නිමිත්ත -
අරාබි නිසොල්ලාසය ලියවුණේ ස්වකීය ජීවිතය රැක ගැනීම පිණිස කුමරියක විසින් මිනීමරු රජෙකු ඉදිරිපිට කියන ලද කතා සමුදායකිනි. මම ද සුරංගනා කතා කිහිපයක් ලිවීමට සිතුවෙමි. මේ සෑම කතාවක්ම අයිති වන්නේ Sandu Jayasinghe ට ය. සන්දු ගැන මේ වන විට බොහෝ අය දැනුවත්ව ඇතැයි සිතමි. ඇය අතිශය දුර්ලභ රෝගී තත්වයක් නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. මේ වන විට ඇයට පාද දෙකම අහිමිය. ශරීරයේ දරුණු තුවාල සහිතව වේදනාවෙන් සිටියද ඇය ශක්තිමත් කිරිල්ලියකි. ඇගේ සතුට වෙනුවෙන් මට කළ හැක්කේ රැය පහන් වන තුරු ලියන්නටය. මේ ලියන්නේ ඇගේ සතුට උදෙසාමය..

එය වසන්ත සෘතුවේ අවසාන දවස් කිහිපයයි. මිටියාවතෙහි වම් පසින් ගලන නේත්‍රාංජලී නම් වූ ඒ අතිශය සෝබමාන නදියෙහි දකුණු පසට වන්නට කුඩා කඳු ගැට දෙකක් පිහිටා තිබුණේය. මින් පළමු කඳු ගැටය ‘සෝ” නම් විය. දෙවැන්න ‘ෂා” නම් විය. මේ නිහඩ ‘සෝෂාවෝ ‘ විශාල තුරුමුදුන් වලින් ගිලිහුණු මල් ද , වැහැරුණු තුරු පත් ද උසුලා ගනිමින් දොඩමළු දඟකාර සුළං දහරාවට ස්වකීය ගමන් මාර්ගය පිළිබඳ නිවැරදි දිශාව කියා දෙමින්ද වසන්ත කාලය වඩාත් ප්‍රේමනීය ලෙස ගෙවා දැමූහ. උනුනට මුහුණලා දොඩමලු වන්නට හදන නව යොවුන් ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගේ උණුසුමින් පිරුණු හදවත් දෙකක් මෙන් ඒ කුඩා කඳු ගැට මතුපිට කවදා කෙසේ උපන්නාදැයි කිසිවෙක් නොදන්නා ῝මිර්ෂා῞ වර්ගයට අයත් ගස් දෙකක් ඉපිද හැදී වැඩුණහ. ඔවුහු වැඩුණු තරුණ යුවළකගේ බඳු බාහිර රූප සෝබාවකින් වැඩී වඩාත් උස්ව, අතු පතර විහිදා ඉනික්බිති අහස තෙක් පැතිර ගියාහුය. 

තරුණ වියේ දී සාමාන්‍යයෙන් සමීපව වසන ඕනෑම යුවළකට සිදුවන්නාක් පරිදිම ඔවුහු පෙමින් බැඳුනහ. සුළගේ ද නදියේ ද ආධාරයෙන් ඔවුහු සිය සිතිවිලි හුවමාරු කරගත්හ. ස්වකීය රාජධානි තරණය කර අනෙකාගේ විජිතයේ දී කවර කලෙකවත් උනුනට ලංවිය නොහැකි වූයෙන් පොළෝ ගර්භය විනිවිද ගිය ස්වකීය මූළ පද්ධතිය එහා කන්දෙන් මෙහා කන්දටත් මෙහා කන්දෙන් එහා කන්දටත් විහිදුවා කිසිවෙක් නොදකින අන්ධකාර පාංශුමය කුහරය අභ්‍යන්තරයෙහි ඔවුහු ආදරය ප්‍රකාශ කළාහුය. අවලස්සන පණුවන් ද හිරු එළියට නිරාවරණය නොවන අසරණ පාංශු ජීවින් සමුදායක් ද මේ ආදරයේ චමත්කාරය විදිමින් මේ සෝබමාන මිර්ෂාවන්ට නිදහසේ පාංශුමය දහරාව පුරා ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනීම සදහා මූල පද්ධතිය විහිදුවා ගැනීමට පහසු වනු පිණිස පාංශුමය තලය ලිහිල් කිරීම උදෙසා පොලෝ කුහරය ගැඹුරෙහි ඔබ මොබ දුවමින් වසන්ත ප්‍රීතිය නෑ සියන් අතර බෙදා හලහුය. 

පොළව අභ්‍යන්තරයෙන් ආරම්භ වූ ඒ ප්‍රේමනීය ප්‍රබෝධයෙහි ඵලයක් වශයෙන් ‘සෝ” කන්දෙහි වූ කුඩා වෘක්ෂයෙහි මල් පිපී ඵල හටගත්තේය. හිම පිරුණු කන්දක සීතල පාශාණ වල පැහැය ගත් ඒ කුඩා ඵල කුරුල්ලන්ගේ මිහිරි ආහාරයක් විය. ඌහු හොටෙන් අනිමින් එහෙ මෙහෙ පනිමින් ඒ මියුරු ඵල අනුභව කළහ. ඵල පිරුණු අතු අතර පලින් පල තවමත් මල් ඉතිරි වී තිබුණේය. නිල් පැහැති කුඩා සුවඳැති ඒ මල් කඳු ගර්භය මත ඇද වැටෙන්නට ආසන්න වන විට දීප්තිමත් කහ පැහැයක් ඉසිලුවේය.වසන්තයේ අවසන් සති කිහිපයේ දී ‘සෝ” කන්දෙහි තුනී තණ වැස්ම තද දීප්තිමත් කහ පැහැයක් ඉසිලුවේය. ඒ සෝබමාන මල් වලින් හමා ආවේ නිර්මල සුගන්ධයකි.මිය යන්නට ආසන්න මිර්ෂා මල් වල අප්‍රාණික සිරුරු මත දුව පැන නටමින් කුඩා කුරුල්ලෝ ප්‍රීති වූහ. ඌහු අප්‍රමාණ කතන්දර කියමින් මිර්ෂාවන්ගේ තුනී පෙති මතට හොටෙන් අනිමින් වසන්ත ප්‍රීතිය වින්දාහ. මේ සියල්ල දෙස බලා සිටි ῝ෂා῞ කන්දෙහි වූ වෘක්ෂය සිය රන් පැහැ පත්‍ර පොලවෙහි අතුරා කඳු ගර්භය රන්වන් පැහැයට පත් කළෝය. මෙසේ හදවත් දෙකක ප්‍රහර්ෂය විසින් වසන්තය වර්ණාලේපිත සහ අතිශය සුගන්ධවත් බවට පරිවර්තනය කළාහුය. 

ලෝකයටම රහසක් වූ සෝබමාන ගස් දෙකෙහි ආදර ගනුදෙනුව ඉතාම නිවැරදිව දැන සිටියේ එක් අයෙක් පමණකි. ඒ මෙම කඳු දෙක පහු කරගෙන ගලා ගිය නේත්‍රාංජලි නම් වූ විසල් ගංගාවයි. සෑම කලෙකම වසන්ත සෘතුව ආරම්භය මෙන්ම අවසානය ද තරමක් කළබලය. තුරුලතා ස්වකීය පත්‍ර බිම එළමින්ද පුෂ්පයන්ගෙන් නිදහස් වෙමින්ද වැරහැලි වී අතුපතර පිළිබද නිර්වස්ත්‍ර මතකය සතුටින් උහුලන්නට සැරසෙන වසන්තයේ අග භාගය මදක් සුවදවූත් අඩක් ශෝක ජනක වූත් සහ පූර්ණවම වර්ණාලේපිත වූවකි. නේත්‍රාංජලිය මේ කාලයට පිරිපුන්ය.ගැබ සෝදා හල මවකගේ කුස අමුතුවෙන් දරු ගැබක් පිහිටියාක් මෙන් පිරිසිදුය. 

ස්වකීය ඉවුරු මට්ටමට පමණක් පිරුණු නිල් දිය දහර ඔසවාගෙන බරැති උකුල නිසා වාරු නැති ස්ත්‍රියක පරිද්දෙන් පැද්දෙමින් ද දඟර ගැසුණු ශක්තිමත් කඳු ඉවුරු වලදී මහළු ස්ත්‍රියක මෙන් වුවමනාවට වඩා නැවෙමින්ද ඈ දිර්ඝ ගමනක නියැළුනාය. ගමනේ ඇතැම් සන්ධීස්ථානවලදී විඩාවෙන් පැකිළුණ ද ඈ දකුණු දිග කඳු ගැට දෙක වටා ගලාගියේ මඳ ලාලිත්‍යයක් ඇතිවය. ආදර කතන්දර, කුරුල්ලන්ගේ කෙණෙහෙලි සහ අප්‍රමාණ විහිළු අසමින් සිතෙහි ප්‍රීතිය ඇති කරගත් නේත්‍රාංජලිය වසන්තයේ අවසාන දවසේ දී ῝සෝ῞ කන්දෙන් මිර්ෂා මල් ද ῞ෂා῝ කන්දෙන් රන් වන් පැහැ පත්‍රද රැගෙන නිල් දියමත හිස තබාගෙන සුපුරුදු ලාලිත්‍යයෙන් යුතුව මිටියාවත ඔස්සේ නිහඩව ගලා බැස්සාය.

ස්වභාව ධර්මය විසින් සෑම කලෙකම උත්කර්ෂවත් මොහොතවල් වේගයෙන් කෙළවර කරන්නේය. ප්‍රීතිය ඉක්මණින්ම අවසන් වීමෙන් ජීවිතය මුණගැසේ. වසන්තය මතකයක් බවට පත් කොට කෙමෙන් ගිම්හාන සෘතුව ආරම්භ විය. එළැඹි ගිම්හානයේ දී මිර්ෂාවෝ දෙදෙනා මුහුණින් මුහුණ බලාගෙන මුළුමනින්ම නිර්වස්ත්‍රව සිටියාහුය. සිය කේඩෑරි වී ගිය භෞතික ශරීරයන් දෙස බලමින් මද සුළගක් හමා එන රාත්‍රී කාලයන්හි සුළග හරහා ස්වකීය ස්පර්ශයන් ඒ කන්දෙන් මේ කන්දටත් , මේ කන්දෙන් ඒ කන්දටත් හුවමාරු කරමින් මිහිරි මෙථුන්‍යයේ යෙදුණාහ. 

මේ සෑම රාත්‍රියකම ඉතා හොඳින් සඳ පායා තිබුණේය. ගිම්හානයේ වියරුව නිසා මද කලකින්ම කඳු ගැට ද්විත්වයේම පොළෝ වැස්ම ඉරිතලා ගියේය. තුනී තණ වැස්ම කෙමෙන් දුඹුරු පැහැයට හැරී පරඩලා පත් බවට පත් වී පොලොවටම වියැකී ගියේය. නේත්‍රාංජලිය ගලාගියේ ප්‍රසව වේදනාවෙන් පෙළුණු මවක මෙන් අසීරුවෙනි. ඇය මහත් සේ කෘෂව සිටියාය. ඈ ῞සෝ῝ කන්දෙන් මිර්ෂාවන්ගේ පරඩලා පත් සහ ඉපල් ද ῝ෂා῞ කන්දේ මිර්ෂාවන්ගෙන් පරඩලා පත් ද රැගෙන ස්වකීය නිල් පැහැ දහරාව දුර්වර්ණ කරගනිමින් සෙමෙන් ගලා ගියේය. වසන්තය තරම් ඉක්මණට ගිම්හානය ගෙවී නොගියේය. මිර්ෂාවන්ගේ හෘදය ගැහෙන්නට පමණක් පොළොවෙන් තෙතමනය ලද්දෙන් එකදු දල්ලක් හෝ ඵලයක් හෝ අතු අගෙහි හට නොගත්තේය. වසන්ත කාලයේ මල් මතින් දිව ගිය, පල බුදිමින් ගී ගැයූ කුරුල්ලෝ ගහ පාමුලම සා ගින්නෙන් මැරී වැටුණහ. 

ස්වකීය කේඩෑරි ප්‍රකෘතිය වසාගෙන සිටි සෞභාග්‍යයේ ලෝගුව ඉවත් වීම පෙම්වත් මිර්ෂාවන්ගේ හදවත් වලට ප්‍රකෘතිය අබියස පැවැත්ම තීරණය කිරීමේ දී යම්තාක් දුරට සැනසීමක් වුවද ස්වභාවික පැවැත්ම පිළිබද අරගලයේ දී ජෙව පටිපාටියෙහි අනුක්‍රමිකතාව ඉන් ඉහිරි ගියේය. ගංගාව සමග මුසු නොවී පය පාමුලෙහි වැඳ වුටුණු මිර්ෂා මල් හි මලකුණු මත හිස තබාගෙන සිහින දකින ඉරියව්වෙන් මල කුඩා කුරුල්ලන්ගේ පියාපත් කඳු ශිඛරය පුරා විසිරී ගියේය. සුළග හමන සෑම මොහොතකම වේදනාවේ දුර්ගන්ධය හමා ආවේය. සැර මිටියෙන් යන මහළු ස්ත්‍රියක පරිදි ගංගාව දකුණු දිග කඳු පන්ති පසු කළේ වසන්තයේ ප්‍රීතිය පිළිබඳ සිහින ඇතිවය. නමුත් වළාකුළු තද නිල් පැහැය සහ ශ්වේත පැහැය අඳිමින් වඩාත් නිහඩ ප්‍රතිපදාවක් අනුගමනය කළාහුය. වැහි ළිහිණියෝද මුළුමණින්ම මුණිවත රැක්කාහුය. නමුත් හැම දෙයම කිසි කලෙක මුළුමනින්ම හොඳ නොවන්නාක් මෙන් මුළුමනින්ම අයහපත් වන්නේ ද නැත.

 ῞ෂා῝ කන්දෙහි පාංශුමය ගර්භය තුළ රළුමතුපිටක්ද මෘදු හදවතක් ද ඇති කළු ගලක් පිහිටියේය. ඒ ගල්තලාව ස්වකීය හෘදය තුළ සංසරණය වන සිහිල් ජලදහරාව මගින් මතුපිට තෙතමනය උපදවා මිර්ෂාව ජීවත් කරන්නට වෙර දැරීය. ῝සෝ῝ කන්දෙහි මිර්ෂාව පොලෝ අභ්‍යන්තරය තුළින් ස්වකීය මූල පද්ධතිය විහිදා පෙම්වතා හා අතිනත ගන්නට වෙහෙසෙන සෑම සන්ධ්‍යාවකම , පෙම්වතා කළුගල් තලාවෙන් උකහා ගත් සිහිලස ස්වකීය පෙම්බරිය වෙත මුළුමනින්ම පුද දී ස්වකීය ආත්මය මුළුමනින්ම තෙතමනයෙන් නිදහස් කර ගත්තේය. නොපෙනෙන බලවේගයන් ඔස්සේ වේදනාබර සෑම මිනිහෙක්ම සතෙක්ම ජීවත් වීම උදෙසා කුමක් හෝ ශක්ති දහරාවක් ලබන්නේය. එකී ශක්ති දහරාව ඇතැම් විට පොළොවෙන්ද තවත් විටෙක අහසින්ද උපදින්නට පුළුවන. එය ඕනෑම මිනිසකු ස්වකීය ජීවිතයේ ලබන සුන්දරම අත්වැල වන්නේය.නමුත් කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් පෙනෙන්නට නැති අවස්ථාවක එකී ශක්තිය උපදින්නේ ද තමා තුළින්මය. එය අපූර්ව ශක්තියකි. 

මිර්ෂාවෝ ජීවිතය බෙදා ගනිමින් වේදනාවේ සෞන්දර්ය ප්‍රගුණ කරමින් සිටියාහුය. රාත්‍රී කාලයන්හි සැතපුම් ගණන් සිය මුල් විහිදා එකිනෙකාගේ පහස විදිමින්ද නිශ්චල ආකාශයේ දීප්තිමත් තරු ගණිමින්ද ඔවුහු ජීවිතයේ සෞන්දර්යය වින්දාහ. කාලය ගෙවී ගියේ සෙමිනි. දූවිලි පුළුන් රොදවල් පරිදි මඳ වශයෙන් පා වී පැමිණ කෙමෙන් වළාකුලු තරම් මහත් ව වර්ධනය වී කඳු සිරස පුරා ලැගුම් ගත්තේය. මරණයේ වේදනාවත් විලාපයත් නිසා කුරුල්ලෝ ගායනා අමතක කළහ. මිර්ෂාවන් පාමුල පණ අදින සෑම කුරුල්ලෙක්ම වසන්තයේ ප්‍රීතිය අනුස්මරණය කළහ. සූර්යය රශ්මිය කෙමෙන් දැඩි විය. දැවෙන කිහිරගුරු මෙන් පාංශු දහරාව ගින්නෙන් ඇවිලී ගියේය. මිර්ෂාවන් පොළොවේ ඔබා ගත් ස්වකීය දෙපා ඇද ගන්නට බැරි කුඩා දරුවන් මෙන් ඇඹරුණහ. වර්ෂාව පෙනෙන මානයක නොවීය. වසන්තයේ ඵල බුදින ලද කුරුල්ලෝ ගිම්හානයේ දී දුර්වලව මිය ගියහ. ඇතැම්හු වසන්තයේ ප්‍රීතිය සොයමින් වෙනතක ඉගිල ගියහ. කුමන ධර්මතාවක් යටතේ වුව වසන්තයේ අවසන් දවස තීරණය කරන්නේ යක්ෂයාය. ගිම්හානය අවසන් කරන්නේ දෙවියන් විසිනි. 

සෑම කලකදීම සෘතුවක නිමා වේදී වසන්තයේ හෝ ගිම්හානයේ සළකුණු සියල්ල කදු මතින් පිසදා සිය හිස තුළ දරාගෙන ගලන්නට නියම වූයේ නේත්‍රාංජලියටයි. දෙවියන්ගේ විනිශ්චන් ද යක්ෂයාගේ විනිශ්චයන් මෙන්ම පරීක්ෂා කාරීය. පැවැත්ම උදෙසා අරගලකල හැකි මිනිසුන් පමණක් ඉතිරිකිරීමට යක්ෂයා විසින් වසන්තය නිම කරනු ලබයි.දෙවියන් විසින් ගිම්හානය නිම කරන්නේ පැවැත්ම උදෙසා ඉතිරි වූ මිනිසුන්ගේත් සත්වයන්ගේත් ගහකොළවලත් අප්‍රමාණ ප්‍රීතිය උදෙසාය. කෙසේ වුවත් ඒ ශෝක ජනක කාර්තුවේ අග භාගය එළඹියේ ඉතා සෙමිනි.

ගිම්හානයේ අවසන් කාලයේ සූර්යයා මුලුමනින්ම නේත්‍රාංජලියේ දකුණු ඉවුරට සමපාත වන්නට මුදුන් විය. ῞ෂා ῝කන්දේ මිර්ෂාව ලතෙත් කලුගලෙහි දිය සීරාව ශූර ලෙස උරා ගනිමින් පොළව අභ්‍යන්තරයේ අවලස්සන සතුන් අතර ඒ සිහිලස බෙදමින් ඈත කදු ගර්භයේ වේදනාබරව සිටින ස්වකීය පෙම්වතියටද ඒ සිහිල බෙදා දුන්නේය.නමුත් කලු ගලෙහි සිහිලස කෙමෙන් වියැකී ගියේය. ῞ෂා῝ කන්දේ මිර්ෂාව ස්වකීය ජීවය අනන්‍යන්ට බෙදා හරිමින් කෙමෙන් ප්‍රාණයෙන් අත්මිදෙමින් සිටියේය. ඔහු ස්වකීය අවසන් සන්ධ්‍යාවේ දී ඉරි තැලුණු පොලෝ ගර්භය යටින් මුල් විහිදා ῝සෝ῞ කන්දේ පෙම්බරියගේ අතිනත ගත්තේය. ඕපා දූප දැක බලා ගන්නට පණ ඇති කිසිවෙක් ඉතිරි වී නොසිටියේය. 

මේ වන විට ῞ෂා ῝ කන්දේ තෙතමනය මුළුමනින්ම මිර්ෂාව විසින් ස්වකීය පෙම්වතියට ත්‍යාග කරනු පිණිස උරා ගෙන අවසන් ව තිබිණි. අධික වේදනාව නිසා අවසාන මොහොතේ ῝ෂා῞ කන්දේ හෘදය පලාගෙන වියරු අග්නි දහරාවක් පැන නැංගේය. සැබැවින්ම දීර්ඝ කාලීන නිහැඩියාවක් නිමා වන්නේ මහා ඛේදාන්තයකිනි. ῝ෂා῞ කඳු ගර්භය ගිණිගෙන දැවෙන මොහොතේද මිර්ෂාවන් මූල පද්ධතිය හරහා එක්වෙමින් සිටියහ. ῞සෝ῝ කඳු සිරසෙහි උන් මිර්ෂාවට අවසන් ජීව දහරාව තිළීන කළ සෙසු පෙම්වත් වෘක්ෂය දැවී හළු වී මොහොතකින් අගුරු බවට පත්ව රක්ත වර්ණයෙන් තෙවරක් දිලිසී නිවී , යළිත් වරක් තැඹීලි වර්ණයෙන් දිලිසී නිවී අනතුරුව තද කළු අගුරක් බවට පත් වූයේය.මොහොතකට දකුණු ඉවුර මුළුමනින්ම නිශ්චලතාවයට පත් විය. මිටියාවතෙහි වෘක්ෂයකට ඉතිරි ව තිබුණේ ῝සෝ῞ කන්දේ මිර්ෂාව පමණකි. ඇයට පිය විප්පයෝගයේ ශෝකය පල කරන්නට සෙලවීම සදහා පත්‍රයක් වත් නොතිබුණේය. ශෝකය පල කරන්නට ක්‍රමයක් නැති වීමද වේදනාවක් මය. ඇය මද සුළගට ඇඹරෙමින් ද නැවෙමින්ද වේදනාව දරා ගත්තාය.දකුණු ඉවුරෙන් හමා ගිය වියළි සුළග මිර්ෂාවන්ගේ ආදරය ගැන ගයමින් දූවිලි වළාකුළු දසත පා කරමින් ස්වකීය ගිම්හාන මෙහෙවර ඉටු කළේය. 

නේත්‍රාංජලියෙහි මේ වන විට දිය බිදුවකුදු ඉතිරි වී නොතිබුණේය. විශාල මාලුවකුගේ කුසයක් පලා බලන විට දිස්වන්නාක් බදුව මිය ගිය මාළුන්ගේ ඇට කැබලිති ගංගා කුහරය දිගේ විසිරී තිබුණේය. ගිම්හාන සුළග නේත්‍රාංජලියෙන් අසා දැනගත් මිර්ෂාවන් ගේ කතන්දරය අහසටත් ඉන් එපිටටත් සියළු දෙවියන්ට සහ තාරකා මණ්ඩලවලට ඇසෙන්නට ගයමින් හමා ගියේය. ප්‍රේමයක ආයුකාලය තීරණය කරන්නේ දෙවියන් විසිනි. ඒ පිදිය යුත්තාටම පුදන ලද ප්‍රේමයක් නම් උනුනගේ පැවැත්ම ලෝකයටම ආශිර්වාදයක් වන්නේ නම් පමණක්මය. කෙසේ වුව අසීස් නම් වූ දෙවියා මිර්ෂාවන් පිළිබද කතන්දරයට ආදරය කළේය. අසීස් වසන්තයට අධිපති දෙවියාය. ඔහු දකුණු දිග කඳු පෙදෙස ට සමාන්තරව කුඩා නිල් පැහැති තාරුකාවක්ව උදයේ දීත් දහවලේ දීත් රාත්‍රියේ දීත් පායා සිටියේය. වසන්තයෙහි පැවැත්මට ගිම්හාන වේදනාව අවශ්‍ය වෙයි. මන්ද එබන්දෙක් වසන්ත සෞන්දර්යයෙන් අනවශ්‍ය ලෙස උද්දාමයට පත් නොවේ.

එය අපූර්ව දවසක් විය. ῞ෂා῝ කන්ද ගින්නෙන් පසු මුළුමනින්ම නිහඩ වී තිබුනේය. කවදාවත් නැතිව පාන්දර සුළගේ සිහිලසක් ගැබිවී තිබිණ. ῝සෝ῞ කන්ද මුදුනෙහි වියලි අතුපතර විහිදාගෙන අහස දෙස බලා සිටින මිර්ෂාව ගිම්හාන මතකයේ දුක්බර සිත්තමක් බදු විය. ඇය ස්වාමියාගේ වියෝව උසුලාගත නොහැකිව දෙවියන්ගෙන් පිළිසරණ අයදින කාන්තාවක බඳුය. කේදවාචක අතරතුර අපූර්වත්වයන් පහළ වීම ද ස්වභාදහමේම නියතියකි. ඒ අපූර්ව උදයෙහි නිම්නයට නුපුරුදු කුඩා කුරුල්ලෙක් ῞ෂා῝ කන්දේ සිට ῝සෝ῞ කන්ද දක්වා සෙමෙන් ගමන් කළේය. අවසාන වසන්තයෙහි හටගත් මිර්ෂා ගෙඩිවල තිබූ නිල් පැහැයත්, පරවෙන්නට ආසන්න මල් හි වූ දීප්තිමත් කහ පැහැයත් ඇති පිහාටු වලින් සැරසුණු ඒ කුඩා පක්ෂියා වසන්ත සෘතුවේ කිසි තැනක මෙතාක් දක්නට නොසිටියේය.

වඩාත් අමතක කළ නොහැකිම කරුණ වූයේ දුවුණු මිර්ෂා අරටුවක් සිහිපත් කරවන උගේ කාලවර්ණ දීප්තිමත් දෑසයි. ඇත්තටම ඌ කාගේ කවුදැයි අසන්නට ද පණ ඇති කිසිවෙක් නොසිටියේය. කාලය කෙමෙන් ගලා ගියේය. අසීස් තාරුකාව මිර්ෂාව මුදුනෙන් පායා ආවේය. ඒ මියුරු රාත්‍රිය උදාවේ අර ආගන්තුක කුරුල්ලා ῞සෝ῝ කන්ද තරණය කරමින් සිටියේය. ඌ කෙමෙන් කෙමෙන් කන්ද මුදුනට පැමිණ තාරුකාවට සමාන්තරව මිර්ෂාවේ මුදුන් අත්තක නවාතැන් ගත්තේය. කුරුල්ලාට තිබුණේ මියුරු ස්වරයකි. ඌ සිය පියාපත් එකින් එක තියුණු හොටෙන් ඇද දමමින් ඈත අහසේ තාරුකා දෙස බලමින් මියුරු හඩින් ගැයුවේය. උගේ සිරුර සිදුරු වී නොනවත්වා රැධිරය වෑහෙන්නට විය. සිය අවසාන පිහාටුව සිදෙන තෙක්ම ගී ගැයූ කුරුල්ලා අවසන් මොහොතේ හොටයෙන් හදවත සිදුරු කර ඉන් ගලා ආ රුධිරයේ සිසිලසින් මිර්ෂාවගේ හදවත සුවපත් කළේය.

රැය පහන් වන්නට ආසන්න මොහොතේ අහස මූණ කළු කරගත්තේය. නොනවත්වා වැසි වැටුණි. නේත්‍රාංජලියට සුපුරුදු පුළුලුකුල හිමි වීම නිසා ඈ අසීරුවෙන් ගැලුවාය.ඒ උදා වූ වසන්තයේ දී දකුණු ඉවුරේ හැඩය මුළුමණින්ම වෙනස් විය. කලු අගුරු පැහැ කන්දකට මුහුණ ලා අමුතු ගසක් හට ගෙන තිබුණි. ඒ ගස පුරා තිබුණේ පත්‍ර වෙනුවට නිල් පැහැ පිහාටුය. කුරුළු තුඩක් බදු අපූර්ව ඵලයක් එහි හටගත්තේය. බඩගිණිකාර කුරුල්ලන් ඒ ඵල බුදින හැම විටම මියුරු ගායනයක් ඇසෙන්නට විය. පසු ගිය වසන්තයේ සෝෂාවෝ හැඩ කළ වෘක්ෂයන්ගේ උපත පිළිබඳව ද නේත්‍රාංජලිය දන්නා රහස් ඇතැයි සුළග සැක කළේය. 

සෑම වසන්තයකම සෞන්දර්යාත්මක වස්තුන්හි හැඩය තීරණය කරන්නේ ගිම්හානයේ මුහුණ දුන් කටුක කතන්දරවල ස්වභාවය අනුවය. ජීවිතයට හැඩය ලැබෙන්නේ වේදනාවේ මිහිරි ඵලයක් වශයෙනි. ඒ වසන්තයේ අවසන් දවසේ දී මිර්ෂාව කුරුළු පිහාටු තොගයක් සිය හිසෙහි ගවසාගෙන පුරුදු මන්දස්මිතයෙන්ම ගලා ගියේ තවත් කතන්දරයක් ගැන මතු බලාපොරොත්තුද ඇතිවය. මෙසේ සෑම කලෙකම එළැඹි සෘතුව නිමා වූයේ දකුණු දිග ඉවුරේ හැඩය වෙනස් කරමිනි. පරිණාමයට හේතුව වේදනාවයි. බිය නොවන්න. .. වේදනාබර සෑම මොහොතකම ඔබේ කවුළු හැර බලන්න.. තවමත් දකුණු දිග අහසේ ඒ කුඩා තාරකාව පායා තිබෙනු ඇත.

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

18 comments:

  1. මරු ඕයි පරිසරයේ මැවීම. අපේ ගේ ඉස්සරහ තියෙනවා කඳු දෙකක් සහ මැදින් යන ඇලක්. මම ඒව මවාගෙන කියෙව්වෙ.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. පරිසරයත් සමග ගළපා ලියන අපූරු කථාවක් උපේක්ෂා. රෝගී හිතකට විතරක්ම නෙමෙයි අනික් හිතකටත් මෙය කියෙව්වාම හොඳ ශක්තියක් දැනෙනවා. මේ වගේ බ්ලොග් එකක් කියවීමට ලැබීමත් සතුටක්.
    ඒ වගේම සඳූ සොයුරියටත් සුවයත් සිතේ ශක්තියත් ප්‍රාර්ථනා කරනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද මහත්තයා

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. එක හුස්මට කියෙව්වා. ඉතාම රසවත්. යහළුවට ඉක්මන් සුවය පතමි....

    ReplyDelete
  6. ම0 ගෙදර ආවා...
    මට සනීපයි..








    ReplyDelete
  7. ඔබේ මිත්‍රයා සදු ට ඉක්මන් සුව පතනව....,
    අරාබි නිසොල්ලාසය ගැන මගේ දැනීම ඒ තරම් මදි....,
    ඒත් ඔබේ ලිවීම් බොහොම දක්ශයි...
    නිර්මානශීලීයි...
    මේක සුර0ගනා කතාවක් ලෙස නම් කිරීම ඔබේ නිර්මානාත්මකතාවයට හොද මදි...
    මෙහි වටිනාකම බොහොම වැඩියි....,
    මේ ආදරයට මම බොහොම ආදරෙයි වගේම ලෙන්ගතුයි....,
    ඉතින්..., ඔබට ජය....,
    ඔබේ පන්හිදෙන් බොහෝ දෑ ලියවෙන තුරු මග බලා සිටිමි....,
    ලොවක් සනහන් අපූරු අදහස් වචන වලට පෙරලා ඔබ මිනිසුන්ගේ සිත් සතන් තුල ආදරය වැපිරීම ගැන දෙවියන් උනත් සතුටු වනවා නිසැකැයි....,
    ඔබේ හදවත අත්ලට ගෙන එය දකුනු වම් පස හොදින් අතගා බලා එහි වූ වේදනාවන් මෙන්ම ප්‍රීතිය හදුනා ගැනීමට මා අසමත් වුවත්...,
    ඔබේ හදවත තුලින් පැනනැගි මනුශ්ශත්වය හදුනා ගැනීමට හැකි වීම පිලිබද මම සතුටු වෙනව....,
    තේරුමක් නැතිව ගැහෙන හදවතකට ජීවත් වෙන්න අරමුනක් දෙන්නත් ...,
    කදුලු පමනක් උරුම දෙනෙතකට සිනහව පලදන්නත් ඔබට හැකි වුනා....,
    ඉතින් ඔබට ගෞරව කරනවා සදහටම....,
    ඔය දෑතින් තවත් අකුරු ලියවෙන තෙක් ම0 මග බලාගෙන ඉන්නවා....








    ReplyDelete
  8. https://m.youtube.com/watch?v=5ib-TvcdGQA

    ReplyDelete
  9. ඔබේ ලිවීම රහයි බොහොමත්. නුබේ යෙහෙළියට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  10. https://youtu.be/GQbVm5me64Y

    ReplyDelete
  11. එක දිගටම කියෙව්වා. අතරමැද ගුරු ගීතය මතක් උනා. ඔබේ මිතුරියට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  12. https://youtu.be/n0--8nDcLOA

    ReplyDelete
  13. ඔබ හොදින් නේද.... ?
    අතක් උස්සල හරි ඉන්න බව පෙන්නන්නකෝ...,
    මෙහෙම හිටියට මම ටිකක් බයගුල්ලෙක්...







    ReplyDelete
  14. මෙහෙම හිටියට මගෙ වයස දැන් අවුරුදු 34 ක්....,
    35 න් මැරෙයිද මන්ද....






    ReplyDelete