Realtime website tracking softwareRealtime website tracking software

Monday, November 28, 2016

ඇත්තමයි !! ඒ සිතුවම මාව මරා දැමුවා !!!



නිමිත්ත - ප්‍රගීත් රත්නායකගේ ඇකඩමිය මගින් ඉදිරිපත් කළ ථෙ ටෙxට් සිතුවම් ප්‍රදර්ශනයේ දුටු සිතුවමක් ..
සිත්තම - Pray
සිත්තරු - එස්. පී. පුෂ්පකාන්තන්
සටහන සඳහා භාවිත ජායාරූප -
01. Pray - එස්. පී. පුෂ්පකාන්තන්
02. ගුවර්නිකා - පැබ්ලෝ පිකාසෝ
03. අවසන් විනිශ්චය - මයිකල් ආන්ජිලෝ
04. ඔච්විටිස් වධ කදවුරේ බිහිසුණු වෛද්‍යවරයා ජෝසප් මෙංග්ලේ කුඩා දරුවන් යොදා ගෛන සිදු කළ බිහිසුණු වෛද්‍ය පර්යේෂණයක ජායාරූපයක්

භාව ප්‍රකාශන මාධ්‍යයන් අතර වඩාත් අසීරුතම මාධ්‍ය වන්නේ සිතුවම් කලාවයි. මන්ද එය පැතලි පරිසරයක, ඝන වස්තු මැවීමකට එහා ගිය සමාජීය හා මානවීය කියවීමක් වීමත්, අනෙකුත් ප්‍රකාශන මාධ්‍යයන්ට වඩා අවම සංස්කරණ තත්ත්වයන්ට භාජනය වෙමින්, තමාට අනුබද්ධව සමාජයට වඩාත් අවංක විය යුතු වීමත් නිසාය. එය සැබැවින්ම අසීරු ක්‍රියාවලියකි. බොහෝවිට අන්‍ය කලා මාධ්‍යයන් මෙන්ම සිතුවම් කලාව ද යුග සහ කාල වශයෙන් බෙදේ. එය ලංකාවේ දී නම් නුවර යුගය, අනුරාධපුර යුගය ආදී වශයෙන්ද, අන්‍ය රටක නම්, සියවස් වශයෙන් ද ආදී ලෙස බෙදා දැක්විය හැකිය.

මේ අනේක විධ විභජනයන් තුළින් අපේක්ෂා කරන්නේ, අදාළ කෘතිය කොතරම් දුරට කාලය හා අවකාශය අතර ස්ථානගත වී තිබේද යන්න වටහා ගැනීමයි. චිත්‍රපටයක දී නළුවන්ගේ සාත්වික අභිනයන්, දෙබස්, වචන, ශබ්ද උපක්‍රම සහ සංගීතය මගින් පවසන පණිවුඩය, නවකතාකරුවා චරිත නිරූපණය මගින්ද, කවියා උපමා අලංකාර, යති, ඝන ආදී උපක්‍රමයන් මගින් ද ලබා දෙයි. ඒ ආකාර අලංකාර මාධ්‍යයන්ගෙන් කවිය පාඨකයාගේ සිත නොගතහොත්, සුගායනය හෝ කියැවීමේ ලාලසාව සහ ඉදිරිපත් කරන්නාගේ ප්‍රතිභාව මත එය සමාජ ගත කළ හැකිය. 

නමුදු සිතුවමක තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය . සිත්තරුවාට ඇති එකම භාෂාව, මැකුණු රේඛා මත ඇදුනු පැල්ලම් පමණකි. එමෙන්ම අනෙකුත් ප්‍රකාශන මාධ්‍යයන් ප්‍රේක්ෂකයා සිටින තැනක් දක්වා සම්ප්‍රේෂණය කළ හැකිය. නමුත් සිතුවමක් එය ස්ථානගත කළ තැනකට ගොස් නරඹා සතුටුවිය යුතුය. එසේ අපව සිත්තමක් කරා රගෙන යාමට නම්, සිත්තරාගේ කීර්තිය හෝ සෙසු නිර්මාණවලින් ඇසගැටුණු ප්‍රතිභාව ආදිය වැදගත් වේ. අදටත් ආන්ජිලෝ සොයමින් වතිකානුවට යන්නන්ද, ෂර්ලොක් හෝම්ස් සොයමින් තවමත් බේකර් වීදියේ සරන්නන්ද තවදුරටත් අපට කියන්නේ කුමක්ද? කලා කෘතියක් මිනිසා සමග බද්ධ විය යුතු බව නොවේද? 

සාමාන්‍යෙයන් සිතුවමක දී වඩා වැදගත් වන්නේ, පණිවිඩය නොවේ. උපදේශාත්මක චිත්‍ර පාසලක හෝ ආයතනයක තාප්පයක් මත සිත්තම් කළාට එහි ඇති වරදක් නැත. නමුත් ඒවා කලාකෘති නොවේ. පණිවිඩ හෝ උපදේශාත්මක අර්ථයෙන් ඇද ඇති ඇතැම් සිත්තම් මම මෙහිද දුටුවෙමි. නමුත් සිත්තමක් කිසි කලෙක උපදේශාත්මක හෝ විස්තරාත්මක විය යුතු නොවේ. එවන් දෑ අයත් වන්නේ පෝස්ටර් මාධ්‍යයට මිස, සිතුවම් ඝණයට නොවේ. සිතුවම යනු වසර ගණනක විදීමේත් ,එක් ක්ෂණික සිතුවිල්ලක් වෙනුවෙන් දීර්කඝ කාලීන සෙවීමකින්ළ පසු කළ අනුපමේය කැපවීමකි. එහි දී වඩාත් වැදගත් වන්නේ සංකල්පනාවේ ඇති අව්‍යාජත්වයයි.

අන්‍යානුභූතියකට වඩා යුද්ධයේ බිහිසුණු කම නිර්මාණයකට නැගීම අතිශය දුෂ්කරය. බොහෝවිට යුද්ධයේ හෝ වෙනත් ඛේදාන්තයකදී ජීවිය බේරාගත් සෙස්සෝ මනසින් රෝගී වුවෝ හෝ සමාජීය වෛරක්කාරයෝ බවට පත්වෙති. ඒ ඛේදාන්තයේ විලාපය සිදුවූ අයුරින්ම ගෙනහැර පාන්නට හෝ බොහෝ උන් අසමත් වෙති. අල්පයක් දෙනා වාර්තාකාරීව එය කියා හිත නිදහස් කරගනිති. ඇතැමෙක් ජීවිත අන්දර ලියති. නමුදු ඒ ඇසිල්ලේ අප එය විදින්නේ කේදවාචය තුළින් ආ හදිසි උත්තේජනය නිසාය. 

සේයා සදෙව්මි සිදුවීම අද මතකයක් පමණක් වී, ටයිටැනික් තවමත් අප තුළ තිගැස්සීමක් ඇති කරන්නේ ඇයි? සිදුවීමක් සිදු වූ බව හා සිදු වූ සැටි කියා පෑමකට එහා ගිය යමක් නිර්මාණයක් තුළ පවතී. සැබැවින්ම එය කුමක්ද? එය කුමක් වුවත් එබන්දක් සිතුවමකට නැගීම යනු අතිශය දුෂ්කර ක්‍රියාවලියකි. පුෂ්පකාන්තන්ගේ Pray සියළු ශිල්පීන්ගේ කෘතීන් ඉක්ම,වා විශිස්ටත්වයට පත්වන්නේ කෙසේද? කොතැනින්ද?

අපි සිත්තම ගලවා බලමු. එය අපූර්ව මායාමය පැසකි. අප ඒ පැස ලිහා බැලිය යුතුය. එහි පැහැදිලිව දැක්වෙන්නේ, කිසියම් ව්‍යුහයක සිරවුණු නග්න කවන්ධ සමුදායකි. ඔවුන් සිරව ඇති මේ ව්‍යුහය කුමක්ද? නරඹන්නෙකුට එය තමන්ගේ ව්‍යුත්පත්තිය අනුව විවිධ ආකාරයෙන් කියවිය හැකිය
.
01. මෝටාර් බෝම්බයක හරස් කඩක් ලෙස
02. වදමලක හරස් කඩක් ( මනිපත්‍ර කොටස හා රේණු අර්ධයක් ද සහිතව)
03. විදුලි බල්බයක හරස් කඩක්
04. මෞත්‍ර ලිංගික පද්ධතියේ හරස් කඩක් (ගර්භාෂ පැලෝපිය නාල සහ යෝනියේ මුල් කොටස සහිතව)
මේ ව්‍යුහයන් හතරම උප්පත්ති මූලයන් වේ. බෝම්බය යනු ස්පෝටන මූලයකි. බල්බය යනු ආලෝකය නම් ශක්තියේ ප්‍රතිදාන අවයවයයි. වදමල සහ මොත්‍ර ලිංගික පද්ධතිය ද ජෛව සම්භෝග ඉන්ද්‍රියයන් ය. පොදුවේ ගත් විට මේ ආකෘතීන් හතරම, පුද්ගල භෞතික හා ශක්තිමය සම්භවයේ මූලයන් වශයෙන් ගත හැකිය. මිනිසාගේ උපතත් සමගම ඔහු සමාජයට ස්ථාපනය කරන්නට යම් ලේබලයක් අවශ්‍යය. ඒවා ජාති, ආගම්, කුල, ගෝත්‍ර ආදී වශයෙන් වේ. නමුත් මිනිසාගේ ප්‍රකෘතිය විනාස කර දමන ජාතිය ආගම නැමති ගෝත්‍රික මුල් සිද දැමිය යුතුමය . Pray හි පවතින්නේ, සම්භවය උත්පත්ති දවසේම ස්ථානගත කරන්නට ගිය ගමනේ අවාසනාවන්ත පලයකි. අවසානයේ හිස වෙනුවට වලිගය මෝරා වැඩුණු මිනිසුන් සමුදායක් විසින් උනුන් මරාගනිමින් මරණය කරා ළගාවූහ.

ගෝත්‍රිකත්වයේ ළදරු මුල් සිඳගෙන පලා ගිය පිරිසක්ය ද මේ අතර විය. සැබැවින්ම ඔවුන් සියල්ලෝම අද දවස වෙනතෙක් පණපිටින් සිටිත්දැයි මම නොදනිමි. මා දන්නේ මින් පිරිසක් ගැන පමණය. ඒ තමන් සමගම ඉපදී, සම්භවය පිළිබද කාරණයේ දී, මිනිස් සමූහයාට වූ විනාසය පිළිබද කතන්දරය ලොවට කියන්නට කවියෝද, චිත්‍ර ශිල්පියෝද, කතාකරුවෝද වූ මනුෂ්‍යය කොට්ඨාශය ගැන පමණකි. ඉතින් ඔවුන් කළේ කුමක්ද ? 

ඔවුහු ගර්භාෂයේත් මෝටාර් බෝම්බයකත් හරස් කඩක සිරවූ ස්වකීය ආත්ම වෙනුවෙන් ලියූහ, රැගූහ, ගැයූහ, සිත්තම් කළහ.. ගර්භාෂ මූලයේ පැලෝපිය නාලය අයත් කොටස / පුෂ්ප ඛණ්ඩනයක මනිපත්‍ර අවස්තාව සේ දැක්වෙන කොටස පමණක් රක්ත වර්ණාලේපිතය. උපන් දාම මියගිය බැවින්, උපතේත්, මරණයේත් පෙකණිවැල තවම සිදී නොමැත. සැබැවින්ම මේ විනාශය සිදුවූයේ උත්පත්ති අවස්ථාවේමය. ඒ කෙබදු උත්පත්තියක්ද? ස්වභාවික උපතත් සමගම සංස්කෘතිකව ස්ථාන ගත වීමේ දී මිනිසා ගෝත්‍රිකව මෙන්ම වාර්ගිකව ද විභේදනය වේ. උප්පත්ති මූලය විබේදනය වීම මිනිසාගේ විනාශයට හේතුවේ. පුෂ්පකාන්තන් අපට කියන්නේ ඔහුගේම කතාවයි.

යුද්ධය කිසි කලෙක සුන්දර වූයේ නැත. නමුත් කලා නර්මාණයකට සමාජ සමෘද්ධියට වඩා විසමෘද්ධිය බලපෑම් කරන බව, සෝවියට් රුසියාවේ පශ්චාත් යුධකාලීන සාහිත්‍ය එස්සේ අපි හැදෑරුවෙමු. නමුදු එබදුම පසුබිමක් ගෙවන ලංකාවේ එවන් විශිෂ්ඨ කෘතියකට මට මුණ ගැසුණේ පුෂ්පකාන්තන්ගේ සිත්තම පමණකි. යුද්ධයේ විනාශකාරී තත්ත්වය දෑසින් දුටු ප්‍රකාශන හැකියාව ඇත්තෝ ද දැවී හළු වී යන්නට ඇත. සිය දෑස් ඉදිරිපිටම මවු දෙමවුපියන් මරා දැමූ වේදනාබර මතකය පුෂ්පකාන්තන් නම් වූ ළාබාල සිත්තරා තුළ නිදන්ව තිබුණි. නමුත් ශෝකය නමැති භාවය කේන්ද්‍ර කරගෙනම සිත්තමක් අදින්නට ඔහු පෙළඹුනා නම්, එය ශ්‍රේෂ්ට කෘතියක් බවට පත් වන්නේ ද නැත. නමුත් මෙය නිකම්ම නිකම් සිත්තමක් පමණක් නොවේ. ඒ ඇයි? 

සිතුවමකට සංස්කෘතියක් මෙන්ම සාහිත්‍යයක්ද තිබිය යුතුය. එමෙන්ම විපරීත චින්තනයක් ද තිබිය යුතුය. පශ්චාත් යුධකාලීන සාහිත්‍ය කතෘන් හා සිතුවම් මනාව හැදෑරීමක් මෙන්ම සංසාරික වාසනාවක් ද මේ චිත්‍ර ශිල්පියා සතුව ඇත. සමස්ත ප්‍රදර්ශනයේ වූ ශ්‍රේෂ්ටතම කෘතිය මෙයයි. මේ කෘතිය ශ්‍රේෂ්ටත්වයට පත්වන්නේ ඇයි? අන්‍ය කෘතීන් මග හැර ඒ ගැනම සිතෙන්නේ ඇයි? යළි යලීත් ඒ තුළම ගිලෙන්නට හිතෙන්නේ ඇයි? 

ඒ කුමන තත්තුවයක් තුළ වුවද, මිනිසාට තවදුරටත් සත්‍යය මගහැර යා නොහැකි නිසාය. බුදුන් වහන්සේ පස්මහ බැලුම් ගැන දුන් විවරණයට ඔහු බෝම්බයක් ගසයි. ජාතිට කුලය බලා උපදින්නට සාමාන්‍ය මිනිසාට නොහැකිය. ඔහු ඒ වැරදි ආදර්ශය ගෙන උපන්ගෙයිම ජාති කුල ගෝත්‍ර හදාගෙන මහපොලව වෙනුවෙන් පොරබදා හතර රියනවත් නොමැතිව මිය යයි. බණ වුව වරද්දා ගැනීම ඖෂධ විසවීමකට සමානය. අසාත්මිකතාවයට සුදුසුම ඔසුවක් වුවද, පෙනිසිලින් ද යම් දවසක විසවන්නට පුළුවන. මිනිසුන් වර්ග කිරීම පිළිබද සංකල්පයට එහු හෙලන්නේ කුළුගෙඩි පහරකි.

පුෂ්පකාන්තන් ගේ ශෛලිය වඩාත් සමාන වන්නේ පැබ්ලෝ පිකාසෝට නොව මයිකල්යි ආන්ජිලෝටයි. ආන්ජිලෝ තම සිතුවම් කෙරේ කළ කැපවීම සහ ඉවසීම මේ නිර්මාණකරුවා තුළද එසේම වෙයි. ආන්ජිලෝගේ අවසන් විනිශ්චය සහ පුෂ්ප කාන්ත්ගේ සිත්තමේ යම් යම් සමානතා දක්නට ලැබේ. ප්‍රකාශන විධික්‍රම සහ මිනිස් රෑ වල ඇතැම් ප්‍රකාශ ලක්ෂයන් සමානය. ආන්ජිලෝ සම්භවය ස්ථානගත කිරීම පිලිබද ගොඩ නගන න්‍යායද වෙසෙස්ය.

පැවැත්ම පිළිබද අරගලය තුළ මිනිසුන් වර්ග කළ නොහැකිය. එවුන්ට සාමාන්‍ය සමාජයේ ප්‍රකෘතිමත් මිනිසුන් ලෙස ජීවත් වන්නට තව දුරටත් අවස්ථාව දිය යුතුය. අපට මිනිසුන් වර්ග කළ හැක්කේ ලෝකයේ අවසන් දවසේදීය. එබැවින් පාපකාරී වකවානුවකදී දෙවියන් සහ යක්ෂයන් විසින් මිහිපිට මිනිසුන් තෝරා සුදුසු ස්ථානවල පිහිටුවීම හෙවත් ඔවුන්ගේ පරිනාමීය ස්ථානගත කිරීම සිදුකළ යුතු බවට ආන්ජිලෝ යෝජනා කරන්නේ, අවසන් විනිශ්චය(Last Judgement) නම් සිත්තම තුළිනි. එයින් ඔහු පවසන්නේ දෙවියා හෝ යක්ෂයා විසින් අපාය හෝ සුරලොව දක්වා මිනිසා වර්ග කරන්නට පටන් ගත් තැන ලෝකයේ පැවැත්ම අවසන් වන බවය. සැබැවින්මි ම මිනිසුන් කිසිම ලෙසකින් වර්ග කළ නොහැකිය.

ආන්ජිලෝ සහ පුෂ්පකාන්ත් යන දෙදෙනාගේ ම මිනිස් රූප ස්වභාවික සම්ප්‍රදායට අයත් වේ . නමුත් පුෂ්පකාන්තන්ගේ ප්‍රකාශන ව්‍යුහය පිකාසෝට සමානය. මේ තරුණ නිර්මාණ කරුවා ශ්‍රේෂ්ටයන් දෙදෙනෙකුගේ දෙමුහුන් වස්තුවක් බදුය. ගුවර්නිකාවට බෝම්බ හෙලූ දා ඒ මහා විනාසය පිකාසෝගේ රේකාවලින් මැවුනේ යම් සේ ද, පුෂ්පකාන්තන්ගේ අව්‍යාජ රේඛාවද කියාපාන්නේ සංස්කෘතික යුද්ධයේ අැති බිහිසුණු ස්වභාවයයි. මේ නිර්මාණය විශිෂ්ඨ වනුයේ එ් හා බැදී ඇති ඔහුගේ දුක්බර කතන්දරය නිසා නොවේ. කතන්දර කල් ගත වත් ම මතකයෙන් මැකී යයි. නමුත් නිර්මාණයක් කාලය ඉකුත් වත්ම ඉකුත් වත්ම, අදාළ යුගය පිළිබද ස්මරණයන් හා බැදෙමින් වඩාත් ශ්‍රේස්ටත්වයට පත්වෙයි.

වඩා වැදගත් වන්නේ ඔහු මෙම නිර්මාණය වෙනුවෙන් කළ ඉවසීමයි. පරිණාමය හා සම්භවය ස්තානගත කිරීම පිළිබද මතවාදයන් පිකාසෝ හා ආන්ජිලෝ ගුවර්නිකා සහ අවසන් විනිශ්චය වැනි නිර්ආමාණ තුළින් මතු කරද්දී, මානව ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ ඔච්විටිස්ට් හි ජෝසප් මෙංගලේ විසින් මානව පරිනාමය මෙබදු විය යුතුයයි සිතමින් අමු අමුවේ මිනිසුන් කපා කොටා හදන ලද ආකෘති ද නිර්මාණකරුවාට බලපා ඇති බවක් පෙනේ. මෙංගලේගේ පර්යේෂණ ආකෘතික ජායාරූපයෙන් ඉදිරිපත් කළ බද්ධ මිනිසුන් පිළිබද විකෘති අනුරුව සහ පුෂ්පකාන්ත්ගේ හිස වෙනුවට වලිග මූලයන්ගෙන් සංස්කෘතිය බදාගන්නා ආකෘතියද ක්ෂණිකව ජේදනය වේ. රටවල් දෙකක් , වකවානු දෙකක් මෙසේ එකට එකතු වන්නේ ඇයි? 

කලා කෘතියක් විශ්වීය වන තැන එතැනය. අහස හා මුහුද යාව ක්ෂිතිජය නම් ඉසව්ව මෙන් ලෝක දෙකක හෝ දෙරටක දෙදෙනෙක් ආත්මීය කම්පනයක් දෙආකාරයෙන් සිදු කළ හැකිය. මෙංග්ලේ කෘෘර විද්‍යාගාර පර්යේෂණයකට සීමා කළ ඒ ආකෘතිය, පුෂ්පකාන්තන් තියුණු ප්‍රකාශන මූලයක් බවට පරිවර්තනය කළේය. ඔහු තවදුරටත් ප්‍රශ්නයට නගන්නේ, පරිණාමයේ ලේ නොවියකුණු පෙකණිවැල පිළිබද ඛේදවාචකයයි. ඔහු මේ සංස්කෘතික ප්‍රවාහයේ මුල ඉතිරි කර, හිස පමණක් බේරා ගත්තෙකි. නමුත් මුල නැතිව කිසිදු පොලොවක පැලවෙන්නට නොහැක. ඒ අස්ථාවරත්වය ඔහු ද්වී වර්ණ භාවිතාව සහ සුදු පැහැ අවකාශය තුළින් අපූර්ව ලෙස ප්‍රකාශනය කරයි.

පුෂ්පකාන්තන් යනු මයිකල් ආන්ජිලෝගේ අවතාරයක් ලෙස මා දකින්නේ, ආන්ජිලෝ තරම් ස්වකීය ආත්මය සිත්තමක් බවට පත් කළ අනෙකෙකු මා නුදුටු නිසාය. මයිකල් ආන්ජිලෝ යනු වතිකානුවේ සොහොන් පල්ලාගේ පුත්‍රයාය. ඔහු කුඩා කළ සිටම සිය පියා මිනී කපන ආකාරය දෙස බලාසිටියේය. මිනිස් සිරුර පිළිබද අභ්‍යන්තර සත්‍ය්‍ය ඔහු වටහා ගත්තේ එතැනිනි. නමුත් ඔහු ජෝසප් මෙංග්ලේ මෙන් මානව පරිනාමය පිළිබද බියකරු සිහින නොනැගුවේය. පුෂ්පකාන්තන්ගේ සිත්තමේ මුල් තබා ඇඟ බේරාගත් මිනිස් සමුදායෙන් එකෙක් බවට ඔහු ද පත්විය. 

සුප්‍රසිද්ධ ‘පියෙටා නම් කිරිගරුඩ ප්‍රතිමාව තනන්නට ආන්ජිලෝට හැකියාව ලැබෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තරය අධීක්ෂනය කිරීමේ නිපුණත්වය තුළිනි. ප්‍රශ්න ශරීරය කපා නොබලා එහි චින්තන ධාරිතාවය කිරා මැනිය නොහැකිය. ඔහු කිරිගරුඩය මිනී කපන්නා, සිරුරක් විච්චේදනය කලාට වඩා සියුම් ලෙස කපා පියෙටාව මතු කරයි. ඇණ ගැසූ මිනිසකුගේ බාහු පිහිටීම්, මල මිනිසකුගේ ඉරියව් සියල්ලම ජේසුස් වහන්සේගේ නිරූපණය තුළ ඒ ආකාරමය. නමුත් පියෙටාව ශ්‍රේෂෟඨ කෘතියක් වනනේ මිනිස් හැඩ තල ඒ අයුරින්ම නිම වූ නිසාමද? 

එසේ නම් අපට හැදුනුම් පතක ජායාරූපය / කන්ණාඩියක ප්‍රතිබිම්බය වැන්නක් ද ප්‍රත්‍යක්ෂ මූලයක සමාන අනුරුවක් ලෙස කියවා ශ්‍රේෂ්ට කාතියක් ලෙස වර්ග කළ නොහැකිද? නමුත් පියෙටාව සියල්ල ඉක්මවා ශ්‍රේෂ්ටත්වයට පැමිණෙන්නේ, යම් සංසිද්ධියක් උදෙසා තමන් තුළ ගොඩ නැගුණු භාවය ට ස්වකීය චින්තනමය අපූර්වත්වය ද එක්තැන් කළ නිසාය. වඩා වැදගත් වන්නේ, සිදු වූ දෙය ඒ සැටියෙනම් කරන ප්‍රවෘති වටිනාකම් ඇති අනු රූ නොව චින්තනමය විවිධතාවයි.

ජේසුස් නම් ඒ ශ්‍රේෂ්ඨයාව රදළයෝද, පූජකයෝද එක්ව ඇණගසා මරා දැමූහ. ලෝක ඉතිහාසයේ සෑම කලෙකම වංශවතුන් විසින් ශ්‍රේස්ඨත්වය මරා දැමූහ. යළිත් ශිෂ්ටත්වය හෝ ශ්‍රේස්ටත්වයට පණ දෙන්නට උත්සහ කරන්නේ, ඉන්ම බැට කෑ මිනිසුන් නොවේද? පියෙටාව තුළ කුරුසයෙන් මුදා ජේසුන්ව උකුලේ තබා ගෙන, ඔසු තෙලින් ඔහු පිරිමදිමින් ඔහුගේ ජීවිතය යදින වෙරෝනිකා නම් ගණිකාව නිරූපණය වේ. දෙවියන්ට බුදුන්ට පවා පණ දෙන්නට වීදි සරන ගැහැනියකට පවා බලයක් ඇති බව ආන්ජිලෝගේ දර්ශනයයි. 

මිනිසුන් උස් පහත් ලෙස කිසි දාක වර්ග කළ නොහැකිය..පාදඩයකු සේ හංවඩු ගැසූ අසඩක්, හුණුවටයේ දී උසාවියට ගෙන්වන්නට හෙන්රි ජයසේනට සිතුණේ, මේ ප්‍රතිමාව නිසා දැයි මට නොයෙක් වර සිතී තිබේ. හැම විටම කලාකරුවා සාමාන්‍ය සිදුවීම විවිධත්වයෙන් දැකිය යුතුය. ඔහු සාමාන්‍ය මිනිසාගෙන් වෙනස් වන්නේ මේ සිතීමේ සහ දෘෂ්ටියේ විචිත්‍රත්වය නිසාමය.

පුෂ්පකාන්තන් නම් වූ අපූර්ව චිත්‍ර ශිල්පියා විශිෂ්ටත්වයට පත් වන්නේ, ඔහු යුද්ධයේ කෘෘර බව විදිමින් තවදුරටත් ජීවත් වන නිසා නොවේ. එවන් කුරිරු අත්දැකීම් ලද සෙස්සෝ ඒ ව්‍යුහය තුළම ඇලෙමින් ප්‍රතිප්‍රහාර දෙමින් සංස්කෘතික වල්ගා ශීර්ෂ මූලයන් හි වඩවමින් තව තවත් ඒ බිහිසුණු ආකෘතිය තුළටම බැඳෙද්දී ජාති , ආගම් හෝ දේශ සීමා යන කිසිදු විභේදනයකින් තොරව විශ්වීය යුද්ධයේ සදාතනික ඛේදවාචකය හෙවත් පරිණාමයෙන් පසු සම්භවය පිළිබද ගැටලුව තමන්ගේ කතන්දරය වළලා දමා ශෝකය නමැති භාවය තුළින් දාර්ශනිකත්වයට පෙරළා අව්‍යාජ ප්‍රකාශනයක් බවට පත් කළ නිසාය. පුෂ්පකාන්තන්..!!

ඇත්තමයි !! ඒ සිතුවම මාව මරා දැමුවා !!!

-උපේක්ෂා නුවන්ශ්‍රීනි -

14 comments:

  1. ඔහුගේ "සිතුවම් සහ කලාවටත් " ඔබගේ නිර්මානාත්මක ඇගයීමට සහ දක්ශතාවයටත් හිස නමා ආචාර කරනවා හැරෙන්නට කල හැකි යමක් මට තේරෙන්නෙ නැහැ...,

    ල0කාවෙ විතරක් නෙමේ ලෝකෙම චිත්‍ර කලාවට අද ලැබිල තියන තැන බොහොමත්ම කනගාටුදායකයි...

    ච්ත්‍ර ශිල්පියා තමන්ගේ නිර්මානාත්මක අදහස් ඉවතලා මුදල් සොයන හිගන්නෙකු බවට පත්වීම පිලිබදව සමාජයම වගකිවයුතුයි...,
    "ඩිජිටල් මාද්ය සහ ෆොටෝග්‍රැෆි" වල පැමිනීමමද චිත්‍ර කලාවට හෙනහුරා ගැහුවෙ...?

    ල0කාවේ බහුතර මිනිසුන් නියම චිත්‍රයක කලාත්මක රසය විදීමට දන්නවාද කියන එක ගැටලුවක්...,

    "කලා පොල" වැනි ස්තානවලදි බහුතර මිනිසුන් සොයන්නේ ප්‍රසිද්ද කලාකරුවකුගේ නම සහිත චිත්‍රයක්...
    එය ඉරි කෑලි දෙකක් වුවත් ඔවුන්ට කමක් නැහැ...,
    ච්ත්‍ර ශිල්පියා නිර්මානාත්මතාවය පසෙකලා " නම" පමනක් සාදා ගැනීමට වෙහෙසෙන්නේ මේ නිසයි..,
    එම නිසා අද දවසේ නියම චිත්‍ර කලාව අප අතින් ගිලිහී තියනව...,

    චිත්‍ර කලාවත් අනෙකුත් සියලුම කලා මාද්යනුත් අතර පවතින්නේ එක හා සමාන ගැබුරක් සහ වටිනාකමක්...
    එහෙත් ඔබ කිව්වා වගේ චිත්‍ර කලාව ජනතාව අතරට පොදුවේ යාමේ අපහසුතාවය අනෙක් මාද්යන්ට වඩා වැඩියි...,

    ල0කාවෙ රජයෙන් චිත්‍ර කලාවට තබා මොනයම් කලාවකටවත් සාදාරනයක් ඉශ්ට වෙයි කියල හිතන එකත් මෝඩ වැඩක්...,

    එහෙත් ඔබේ මෙම උත්සාහය බොහොමත්ම ගෞරවනීයයි සහ ප්‍රශන්සනීයයි....,

    කලාකරුවා මුදලට විකිනීමට ඉඩ නොදී ඔවුන්ගේ කලාව රැකගැනීමට අඩුම තරමේ කලාකරුවන්ම හරි පෙල ගැසිය යුතුයි...








    ReplyDelete
    Replies
    1. මෙතෙක් කාලෙකට තමන්ගෙ චිත්‍රයක් ගැනවත් මේ වගේ නිර්මානාත්මක විචාරයක් කරන්න ල0කාවෙ එකම එක චිත්‍ර ශිල්පියෙකුටවත් පුලුවන් උනාද කියන එක ගැටලුවක්...
      ඇස් වහක් කටවහක් නෑ...මම හැබෑවටම කැමතියි ඔබ හොද තැනකට යනව බලන්න...
      ඔය අත් දෙකේ තියන ශක්තියට මම සදහටම ආශිර්වාද කරනව..








      Delete
  2. කලා කෘතියක විශ්වීයත්වය ගැන සාරාංශගත විචාරයක්...සුපිරියි.

    ReplyDelete
  3. අපූරු සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. It's a lovely description. Touched every nook and corner. Like Jayave
    Lal's cinama cretisisam. Pl.use your born talent wisely. All the best.

    ReplyDelete
  5. kalava pilibanda honda kiyaweemak.kalakruthiyata vada obe vachana walin karana balapama balavath.subapathami

    ReplyDelete