Realtime website tracking softwareRealtime website tracking software

Friday, November 25, 2016

ප්‍රේමය නම් කිසිදා නොනිමෙන පහනකි..!


 
ආදරය, ප්‍රේමය සහ සෙනෙහස යන වචන එකිනෙකින් වෙන් කිරීමත් ආදේශ කිරීම හෝ ඒවායෙහි ඇති අනුපූරකත්වය සොයා ගැනීමත් බෙහෙවින්ම අපහසුය. මේ සෑම වචනයක්ම එකිනෙක සමග අත්‍යන්තව බැදී පවතින අතර. ප්‍රේමයෙන් ආදරයෙන් හෝ ස්නේහයෙන් තොරව ස්වභාවික ලෝකය තුළ කිසිදු ජීවියකුට පැවැත්මක් නොමැත. ගස් වැල් සතා සීපාවෝ පවා ආදරය අපේක්ෂා කරති. විශ්වයේම පැවැත්ම රදා පවතින්නේ ප්‍රේමය ද ස්නේහය ද කරණකොටගෙනය. නමුත් වඩාත් වැඩිවශයෙන් නිර්මාණාත්මක සාහිත්‍යය තුළ දී කතාබහට ලක් වන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි.

එය පැවැත්ම පිළිබඳ සාධකයක් වූ නිසාද?  නැත්නම් එහි තිබූ භාවික සෞන්දර්යය නිසාද? ස්ත්‍රී පුරුෂ ප්‍රේමයත් කුටුම්බ ගත බන්ධනයත් යනු වේදනාකාරී ඉවසීමි දහරාවකි. එබැවින් විටක ප්‍රේමය ශෝකයක් ද, ශෝකය ප්‍රේමයක් බවට ද පරිවර්තනය වේ. ප්‍රේමය යනු මිනිසකුට මෙලොව හමුවන ආශ්චර්යයකැයි පැවසුවේ එබැවිනි.

ප්‍රෙමයෙහි ප්‍රඵවය කුමක්දැයි නිහ්චිතව කිව නොහැකිය. ඇතැම් විට එය ගැහැනියක විසින් පිරිමියකුටත්, නැතහොත් පිරිමියකු විසින් ගැහැනියකටත් විය හැකිය. ඇතැම් විට සත්වයන් අතර පවතින ප්‍රේමයක්. ගහකොළ හෝ අනෙකුත් ස්වභාවික වස්තු කෙරේ වූ ඇලීමක්, නැතහොත් පුත්‍ර හෝ දුහිතෘ ප්‍රේමයක් විය හැකිය. වැදගත් වන්නේ ප්‍රෙම නිෂ්පත්ති කාරකය නොවේ. සමීපතමයකු තුළ ප්‍රේමයක් හටගත් විට අප වඩා විමසිලිමත් වන්නේ, ප්‍රේම කාරකය හෙවත් හිතවතාගේ හෝ හිතවතියගේ ප්‍රේමයට හේතු වූ තැනැත්තා පිළිබ ද සෙවීමයි. නමුත් අප සෙවිය යුත්තේ ප්‍රේම කාරකය නොව. ප්‍රේමය නම් විශ්ව සංකල්පයෙහි ඇති සියුම් හැඩ තලයි.දක්ෂ කවියාට රචකයාට එහි සියුම් තැන් හොදින් ස්පර්ශ වේ. මේ එබඳු මොහොතකි.


පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රදා සිට දුක්
දෙයි නිබන්දා

වාල්මිකී සෘෂිවරයාට රාමායණය ලිවීමට හේතු වූයේ පෙමින් වුන් කොස්වා ලිහිණි යුවලක පිළිබද කතාන්දරයයි. එනම් උනුන් එකනෛකා හා පෙමින් සිටිද්දී, වැද්දකුගේ හී පහරකින් කිරිල්ලිය මිය ගියාය. වැද්දා විසින් ආහාරය පිණිස සිය පෙම්වතියගේ සිරුර දවන ගිණි මැලයටම පැන, කුරුල්ලාද සිය දිවි නසා ගත්තේය. ඒ සිදුවීම දුටු වැද්දාද ,අතිශය කම්පාවට පත් වූ බව මහාවග්ග පාලියෙහි සදහන් වේ. මේ දර්ශනය බලා සිටි වාල්මිකී සෘෂිවරයාගේ හදවතෙහි උපන් ශෝකය, නිර්මාණය තුළ දී කරුණ රසය බවට පරිවර්තනය විය.

එකී කරුණ රසය ස්වකීය නිර්මාණ මූලයක් කර ගත් සරච්චන්ද්‍රයෝ, දාරක වියෝගය කෙතරම් දුරට මිනිසකුගේ හදවත කම්පනය කරන්නේද යන්න, සිංහබාහු නාටකයෙහි එන මේ ගීත ඛණ්ඩයෙන් පිළිබිඹු කරයි. පුත්‍ර ස්නේහය යනු, මස් නහර සම සිද ඇට මිදුලු තුළට කිදා බසින තරම් වේදනාකාරී සහ ප්‍රබල වූද, ඇට මිදුළු තුළ සදාකල්හි ලැගුම් ගෙන, මුලු ගතම පෙලන වේදනාවකි.ඒ වේදනාව දුරලන්නට, සිත හෝ කය පිරිමදින්නට හැක්කේ කාටද? මෙය නම් නොනිමෙනා ගින්නකි.


නිසයුරු දැදුරු කැරැ - කුමුදු සමග වනන් සිත්
දිරිය ඉහි බොමිහි තමස් -මුහුදුද ඉහී වැඩී දුක්

( සඳ නැගී එන විට කුමුදු පිපෙයි. ඒ සමගින් ම විරහනීන්ගේ සිත් තුළ ශෝකය උපදී.සඳ පායන විට අන්ධකාරය හීන වන්නා සේ විරහනීන්ගේ ධෛර්යය ද හීන වේ.ඒ සමගම මුහුදේ උද්දාමයත් විරහනීන්ගේ දුකත් වැඩිවෙයි. )

කව්සිළුමිණෙහි එන මෙම කාව්‍යය බලන්න. චන්ද්‍රයා ඇහැරුණු කුමුදු පිපෙන රැයක් චමත්කාරය. සාමාන්‍යයෙන් එබඳු රැයක ඇත්තේ රතිය ඇහැරවන රසයකි. නමුත්, කුමුදු මලෙහි සුදු පැහැයත් සදෙහි මුදු එළියත්, විප්‍රයෝගයට පත් වූ තැනැත්තියන්ගේ සිතෙහි ඇති ශෝකය අවුලුවයි. සැබැවින්ම ශෘංගාරයට අත වනන රාත්‍රියක, ප්‍රේමයක් සමග හුදකලාවම දුකකි. විරහිනියන්ගේ ජීවිතය තුළ කාල වර්ණ යෝධයකු බදුව පැන නැගුණු ධෛර්යය සහ පෞර්ෂය, ප්‍රේමනීය ශෝකය නිසා හීන වී යන්නේ, සඳ නිසා පැහැය බාල වූ රාත්‍රිය පරිදිය.

විරහිනියන්ගේ ධෛර්යය බිදී සිදී යත්ම උන්ගේ ශෝක ය පැන නගින්නේ, චන්ද්‍රයා නිසා ප්‍රීති වී ගොස් නගන්නා වූ මුහුදේ ඝෝෂාව පරිද්දෙනි. ඕනෑම ගැහැනියක ස්වකීය පැවැත්ම උදෙසා ගොඩ නංවාගන්නා ධෙර්යය සහ පෞර්ෂය, මුළුමනින්ම සිඳ දමන්නේ ප්‍රේමයයි. නමුත් එළිමහනේ සිය පෞර්ෂය බිද නොගන්නා විරහිනියෝ, රාත්‍රියේ තුනී වන අන්ධකාරයේ මුහුදේ ප්‍රීති ඝෝසාව ට සමාන ව ස්වකීය ශෝකය උත්පාදනය කරගනිති, හඩති, වැළපෙති. රාත්‍රිය පහන් වන්නේ පිණි පලස මත වැතිරුනු විරහිනියන්ගේ කදුලු උදෑසන සෞන්දර්යයේ කොටසක් බවට පත් කරවමිනි.


හදවත් කතරේ මලක් පිපෙන්නට
දිය සීරාවක් සිසිලස දෙන්නට
වියළුණු පොළොවෙන් මතු වී එන්නට
සදා නොමැලවී පිපී තිබෙන්නට
මා නිසා නෙත් මිණි පහන් තුළ
දල්වනුය පෙම් දැල්ල නොනිවා
එකලු කරනුය ම හද මැදුරක
අරක් ගෙන ඇති අඳුර දුරලා ..

එදිරීවීර සරච්චන්ද්‍රයන්ගේ, පේමතෝ ජායතී සෝකෝ නම් නාට්‍යයේ එන මේ ගී ඛණ්ඩයෙන්, උද්දාල බ්‍රාහ්මණයා විසින් සිය හදවත තුළ පොහොට්ටුවක්ව ඇති දැඩි කළ ප්‍රේමය ස්වර්ණ තිලකා කෙරේ බිඳෙන් බිඳ විකසිත කළ ආකාරය ප්‍රකාශ කරයි.. නමුත්, ස්වර්ණ තිලකා, සරණ බන්ධනය කෙරේ තමාගේ අදහසක් නැති බව පවසයි. නමුත් උද්දාල බමුණාගේ ජීවිතය ස්වර්ණ තිලකා නමැති ප්‍රාර්ථනය නොමැති විට මුළුමනින්ම කාන්තාරයකි. ඒ කාන්තාරයෙහි සරතැස උසුලමින් පැමිණි දිගු ගමනක ඵලයක් ලෙස, දිය සීරා ඇති තැන හදුනාගෙන, එහි මුල් අල්ලා වැඩී, කුසුමක්ව වැඩී ආවේ ස්වර්ණ තිලකා පමණක්මය. ආශ්චර්යයකින් ජීවිතයට පිපුණු එබඳු කුසුමක් කිසිදාක නොමැලවේ. ප්‍රේමිය ඔබේ නෙත් පහන් තුළ මා නිසා ප්‍රේමයේ දැල්ල දල්වන්න.. ඉන් ජීවිත කාලයක් පුරාවට මගේ හදවත් මන්දිරය පුරා වූ අන්ධකාරය දුරුව ආලෝකමත් වනු ඇත.


ස්වර්ණ තිලකා කෙරේ බැඳුණු උද්දාල බමුණාගේ ප්‍රේමයෙහි විසල් බව, සරච්චන්ද්‍රයන් නිරූපණය කළ ආකාරය බලන්න. භාවික ගුණයෙන් යුක්ත වූ ප්‍රේමයෙහි සංකීර්ණත්වය සහ සංකල්පමය අගය වටිනාකම් සහිතවත්, විචිත්‍රවත් ලෙසත්, ඉන් පැන නැගේ. සැබැවින්ම ප්‍රේමය උපදින්නේ ඊට ළගා විය නොහැකි වූ විටය.

මා වඩාත් විස්වාස කරන කරුණක් වන්නේ, ප්‍රේමය නම්, අත්පත් වූ සැණින් විනාස වී යන දෙයක් බවයි. එය ළදරුවකු අත පත් වූ සෙල්ලම් බෝනික්කු වැන්න. ළදරුවා බෝනික්කා හදාරන්නේ විවිධ අත්හදා බැලීම් කරමිනි.. එවිට ඔහුට සිය ක්‍රීඩා භාණ්ඩය අහිමි වී අත්දැකීම් පමණක් ශේෂ වේ.. ප්‍රේමය ද එසේමය .

දුහුනකු අතට පත් වූ විට, ඔහු එහි විවිධ හැඩ තල පිරික්සමින් හිද, ප්‍රේමනීය වස්තුව අහිමි කරගනී. නමුත් කාලයේ ඇවෑමෙන් ඔහුට ප්‍රේමය පිළිබද අවබෝධයක් ලබා දෙන්නේ ද එකී අත් හැරීමමය. අන්ධකාර රාත්‍රියක, විවෘත කවුළුවකින් දකින, හද, තරු සහ අහස වැනි ස්වභවික ප්‍රපංචයන් මෙන්ම, අත්පත් කර ගත නොහැකි ප්‍රේ්මය, ශෝකය අවුළුවා, කරුණ රසය උපදවා, සදාකාලිකවම හදවතෙහි තැන්පත් වේ.


ඔබේ දෑසයි
ඔබේ දෑසයි
නීල උත්පල ඔබේ දෑසයි
ඈත කඳු වැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
මිණි පහන් වැට ඔබේ දෑසයි
අඳුරු අහසේ තාරකා සේ
සිදුරු කර මා හද සිනාසේ
දුරක සිටියත් ළගක සිටියත්
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

සුබා තෙරණිය කෙරෙහි ප්‍රේමාසක්ත වූ ධූර්තකගේ හැගීම් මහගමසේකරගේ මෙම පද්‍යය රචනයෙන් ඉස්මතු වන්නේ අපූර්ව ආකාරයකටය. සුබා තෙරණිය කුමක් කීවද එය ධූර්තකට නොඇසේ. ඔහු තෙරණිය කෙරේ මුළුමනින්ම ආලයෙන් බැදී ඇත්තේය
.
ඈත කදු වැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි

තෙරණියගේ දෑසින් ධූර්තක සමාධියට පත් වී නැත. ඔහුගේ මුළු ආත්මයම කිසිදා නොමිදෙන රැහැනකින් වෙලා වේදනා පමුණුවා ඇත. නැමුණු නීල කදුවැටි බදු යයි කීමෙන්, ඇගේ නෙත් පියන්හි සෝබාවත් ඒ දෑස්වලින් ධූර්තකගේ හදවතහෙි නලියන සරාගී සෞන්දර්යත් ප්‍රකාශ වේ. ඔබ අන්ධකාර අහසකට පායන ලද තාරකාවක් වැන්න. ඒ තාරකා එළිය මගේ හදවත ආලෝකමත් කරනු වෙනුවට එය සිදුරු කර නිරන්තර වේදනාවට පමුණුවයි. එහෙත්. ඒ වේදනාව පවා මට ගෙනෙන්නේ සුවයකි. සැබෑ ප්‍රේමය යනු වේදනාව උසුලාගැනීමේ ධෙර්යයි. ප්‍රේමය පිරිනමන්නා විසින් අනෙකාගේ නිදහස පතා අන්ධකාරය සමග අන්දමන්දව වැඩවාසය කිරීමත්, ස්වභාවික වස්තූන් සමග සිය ජීවිතය බෙදා ගැනීමත්, ඔහුගේ ප්‍රේමය පිළිබද සංජානනය මෙන්ම ජීවන අවබෝධය ද වඩාත් පුළුල් කරයි.

මා හැරදා
දර දඩු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා
සැමරුම් වගවලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයෙ ගන අදුරින් වැසුනත්
සෙලවෙන හදවත පහනෙහි සිලුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස්වෙයි

සිරි ගුණසිංහගේ මස් ලේ නැති ඇට කාව්‍ය සංග්‍රහයෙහි එන, මතක වස්තුව නම් පද්‍යපන්තිය සිය ජීවිතයේ සමීපතම ගැහැණියගේ වියෝගය හගවන්නකි. ඔහු සිය ප්‍රියාව උදෙසා ශෝක වන්නේ කෙසේද? ඇය සමග ගෙවූ අතීතයම වගවලසුන් සූරන ලද සිරුරක් පරිදි, වේදනා පමුණුවයි. ඇ සුන්දර සැමරුම් ඉතිරි කළ මා හැර දමා ගියේ, වලසකු විසින් සූරා ලේ වැකුනු සිරුරක් ශේෂ කළ පරිද්දෙනි. කාලය සමග මතකය කිසිදා මැකී නොයයි. සසල වන හදවත පහන් සිළුවක් වැන්න. ඉන් මැවී පෙනෙන්නේම ඇගේ රෑපයයි.

ගොර හැඩි ගල් ගෙඩි අතරින්

සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී

පද්‍ය පන්තියේ අපූර්ව ස්ථානය වන්නේ මෙම කොටසයි. ගොරහැඩි ගල් ගෙඩි අතරින් ඈ ගලා බසී හද තෙමා බසී.. ජීවිතයෙහි කටුක ස්ථානයන් ඇය තරණය කළේ, සිහිල් දිය වැලක් මෙන් සීරුවටය. ලාලිත්‍යයටය. ජී. බී. සේනානායකගේ කෙටිකතාවක් තුළ භාවිතා කළ, ගොර හැඩි ගල් ගෙඩි යන යෙදුමත් පසු කලක සිරි ගුණසිංහ විසින් මේ පිළිබද කළ විග්‍රහයකුත් සලකා, ඇතැමුන් මේ අරබයා ඉදිරිපත් කළේ වෙනම මතයකි.

එනම්, ගොරහැඩි ගල් ගෙඩි යනු මෙම මිය ගිය ගැහැණියගේ සැමියාගේ අවිවාහක සොයුරියන් තිදෙනාය. ඔවුන් විසින් ඇයට පැමිණ වූ අනේක වූ වධ වේදනා සැමියා විසින් දැන ගන්නේ, ඇගේ මරණින් පසුවය. ප්‍රේමය එබන්දකි. අනෙකා උදෙසා තමාගේ ශෝකය හෝ වේදනාව මරණය තෙක්ම දරා ගැනීම එහි ස්වභාවයයි. නමුත්, කාලයත් සමග සිදු වන ආර්ථික සහ දේශපාලනික පරිවර්තනයන් සමග ජීවිත තුළ ඇතිවන ඛේදවාචයන්, ප්‍රේමය කෙරේ ද ඒ ආකාරයෙන්ම බලපවත්වයි. තවදුරටත් මානව ප්‍රේමය සෞන්දර්යාත්මක නොවී ගනුදෙනුවක් බවට පත්වෙයි. නමුත් ගැහැනියකගේ හදෙහි කලාතුරකින් උපදින ප්‍රේමය, කිසිදා නොමැලවෙයි. එය දිය සීරාවක් බලා පැලවූ තැනම හිද අතැර ගිය නටුව වෙනුවෙන් හඩා වැළපෙයි.

මිනී තුනක් මැරුව කියන
මිනිහට වහ දුන්න කියන
අඩෝ කියල කතා කරන‍
කුසුමාවතී
පොළේ කීර මිටි විකුණන
තන් පේනන හැට්ටෙ අඳින
හැදන්දෑවට ගංජ උරන
කුසුමාවතී
පිල්ලෑවේ
බලු දං පදුරක් පාමුල
ඇන තියාන
මන්නයකුත් අතේ තියන්
රෑ කලුවර පොරවාගෙන
කවුරුන් එනකන් ද ඉන්නෙ

ලාල් හෑගොඩගේ, මා මිනිසෙක් ඔබ ගගක් නිසා පද්‍ය සංග්‍රහයෙහි එන කුසුමාවතී නම් පද්‍ය පන්තිය ද අපූර්ව ප්‍රේම කාව්‍යයකි. නමුත් එහි මහගමසේකරගේ පබැඳුම් වල මෙන්, ලගන්නා සුළු බසක් නැත. කාලයත් සමග ප්‍රේමයේ භාෂාව වඩාත් කර්ෂ වී ඇත. කුසුමාවතී පිළිබද ව කාව්‍යයේ ආරම්භයේ සිත්තමක් ගොඩ නගයි. නමුත් එය අපැහැදිලි සිත්තමකි. චණ්ඩ ගැහැණිය යනු වේදනාබර හදවතක් ඇත්තියකි. ඇය මිනී තුනක් මැරෑ ගැහැනියකි. ඇය විසින් මරා ඇත්තේ මල මිනිසුන් තිදෙනෙකි. එනම්, ජීවිතය නැති මිනිසුන් අනෙකාගේ ජීවිතයේ ප්‍රහර්ශය හැම මොහොතකම බලෙන් උදුරා ගනී. ඈ මිනී තුනක් මරන්නේ එබැවිනි. ඒ යෙදුම, කුසුමාවතීගේ හදවත කැඩපතක් කොට සහෘදයා ඉදිරියෙහි දණ ගැස්වීමට සමත් අතිශය අපූර්ව යෙදුමකි. කුසුමාවති දිගු නිහැඩියාවකින් පසු අලුත් ගොදුරකට සූදානම් වෙයි. මී ළගට ඇගේ ගොදුර වන්නේ කවුද?

ඔය එන්නේ
ඒ දණ්ඩෙන් එගොඩ වෙලා
ඇගේ ගොදුර
මහින්දසිරි
ඇඩ්ඩිං මාමාගෙ කොලුවා
ආන්ඩුවෙ අච්චු කන්තෝරුවෙ වැඩ කරන
පැන්න ගමන් අල්ලාගෙන
මන්නය බෙල්ලට තියාන
කුසුමාවතී කතා කරයි ....

කුසුමාවතීට කියන්නට දිගු කතාවක් තිබේ. සෑම ගැහැණියකටම කියන්නට කතාවක් තිබේ. ඇතැමුන් සිය කතන්දරයද පපුවේම තුරුළු කරගෙන මිය යති. ඇතැමෙක් හොඳින් හෝ නරකින් ස්වකීය කතන්දරය අසන නාසන සියල්ලන් ඉදිරිපිට වගුරති. මී ගහ ගෙයි හීං ගෙදර එකිය වූ කුසුමාට. පාසල් දිවිය අහිමි වන්නේ මහින්දසිරිගේ ගැඹුරු හාදුවක් නිසාය. නින්දා අපහාස විදදරා ගත නොහැකිව ඇගේ මව ඇයව පාසලෙන් ඉවත් කරයි. නමුත් මහින්ද සිරිට ආන්ඩුවේ කන්තෝරුවක ලියන්නකු වීම දක්වා ගමනක් පැමිණීමට
භාග්‍යය ලැබේ. පාසලෙන් ඉවත් වූ තැන් සිට, කුසුමාගේ ජීවිතය වේදනාවෙන් පිරී යයි.එය දුර්භාග්‍යයේ මාවත වූ නමුත්. එතැන් සිට කුසුමාවතී කෙසේ හෝ ජීවත් වන්නට උත්සහ කළාය. එක්වරක් වූ වැරදීම යළි යළිත් වනු දැකීමට නොරිසි ඈ .වේදනාව උපන් මොහොතේම එය වෛරය සමග දිය කර. සල්ලාල පිරිමින් මරා දැමුවාය. ඇගේ අවසාන පරමාර්ථය වන්නේ. තමා මේ නරාවලට ඇද දැමූ මහින්දසිරිගෙන් පලිගැනීමයි.

ජිවිතේ
කොහොම කොහොම වෙනස් වුණාද ඉතින්
ජීවිතේ හරි අමාරුයි මහත්තයෝ
පත්තිනි අම්මා නෙවෙයි මං
කොච්චර මිනිස්සු ආව ගියත්
එක පාරට හිටියෙ එක මිනිහයි
ඊයෙ රෑ දෙගොඩ හරියෙ
මහත්තයා හිටියා අපේ දොරකඩ
හිනාවෙවී
සීවලී හාමුදුරුවො වගේ යන්තමට

කුසුමාවතී මන්නය රැගෙන පාර රකින්නේ, මිනීමරු චේතනාවෙන් නොවේ. වර්තමානය වන විට මිනිස් සබදතාවන් පත්වී ඇති ඛේදවාචකය මෙයින් මනාව හෙළිදරව් කරයි. සිරුරු භාවිතාවෙන් පසු කෙළි බඩුවක්ව ස්ත්‍රිය නොතකා හරින මහත්වරු අල්ලා ගන්නට, මන්නා තියාගෙන පාරේ රකින්නට සිදු වූ යුගයක් උදා වී ඇත. එවන් සමාජ ඡේදවාචයක් නිරූපණය කිරිම සඳහා මහගමසේකර භාවිතා කළ, සෘංගාර වැකි උචිත නොවේ. නමුත් මෙම කාව්‍යය සඳහා උපයුක්ත අතිශය නව්‍ය සංකල්ප රූප සහ ධ්වනී පූර්ණ සංගටනය විසින් කුසුමාවතී නම් ගැහැණිය අපේ මනසෙහි මවයි.

කොච්චර මිනිස්සු ආව ගියත්
එක පාරට හිටියෙ එක මිනිහයි..

වේදනාව වැමෑරීමෙන් පසු ඇයගේ හිත කෙමෛන් මුදු මොලොක් වේ. ගැහැනියකට ආදරය හමු වන්නේ ජීවිතයෙහි එක් වතාවකි. සැබෑ ප්‍රේමය මුණ ගැසුණු තැන, ඇගේ කලු ගල් ආත්මය දිය වී හදවත මොළොක් වී, දෑසින් සංවේදනා වැගිරෙයි. මහින්දසිරි අරභයා දැන් ඇයට උපදින්නේ ශෝකයකි.

අනේ සුදෝ
තවත් ඉන්න බැහැ පොඩ්ඩක්
පුළුවං විදිහකට ඔහේ
බලා කියා ගන්නං මං
එන්න යන්න මහත්තයෝ
එන්න යන්න අපේ ගෙදර

මනුෂ්‍ය ජීවිතයේ ඛේදවාචය වඩාත් දැනෙන්නේ මෙම කාව්‍ය ඛණ්ඩයෙනි. ආණ්ඩුවේ ලියන මහත්තයාව, පුලුවන් විදිහකට බලා ගන්නට හිතන්නේ, කීර කුසුමාය. කුසුමාට ජීවිතය පිළිබද ඇති ආත්ම ධෛර්යය මහින්දසිරිට නැත. පාසලේ වූ සිදුවීමෙන් ඔහු සමාජයෙන්ද, ආදරයෙන්ද, පලා යයි. නමුත් කුසුමා කවරාකාරව හෝ ජීවත් වෙයි. ඛේදවාචක මැද ජීවත් වීමේ දී බොහෝ දේ අහිමි වන බව ඇත්තය . නමුත්, ඇය මහින්දසිරිගේ අසරණ භාවය දසහ ජීවිතාවබෝධය නොමැති බව වටහා ගනී. ඈ ඔහුට සමාව දෙන්නේද එනිසාය..

සිරි ගුණසිංහගේ සෙවණැල්ල නවකතාවෙහි හමුවන ජිනදාස, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, අවමගුලෙහි හමු වූ ස්ත්‍රිය. ගැමි කත, ආපසු ගමන වැනි බොහෝ කෙටිකතා වල හමුවන, භාව විහීන අධ්‍යාපනලාභීන්ගේ ඛේදාන්තයෙහිම ඵලයකි මෙය. ප්‍රේමය උදෙසා ජීවිතය පුදන්ට නොව, කිසියම් කැපකිරීමක් කරන්නට හෝ වගකීමක් ගන්නට මැලිවන පරම්පරාවක්, එක් යුගයක නිර්මාණය විය.

එවන් යුගයක, ගැහැණියට පුරාණ යුගයෙහි මෙන්, මල්මාලා පලන්දා ප්‍රේමණීය දෙබස් කොදුරන්නට නොහැකිය. සැබැවින්ම ඇයට පෙම පලකරන්නට සිදුවන්නේ, තමා විනාස කොට පලා ගිය පිරිමියා ලුහු බැද ගොස්, මන්නයක් ගෙල අභියස තැබීමෙනි. මේ කාව්‍යය තුළ ඇති අපූර්වත්වය වන්නේ, මානව සබදතාවන්හි පරිහානිය සහ වර්තමාන සමාජ විෂමතාව මෙන්ම, කිසිදාක හදවතෙහි පරනොවන ගැහැණියකගේ ප්‍රේමය පිළිබද වූ අපූර්ව කතාකාවයි. එය පිරිමියකු විසින් ලියා තැබීමද සුවිශේෂය.

ප්‍රේමය කදු ගර්භයක තැන්පත්ව පවතින විසල් කලුගල් තලාවක් වැන්න. දුර්ගයට ප්‍රවේශ වූ ආගන්තුකයකුට ඊට කන තබා, ඇතැම් විට සිසිල් දිය දහරාවක් පිළිබද සිත් රූ මවා ගත හැකිය. නමුත්, කාලයේ සැඩ කුළු පහර වැද දෙබෑ වන කුල ගලෙන් ගිණි මලක් දෙකක් පැන නැගුණද ස්නේහය පිළිබද පහන් දැල්වෙන හැම විටම, සෑම කදු ගර්භයකින්ම පහතට ඇද හැලෙන්නේ ලොව සනහන ගුණයෙන් යුක්ත වූ සිසිල් දියදහරාවකි.

( මතු සම්බන්ධයි)

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

7 comments:

  1. හරියට තේරුනේ නම් නෑ එතකොට උෟ එහෙ ගියාද?

    ReplyDelete
  2. අදයි මේ පැත්තට ගොඩවැදුනේ. මේ වැදගත් ලිපියෙන් කවිපොත් කීපයක හෝඩුවාවක් ලබාගන්න හැකිවුණා. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මේකට කමෙන්ට් එකක් දාන්න මගේ සාහිත්‍ය දැනුම නම් මදි. ඒ වුණාට කියවා රස වින්ඳා

    ReplyDelete
  4. පුදුමාකාර සුන්දරයි..
    ආදරය කියන්නෙ කවදාවත් නැති වෙන දෙයක් නෙමේ...,
    ඒක සදාකාලිකයි...
    ඔයාගෙ අදහස් වලට මම ගරු කරනව...






    ReplyDelete
    Replies
    1. ස්තුතියි ච්රන්ති

      Delete
  5. මම සාමාන්‍යයෙන් පහු ගිය දේ ගැන දුක් වෙන්නේ බොහෝම කළාතුරකින්. එයින් එකක් තමයි උසස් පෙළට සිංහල සාහිත්තේ, ඉතිහාසය වගේ දේ ඉගෙන නොගත්ත එක. දැන් ඉතින් මැරෙන්නය.

    හැබයි ඒ කාළෙත් කාව්‍යසේකරය කියවලා සැලළිහිණි සංදේශය කියවද්දි ඔය සන්නට ආපු සැකේ මටත් ආවා. ඒ ගැන ලිපියක් ලියන්න ඕන වෙලාවක. සන්නගෙ පොත් දෙක ගැන කතා බහක් නාවෙ ඇයි දන්නෙ නෑ නේ.. මම නම් පොත් දෙකම කියවලා නෑ.

    ReplyDelete
    Replies
    1. සාහිත්ෙත ඉගන ගත්ත වුන්ට සාහිත්ෙත බැහැ බම්..උඹ විෂය නිර්ෙද්ශානුකූලව හැදෑරුව නම් ෙමාංගල් බුෙවක් ෙවනවා මිස ගැඹුරක් නැහැ

      Delete