නිර්මාණයක් විඳීම කියන්නේ පුදුමාකාර සෞන්දර්යයක්. උසස් නිර්මාණයක් විඳීම වග්ම, ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙ ඇසුර ලබන එක මට නම් දිවය සම්පත්තියක් පහලවුණා වගේ දෙයක්. සෞන්දර්යයෙන් පිරුණු දවස්වල මුළු ජීවිතයම පුදුමාකාර ප්‍රබෝධයකින් උතුරනවා.නමුත් දැන් කාලය වෙනස් වෙලා.
අලුත් පරම්පරාවට විෂය ධාරාවක් ඇතුළෙ කලාව නිර්දේශ කරන්න සිද්ධ වෙලා. ඒකට හේතුව වන්නේ ඔවුන් කියැවීම, සහ වින්දනය කියන දෙකෙන්ම අත්මිදිලා. මේකට නිශ්චිත හේතුවක් පැහැදිලිව කියන්න බැහැ. නමුත් මේ තත්වයට ලංකාවෙ අධ්‍යාපන රටාව සහ විෂය නිර්දේශ හදන අයත් සෘජුවම වගකියන්න ඕන කියන කියන එකයි මගේ අදහස. මම උසස්පෙළට පෙනී හිටියෙ 2000 වර්ෂයේ. අපට නිර්දේශිත නවකතාව වූයේ යුගාන්තය නවකතාව. නාට්‍ය්‍ය වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍ය්‍ය. ඊට අමතරව සැළලීහිණිය, නූතන පද්‍ය සංග්‍රහය සහ සද්ධර්ම රත්නාවලිය තිබුණා.
ගොඩක් ළමයි සාහිත්‍ය පේපර් එකේ ප්‍රශ්න කලින් තෝරා ගන්නවා. යුගාන්තය වගේම මනමෙත් අතහැරෙනවා. ඔවුන්ට පහසුයි ඊට වඩා ජාතක කතාව තෝරගන්න එක. මේකට හේතුවෙලා තෙියෙන්නෙ, කලාව විෂය නිර්දේශීත වීම තුළින් ඇතිවන රූපික ස්වභාවය. සාමාන්‍යෙයන් නිර්දේශ සදහා ග්‍රන්ථ නම් කිරීමේදී විවිධ කාරණා බලපානවා. අරූගෙ පොත තේරුවොත් ඌට සල්ලි ටික යයි . එයා පෝසත් වෙයි. මේ වගේ අදහසුත් තියෙන නිසා, දැනට ජීවත් වෙන ලේඛකයන්ගේ පොත පත නිර්දේශ වෙනවා බොහොමත්ම අඩුයි.
අනෙක, කලා කේෂ්ත්‍රය තුළ තහවුරු වූ ශ්‍රේෂ්ඨ යන ලේබලය ලද අයගේ කෘති පමණක් තෝරා ගැනීමත් සිදු වෙනවා. යුගාන්තය ඉතාම හොඳ නවකතාවක් . එහි කිසිදු සැකයක් නැහැ. නමුත් යුගාන්තය වගේ නවකතාවක් උසස් පෙළ ළමයකුට එකවර ග්‍රහණය වන්නෙ නැහැ. ඒ ළමයින්ගෙ සිහින සහ වයස එක්ක නීරස බවක් මිස, ඒ ජීවන ගැඹුරට ළගා වෙන්න පුලුවන් එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට විතරයි. මනමේ නාට්‍යෙයත් ඒ ගැටලුව තිබුණා. නාට්‍යෙය පෙළ ඉතාම සාහිත්‍යයාත්මක වුණත්, එහි කිසියම් නීරස භාවයකුත් තිබුණා. තව කෙනෙක් විසින් තේරුම් කර නොදී තේරුම් ගන්න බැරි කමක් තිබුණා. ඇත්තටම කලා කෘතියක් එහෙම වෙන්න ඕනද?
පේරා දෙණි ගුරු කුලය හරහා සරච්චන්ද්‍ර නාට්‍යය ව්‍යාප්ත වෙලා ගියා. මේ නාට්‍ය ධර්මී සම්ප්‍රදාය මට නම් නීරසයි. ඒ නිසා, නාට්‍ය්‍ය බැලුවත් රසය සහ චමත්කාරය හිතලා ඇති කරගන්නවා මිස, ඉබේ උපදින්නැ. නමුත් ඒ නාට්‍ය තුළ චුල්ල ධනුග්ගහ ජාතකයේ ඉදලා, සියළුම ජාතක කතාවල ගැහැණීය ගේ භූමිකාව ගැන පැවත ආ සියලු අර්ථකතන වෙනස් කරනවා. ගැහැණිය දයාව ලද යුතු ස්ත්‍රියක් බවට පසක් කරනවා. ඒ දර්ශනය මානව වාදී තමයි. නමුත් අපි ගාව දර්ශනය පමණක් ඉතිරිවෙලා, කෘතිය මග හැරෙන්නෙ ඇයි කියන ගැටලුවට වෙනම පිළිතුරක් හොයන්න සිද්ධ වෙනවා.
ප්‍රේමය කියන්නේ විසිතුරු දෙයක්. ඒ විසිතුරු බව එන්නේ ප්‍රේමය සංකීර්ණ වුණත්, ප්‍රෙමනීය ජීවිත සරල වුණාම. මනමෙ කුමාරිය සහ කුමාරයා ප්‍රේමයෙන් වෙලී වනන්තරය මැදින් යනවා. ඔවුන් ගයන්නෙ මෙන්න මෙහෙම.
ප්‍රේමයෙන් මන රංජිත වේ - නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සෑදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප - ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
මේ ගීතයේ නාද මාලාව මිහිරියි. ඒත් ඇත්තටම මේ ගීතය ලිහිල් බසින් ලියන්න කියලා වෙනම දුන්නොත් හැරෙන්න, වෙනම පද පෙළ සාමාන්‍ය මිනිහෙක්ට තේරෙන්නෙ නැහැ. මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ කිවුවම, හෘදයාබාධයක් තීන එකෙක් නම් දිරව ගන්න බැරිව මැරෙන්න පවා තිබුණා. තුරු මඩුලු අත්වැල් බැදන් ඉදලා ඇගිලි ලිහන තැන්වලින් හිරු එළිය පෙරී එනවා කියන ලස්සන අදහස වුණත්, භාෂාවේ ගැඹුර නිසා පාඨකයාට ග්‍රහණය වෙන්නෙ නැහැ.
සාහිත්‍ය ප්‍රෙබා්ධයක් ඇති ගුරුවරයකු නම්. දරුවන්ගේ මනස පුබුදුවාලන්න මේ නාට්‍යය ප්‍රමාණවත් .නමුත් අවාසනාවට එහෙම අය අද වෙද්දි බොහොම අඩුයි. ඉතින් මෙන්න මේ නිසා තමයි සුගතපාල ද සිල්වා නාට්‍ය වේදීයා වගේ අය ස්වභාවික සම්ප්‍රදාය වෙනුවෙන් කිසියම් සටනක් කළේ. දැන් බලන්න, නරිබෑණා නාට්‍යය. දයානන්ද ගුණවර්ධන නරිබෑණෘ නාට්‍යය හදන්නේ, සරච්චන්ද්‍රයන්ගේ එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යය දැකලා සතෙකු වේදිකාවට රැගෙන ඒමේ ආසාවෙන්. නමුත් ඔහු නාට්‍ය්‍ය හදන්නේ සාමාන්‍ය මිනිසුන්ට . බල්නන මනමේ කුමාරයට කුමාරිය අහිමි වෙන හේතුව. ඔහුගෙ ආදරයෙ භාෂාව කුමරිය පවා සංකීර්ණ වීම වෙන්න ඇති. ඒත් කැළේ ඉන්න නරියා, ගම දුවට ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද?
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - කඳුළු සලන්නේ //
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරණේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
හඳ පායන කල ගග බඩ ඉද ගෙන ඔබෙ හිස පීරන්නම්
මල් පෙති ඉහිරැණු සුදු වැලි මතු පිට ඔබ ගෙන ඇවිදින්නම්
කුමරියෙ මම මගෙ ආදරෙ පවසන්නම්
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරණේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
හඳ පායන කල ගග බඩ ඉද ගෙන ඔබෙ හිස පීරන්නම්
මල් පෙති ඉහිරැණු සුදු වැලි මතු පිට ඔබ ගෙන ඇවිදින්නම්
කුමරියෙ මම මගෙ ආදරෙ පවසන්නම්
මේ ගීතය භාවාත්මකයි. මේ ගීය අහන හැම කෙනෙක්ම තමන්ගෙ හදවතත් එක්ක හුදකලා සංවාදයක පැටලෙනවා. ආශ්චර්යමත් මොහොතක අතරමං වෙනවා. ආදරය කියන්නේ සුන්දර දෙයක්. සිහින උතුරන, කවදාවත් කරන්න බැරි ක්‍රියා පද ලයිස්තුවක් පණගන්වන්න පුලුවන් කියල හිතෙන ජවයෙන් උතුරන හැගීමක්.
ඇත්තටම නරියෙකුට තමන්ගෙ සීමාවෙ කරන්න පුළුවන් උපරිම දේවල් තමයි මේ. නමුත් මේ සරල වචන ඇතුළෙ සෞන්දර්යය උතුරා ගලා යනවා. උසස් පෙළට පෙනී ඉන්නේ තරුණ වයසෙ ළමයි. ආදරය කරන, විදින, ජීවිතය අතපත ගාන වයසෙ ළමයි. ඔවුන් කැමති ජීවිතය උතුරන ලිහිල් දෙයක් රසවිදින්න. රසවිදීමේ පළමු පාඩම හෙවත්, කියවීමේ උමතුව ඇතිවන ආකාරයේ පොතක් උසස් ළෙට නිර්දේශ කළ යුතුයි.
මේ වන විට, ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව නිර්දේශ කර තිබෙනවා. එය විශිෂ්ට නවකතාවක් වුවත්, යුගාන්තයේ දී සිදු වූ ගැටලුවම එයටත් සිද්ධ විය හැකියි. පොතක් කියවීම කියන්නේ රසවත් මොහොතක හුදකලා වීම කියන පාඩම දෙන්න පුලුවන් සරල පොතක් නිර්දේශ කරන්න බැරි ඇයි?
කරුණා සේන ජයලත්ගේ ගොලු හදවත, සේපාලි මායා දුන්නේ ගේ අස්වමීමාන, ඊවා රණවීරගේ සෙදෝනා, සුනේත්‍රා රාජකරුණානායකගේ සත්ගුණාකාරය, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටන්, ඇරැව්වල නන්දිමිත්‍ර ගේ මල්දෙණියෙ සිමියොන්, කුලසේන නෛ්සේකාගේ පාලම යට, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ බොද මීදුම්, උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය වස්සානය වගේ නවකතා වල ජීවිතය සහ මනුෂ්‍යත්වය තියෙනවා. ලිහිල් බසින් වෙන කෙනෙක් කියල දෙන්න ඕන වෙන්නෙත් නැහැ. රසය කියන්නෙ මොකක්ද කියන ළමයි වටහ ගන්නවා.
බැද්දේගම පරිවර්තනයක්. ඒ විදිහට පරිවර්තන නිර්දේශ කරනවා නම්, තරමක් සරල කියවීමේ පුරුද්දට ඇබ්බැහි කරවන ආකාරයේ පරිවර්තන තියෙනවා. පර්ල් එස්.බක් ගේ සාර භූමි, චිංගීස් අයිත්මාතව් ගුරුගීතය, ලෝරා ඉංග්ලර්ස් වයිල්ඩර්ගේ පොත් පෙළ , චේතන් භගත්ගේ One Night in a Calling Center වගේ පොත්. මේ වගේ පොතක් විෂය නිර්දේශයට ආවොත් ළමයා එය කියවන්නේ ඉමහත් ආශාවෙන්. නවකතාවක් කියවීම කියන්නේ තවත් විෂයක් නොවෙයි විනෝදයක් කියලා ඔවුන් වටහා ගන්නවා.මූලිකම දේ ප්‍රෙලා්හනය හෙවත් පෙළඹවීම. ඒ සඳහා සුදුසු කෘතියකුයි තෝරු ගත යුත්තේ.අත්තම්මලා බලන බණපොත් ළමයාට නිර්දේශ කිරීම නිෂ්පල කාර්යයක්.
නාට්‍යය වුණත් ඒ වගේ සරල නාට්‍යයක් නිර්දේශ කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට දැනට වේදිකාගත නොවන පරණ නිෂ්පාදන තමයි නිරදේශ වන්නේ .ඉතිතිහාසය හදාරන්න ඕන වර්තමානය මගහැරල නෙමෙයි. රාජිත දිසානායකගේ ජනාධිපති තාත්තා , ධර්මසිරි බණ්ඩාරනායකගෙ ධවල භීෂණ වගේ නාට්‍යයක්, මම හිතන්නේ වර්තමාන පරපුර ආදරයෙන් වැළදගනියි. ඔවුන්ට ඔවුන් නොවන පරම්පරාවක භාෂාව අමාරුවෙන් හදාරෙලා වැඩක් නැහැ. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න සහ තමන් නියෝජනය කරන යුගයට අදාළ කෘතියක් හදාරන්න ලැබුණොත්, ඔවුන් එය ආශාවෙන් වැළඳ ග්නනවා පමණක් නොවෙයි, සාහිත්‍ය විසින් මනුෂ්‍යයාට එකතු කරන ජීවන ගැඹුර කියන්නෙ මොකක්ද කියන එක වටහා ගනියි.
එමෙන්ම අද වයන විට කලාකරුවාගේ භූමිකාවත් මොකක්ද කියන එකේ මහා පටලැවිල්ලක් තියෙනවා. සාහිත්‍ය උළෙල ඉලක්ක කරගෙන මොනව හරි ලියනව මිසක්, සාහිත්‍යය බරක් ගොඩක් පොත්වල දකින්නට නැහැ. සිය නිර්මාණය වෙනුවෙන් ඉවසන්නට තරම් ශික්ෂණයක් නිර්මාණකරුවාට නැතිවීම අභාග්‍යයක්. නිර්මාණයක් කැපකිරීමක් තුළින් බිහි වෙනවා නම්, එය විෂය නිර්දේශාත්මක හදාරන්න අවශ්‍ය නැහැ. එය ඉතිහාසය තුළ අලෝක ලපයක් ලෙස නාමධාරී වෙනවා.
මේක බොහොම පැරණි කතාවක්.ඒ 1499 වගේ කාලෙක. ලියනාඩෝ ඩාවින්සි හෙවත් මොනාලිසාගේ අයිතිකාරය එක්ක බැදිච්චි එකක්.. ඩාවින්සි මට වැදගත් වෙන්නෙ මොනාලිසාගෙන් නෙමෙයි. ඔහු නිර්මාණයක් කියන්නෙ මොකක්ද කියන සංකල්පෙ සත්‍ය වශයෙන් තේරුං ගන්නෙ, මිලාන් වල ශාන්ත මේරි දේවස්ථානයෙ ( Santa Maria Delle Grazie) තියෙන අන්තිම භෝජන සංග්‍රහය (Last Supper) තුළින්. ඇත්තටම ඉවසීම සහ සොයා යාම තුළින් අපට ලබා ගන්න පුළුවන් මොනවද?
අන්තිම භෝජන සංග්‍රහය කියන්නෙ, ජේසුස් වහන්සෙ තමන්ගෙ අවසාන මොහොත තේරුං අරන්, තමන්ගෙ ළගම ඉන්න ගෝලයො රොත්තට සංග්‍රහයක් කරන මොහොත. මේක ටිකක් විතර සංවේදී එකක්. උන් වහන්සේ, තමුන්ට කන්න තියෙන රොටිය කඩල දෙනව මේ මාගේ මස්ය කියලා. තමුන්ට බොන්ට තියෙන වයින් ටික දෙනවා, මේ මාගේ ලේය කියලා. හැම දේශපාලකයෙක්ම මේ වගේ අවසාන භෝජන සංග්‍රහයකට මුහුණ දෙනවා.බල පෙරලියකට කලින්. සාමාන්‍යෙයෙන් ඕනම තැනක සිද්ධ වෙනවා වගේ ගෝලයො දොලොස් දෙනා අතරෙන් එක්කෙනෙක් (ජුදාස්) අද දවසෙ තමන්ව පාව දෙන බව ජේසුස්වහන්සෙ දැනන් ඉන්නවා. ඒත් උන්වහන්සෙ ද්‍රෝහියා සහ මිත්‍රයා කියන එකේ අන්තරය හොයන්න යන්නෙ නැහැ.රොටිය සමානව බෙදුවා. වයින් ටිකත් සමානව බෙදුවා.
මේ වෙලාවෙ ජෙසුස් වහන්සෙ වගේම ජුදාසුත් ඉන්නෙ අතිශය සංකීර්ණ මනෝ මූලයන් ගොන්නක. දෙන්නට දෙන්න කියවගන්න බැරිව. එක්කො තම තමනුන්ගෙ හිත් අනෙකා විසින් කියවයි කියන බයත් එක්ක. මේ වගේ සංකීර්ණ මනෝමය තත්වයක් සිතුවමකට හරවන එක හිතාගන්නවත් අපහසු දෙයක්. ඉතින් ඩාවින්සිට අන්තිම භෝජන සංග්‍රහය අදින්න පවරපු වෙලාවෙ, ඔහු කලේ පල්ලියෙ තෝර ගත්ත මුල්ලක් බලලා කිසි කතාවක් නැතිව, ජේසුස් වහන්සෙගෙ ගෝලයො දොලොස් දෙනාගෙන්, එකොළොස් දෙනෙක්ව අදින එක..මොකද මේ එකොළොස් දෙනාම හොද නරක දෙක අඩු වැඩි වශයෙන් සංකලනය වෙච්චි සාමාන්‍ය මිනිස්සු.එහෙම චරිත ජීවිත කාලයක් පුරාම ඇසුරු කරපු නිසා, අදින එක එච්චර අපහසුවක් වුණේ නැහැ.
දැන් චිත්‍රයේ හිස් තැන් දෙකක් ඉතිරි වෙලා. එකක් ජේසුස් වහන්සෙගෙ භූමිකාව. දෙවැන්න ජුදාස්ගෙ භූමිකාව. ජේසුස්වහන්සෙ කියන්නෙ කාටවත් කිසිම වරදක් නැති කෙනෙක්. කැඩපතක් වගේ පිරිසිදු හදවතක් තියෙන, ඒ හදවතේ දීප්තියෙන් බබළන නිර්මල දෑසක් තියෙන කෙනෙක්. තමාට ජීවිතේටම එහෙම කෙනෙක් හමු නොවුණු බව ඩාවින්සිට කල්පනා වුණා. හැම මිනිහෙක්ම හොද නරක වශයෙන් මිශ්‍රයි. කොහොමද අමිශ්‍ර මිනිහෙක්ව මම හොයන්නේ. කවදාවත් නොදැකපු ( දැනට අභව්‍ය වගේ හැගෙන දැනෙන ) දෙයක් ගැන නිශ්චිත උපකල්පනයක් ගන්න ඔහුට අමාරුයි. ඉතිං ඔහු චිත්‍රයේ හිස්තැන් දෙක එහෙමම ඉතිරි කරලා යන්න යනවා.
හැබැයි, ඔහු මේ හිස්තැන් දෙක තිව්වෙ කිසියම් වාස්තුමය සිද්ධාන්තයකට අනුව. ඒ කියන්නෙ ඒ හිස්තැන් දෙක නරඹන්නෙකුට පේන්නෙ දේවස්ථානයෙ එක් තෝර ගත්ත කෝණයකින් බැලුවහම විතරයි.අනෙක් පැති වලින් බැලුවම, එකොලොස් දෙනෙක් කන බොන සිද්ධියක් විතරයි පේන්නෙ. අපිට අපේ ජීවිතේ හිස්තැන් වුණත් පේන්නෙ එක්තරා කෝණයකින් බැලුවම විතරනෙ. ඩාවින්සි විශිෂ්ඨයෙක් වෙන්නෙ වාස්තුමය ශිල්පක්‍රම හරහා මවන මෙන්න මේ යටිපෙල අරුත් වලින්.
ඉතිං ඔන්න දැන් අමරුම වැඩේ. ඒ තමයි ජේසුස් වහන්සෙව අදින එක. ඒත් කොයි තරම්ම උත්සහ කළත් මේ තරම් නිර්මල හදවතක් තියෙන මුහුණක් මවා ගන්න තියා හිතා ගන්න වත් බැහැ.හැම එකාටම අඩු වැඩි වශයෙන් කුහක කම මිශ්‍ර වෙලා. ඉතිං වැඩිදුර හිතන එක නවත්තලා ඔහු යනවා ගම් නියම් ගම් වල.විවිධ මිනිස් මුහුණු නරඹමින්. ඒත් කොතනකදීවත් ඔහුට තමා සොයන නිර්මල මුහුණ මුණ ගැසෙන්නේ නැහැ. දැන් චිත්‍රය ඇදලා අවුරුදු දහයක් ගෙවිලා ගිහින්. ඒත් ජේසුස් වහන්සේගෙ තැන තාමත් හිස්. දසවැනි අවුරුද්ද අවසාන භාගය වන විට චිත්‍ර ශිල්පියා හෙම්බත් වෙලා.
ඒත් ඔහු යනවා ඈත ගම්මානයක ඇවිදිමින්. ඔහුට බොහොම තද පිපාසයක් එනවා.ඉතිං ඔහු යනවා පුංචි පැලක් ගාවට. එතනදි ඔහු දකිනවා අවුරුදු දොළහක පමණ කුඩා පිරිමි දරුවෙක් පියාපත් බිදුණු පරවියෙක්ව අතේ තියං, ඌට ආදරෙන් වතුර පොවනවා. ඩාවින්සි ඒ දරුවගෙ මූණ දිහා බලනවා.ඒ මුහුණ කුහකත්වයෙන් මුලුමනින්ම බැහැර වූ අතිශය නිර්මල වූවක්. ඒ දරුවට තියෙන්නෙ පළිගු මිණක් වගේ බබළන දෑසක්. ඒ දෑසෙන් පේන්නෙ අතිශය පිරිසිදු හදවතක්. ඔහු පුදුම වෙනවා. ඊට පස්සෙ ඒ දරුවව ලගින් තියා ගෙන ඒ මුහුණ දිහා බලං, ඔහු ජේසුස් වහන්සෙව අදිනවා. දැන් සිත්තමේ තිබුණු එක හිස් තැනක් පිරවිලා ඉවරයි.
ඒත් දැන් ඉතිරිවෙලා තියෙන්නෙ කරන්න අමාරුම වැඩේ. ඒ තමයි නරකම මිනිහෙක් මේ ලෝකෙන් හොයා ගන්න එක. ඇත්තටම එහෙම මිනිස්සු ඉන්න පුලුවන්ද? ඉතිං මුලින් වගේම ඩාවින්සි ඇවිදිනවා. රට පුරහම. ඒත් හැම නරක මිනිහෙක්ගෙම ඇස් ඇතුලෙ කරුණාවෙ දීප්තියක් දැල්වෙනවා. ඉතිං ජුදාස් වගේ පාවා දෙන්නෙක්ට ඒ වගේ ආකෘතියක් ගන්න බැරිව, ඔහු අසරණ වෙනවා. ඉතිං වීදි වල, මුඩුක්කු වල, බාර් වල හැම තැනම ඇවිදිමින් නරකම එකෙක් හොයනවා.
මේ විදිහට තවත් අවුරුදු 17ක් ගෙවෙනවා. 17 වන අවුරුද්ද අවසානයෙ ඔහු දවසක් දකිනවා, තැබෑරුමක රණ්ඩු වෙන මිනිහෙක්ව. ඒ මිනිහගෙ ඇස්වල තියෙන්නෙ දුෂ්ඨ කමම විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. ඉතිං ඩාවින්සි කියනවා මං ඔහේට බොන්න ඕන තරං සල්ලි දෙන්නං, පුලුවන්නං මෙන්න මේ පල්ලියට එන්න. ඒත් ඔහු අදිමදි කරනවා. අවසානයෙ ඔහු ගෙ කැමැත්ත මත, ඒ දුෂ්ඨ ඇස් දෙක දිහා බලං, ජුදාස්ව අදිනවා .චිත්‍රය ඇදල ඉවර වෙච්ච ගමන්, මම අර කිව්ව කෝණයට ගිහිං, ඒක දිහා බලං ඉන්න ගමන් දුෂ්ඨ මිනිහා පොඩි දරුවෙක් වගේ අඩන්න ගන්නවා.
ඇයි..ඔබ අඩන්නෙ,පොරොන්දු වෙච්ච ගාණ මදිද? ඩාවින්සි අහනවා.
මම මහ කාලකණ්නි මිනිහෙක් මහත්තයෝ.මීට අවුරුදු 17 කට කලින් අර පින්තූරෙ අදින්න ආවෙත් මම.ඔහු ජේසු තුමාව ඩාවින්සිට පෙන්නලා කියනවා.
ඉතිං ජේසු තුමා තුළ ජුදාස් වත්, ජුදාස් තුළ ජේසු තුමාවත් දකින්න පුලුවන් සැබෑ කලා කාරයෙකුට. පසු කාලීනව සතුරු ප්‍රහාර මේ සිතුවමට එල්ල වුණත්, ඒ සිත්තමේ ජේසු සහ ජුදාස් ව විනාස නොවුණ එක හේතුවක් තිබුණා.ඒ තමයි නිර්මලම මිනිහවත්, දුෂ්ඨම මිනිහවත් පේන වාස්තු විද්‍යාත්මක කෝණය කැරලිකාරයන්ට මගහැරීම. මේ කලාකෘතිය විශිෂ්ට වන්නේ, එකම මිනිහාගේ ද්විත්ව භූමිකාව හරහා ඓතිහාසික කතන්දරයකට පණ දීමෙන්. කලාව කෙරේ පරම්පරාවක අවධානය එක ලෙසම යොමු කරන්න නම්, සරලව වටහා ගත හැකි නිර්මාණාත්මක ගැඹුරක් ඇති සරල අභ්‍යාසයක් ම විය යුතුයි.
උපේක්ෂා නුවන්ශ්‍රීනි
වටිනා රස පිරුනු ලිපියක්.
ReplyDeleteස්තුතියි අංකල්
Deleteඔබේ අදහස් බොහොම සුන්දරයි වගේම වටිනව...,
ReplyDeleteසම්ප්‍රදායික අද්යාපන ක්‍රමයකට හිර වෙලා හිටිය මම උනත් පෞද්ගලිකව දුක් වෙනව ඉගෙන ගන්න අත්යවශ්ය වූ වටිනා දේවල් බොහොමයක් මග හැරුන එක ගැන....,
මිනිසුන් මුදල් අරබයා දුවන රේස් එකේදි " දරුවාගේ නිදහස් චින්තනය සහ නිර්මානාත්මකතාවය " බලහත්කාරයෙන් පැහැර ගන්නවා....,
ඔබ ඉදිරිපත් කරන බොහෝ කරුනු තුලින් මට අතීතයේ මග හැරුනාය කියා මා සිතන " කලාව" නැවතත් අතපත ගෑමට හෝ අවස්තාවක් ලැබීම ගැන මා පෞද්ගලිකව ඔබට ස්තුති වන්ත වෙනව...,
ඔබට පැහැදිලි ගමනක් තියනව...
ඔබේ ගමනට සුබපතනවා...,
ඔබ මා කවුදැයි කියා පෞද්ගලිකව නොදන්නා මුත් ඉතාමත් නිහතමානීව ඔබට පු0චි අවවාදයක් දෙන්න කැමතියි...
ඒ ගැන වරදවා හිතන්න එපා...
ඕනෑම ශ්‍රේශ්ටයෙක් ගෙ ගමනට එන්න පුලුවන් බාදක වර්ග දෙකක් තියනව...
1...බොරු වලවල් - මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබට පහර එල්ල කරාවි...
ඔබේ ගමනේ බාදක වූ විවිදාකාර වලවල් තිබිය හැකියි...
අවබෝදයෙන් සහ සිහියෙන් ගමන යන්න...
ඔබට වරදක් කල සියල්ලන්ටම සමාව දෙන්න...ඔවුන් කරතබා ගෙන යාමෙන් ඔබේ ගමනේ වේගය බාල වේවි...
" සෙමින් ඉදිරියට " මිස " වේගයෙන් පස්සට" කවමදාවත් යන්න එපා...
2... ඔබේ ගමනෙදි හමු විය හැකි බයානකම දේ තමයි " මුරු0ග ගස්".
ඔබව විවේචනය කරන්නන්ට වඩා ඔබේ ගුන ගයන්නන් ගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි....
ඔවුන්ගේ ප්‍රශස්ති ගී හමුවේ අපි මුරු0ග ගහේ උඩටම නැග්ගොත් දන්නෙම නැතුව රිකිල්ලෙන් බිමට වැටිල කොන්ද කඩා ගන්නව... ආයෙ ඇවිදිනව බොරු...
ඔබට අවවාද දෙන්න තරම් මම ශ්‍රේශ්ටයෙක් වත් ඉගෙනගත්ත කෙනෙක් වත් නෙමේ...
ඒත් ඔබට ශ්‍රේශ්ටයෙක් විය හැකි ශක්තිය තිබෙන බව මට හැගෙනව...
නිහතමානීත්වය ආබරනයක් කරගන්න...
ඉදිරියටම යන්න.....
ෙම්ක නම් මට හුරු පුරුදු අවවාදයක්.. ඔ් යැස්
DeleteNo,No,No.... :)
Deleteඔය නිර්දේශ කරන පොත පත කොල්ලෝ කෙල්ලෝ කියවනවා ඇති. මොකෝ අපි ඉස්කෝලේ යන කාලෙත් විශය නිර්දේශ වල තිබුනේ නැති උනාට, ඩීව් ආනන්දගේ පොත්, හැරල්ඩ් රොබින්ස්ගේ පොත්, ගුලීගේ පොත් පොත් වගේම ප්ලේ බෝයි පොත් පවා පරිශීලනය කලා. ඕවා ගුරුවරුන්ට අහු වෙලා තොවිල් නටපු වෙලාවලුත් තිබුනා.
ReplyDeleteමම නම් හිතන්නේ ජීවත්ව ඉන්න කෙන්ක්ගේ කෘතියක් විශය නිර්දේශවලට ඇතුලත් කිරීම වක්‍රාකාරයෙන් නිර්මාණකරුවා පිම්බීමක් මෙන්ම, අනෙක් උන්ට කරන අසාධාරණයක් කියලා.
අර මහින්දගේ කාලේ සෝමරත්න දිසානායකගේ සෝ. ජැක්සන්ගේ සෝ පාසල් සඳහා නිර්දේශ කිරීම් වගේ. අනෙක තමයි රටක ඉතිහාසය වගේම කළාවේ හා සාහිත්‍යයේ ඉතිහාසයත් පෝඩ්ඩක් හෝ දැන ගන්න එක හොඳයි.
සුපිරි ලිපියක්. හිතන්න යමක් ඇති ලිපියක්. සංවාදයට බඳුන් වෙනවා නම් බොහොම හොඳයි.
සංවාදය ඔබ උන්නැෙහම පටන් ගන්නවා නම් ෙහාඩයි
Deleteකම්මැලියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම උසස්පෙළට සාහිත්‍ය කරපු කෙනෙක් නෙවෙයි. සාහිත්‍ය කැසිල්ල යම් පමණකට තිබුන කෙනෙක් විදියට ඒ නිර්දේශිත පොත් ගොඩක් කියවලා තියෙනවා.
ReplyDeleteගම්පෙරලිය, යුගාන්තය සහ මනමේ ගැන ඔබේ අදහස් එක්ක යම් පමණකට එකඟයි. නමුත් ඒ වෙනුවට ඔබ යෝජනා කරලා තියෙන සමහර පොත් ගැන නම් කියන්න තියෙන්නේ 'ඊයා' කියල. සුගතපාලද සිල්වා නිර්දේශය එකඟ වෙන්න පුළුවන්. නමුත් මට හිතාගන්න බැරි සන්නස්ගල සහ සුජීව ප්‍රසන්නාරච්චි කොහොමද ඔබ නම් කරන්නේ කියල? සෙන්කොට්ටන් වලට වඩා වින්දනීය රසාස්වාදයක් ලැබෙනවා මට නම් බත්තලන්ගුන්ඩුව කියෝනකොට. පරිවර්තන ලොවේ තවමත් මගේ පළමුතැන ගන්නේ 'ඇටමැස්සා' පමණමයි. මේවා ගොඩක් පුද්ගලානුබද්ධයි. නිර්දේශිත කෘති ඉවත් කරලා ඒවා යාවත්කාලින වෙනකොට භාෂා හැසිරවීමේදී සියුම් රසයන් කලතන කෘතීන් ලබාදෙන්න ඕනේ. එය සඳහා යාවත්කාලින පොත් අවශ්‍යයි, එය සැබෑවක්. පසුගිය වසරේ ස්වර්ණ පුස්තකය වෙච්ච කෘතිය ඊළඟ වසරේ උසස්පෙළට නිර්දේශ කරන එක නම් එය ප්‍රයෝගික දෙයක් මම හිතන්නේ හොඳයි කියල. හැබැයි සමහර වෙලාවල් වලදී එහෙම තේරෙන පොත් මදි නිර්දේශයට.
මම සෙන්කොට්ටන් කියෙව්වා. වැරැද්ද උනේ මම ඊට කලින් බත්තලන්ගුන්ඩුව කියෝලා තිබ්බ එකයි. සෙන්කොට්ටන් වලට බෑ බත්තලන්ගුන්ඩුව පොත අසලට එන්න. අන්න ඒ වගෙයි.
පරිවර්තන අතින්, නිර්දේශිත පොත පත යාවත්කාලින වෙන්න ඕනේ.
මේක කියෙව්වම ලියන්න දේවල් ගොඩාරියක් ඔලුවට එනවා. ස්තුතියි.
මම හිතනවා ඔබ ගාව ෙහාද සරු අදහස් තිෙය්වි කියලා..කැමතියි ෙසායුරිය ඒකතු ෙවනවෙ නම් සංවාදයට දිගටම
Deleteඔබ මතුකරන කාරණයට අදාලව ඇතිවිය යුතු කතිකාව ගස්ලබ්බා කල්පනා කරන්නේ පංතිකාමරය තුල ගුරුවරයා මඟින් වියයුතු කාර්යක් ලෙසින්.සාහිත්‍යය හදාරන සිසුවා භාශාව හදාරා රසවිඳීමේ ගැටළුවක් නෑ.නමුත් ඒ අතර තත්කාලීන නිර්මාණ ගැන ගුරු සිසු සාකච්ඡා ඇතිවීම ප්‍රමාණවත්.
ReplyDeleteසිසුන් ප්‍රශ්න තෝරාගැනීමේදී උත්තර පත්‍ර පරීක්ශකයින්ගේ කෝණයෙන් බලා ඔවුන්ට වඩා සුවපහසු ප්‍රශ්ණ තෝරාගන්න පෙළඹීමක් තියන බවක් ගස්ලබ්බා දකිනවා.වට්ටෝරු කරණය සාහිත්‍ය විශය ගිලගෙන තියෙන්න ලොකු හේතුවක් විදිහට තියන අතිශය තරගකාරී විභාග රටාවත් සෑහෙන දුරකට වගකිව යුතුයි.
ජයවේවා..!!
අෙනක අද ඉන්න උපාධිධාරීන්ෙග තත්වය හරිම ෙඛ්දජනකයි. මහගමෙස්කර මලාද ෙනාදන්න සිංහල විෙශ්ෂෙව්දීන් .. ඒ් අයෙගන් ඉගන ගන්න ළමයින්ෙග බුද්ධි මට්ටම ගැන අමුතුෙවන් හිතන ඒකත් ෙත්රුමක් නැති ෙදයක්..
Deleteඋඹ නං සිංහල බ්ලොග් ලෝකෙ හොල්ලනව මචං... නියම සටහනක් අක්කෙ!!
ReplyDeleteඉට්ටුටුයි උඩුවා
Deleteඔව් ඇත්තටම හැබව ලංකාවෙ අධ්‍යාපනය "අධ්‍යාපනය" බවට පත් කරන ලෙස ඉල්ලමු උපේක්ෂා .
ReplyDeleteඔව් ෙම්ක රැකියාභිමුඛ ඒකකුත් ෙනෙම් බුද්දි ෙගා්චර ඒකකුත් ෙනෙම්
Deleteකියෙව්වා. Popular Post ගැජමැටික් එකක් එල්ලමුද, එතකොට අපට මඟහැරුනු හොඳම පරණ ලිපි හොයාගන්න ලේසියි.
ReplyDelete-කම්මැලි මූකලං බස්සෙක්-
මට කීර කුසුමාව මිස් වුනා නෙව? දැන් තමා කියෙව්වෙ.
DeleteHave they selected "Baddegama" as a text book for A/L?
ReplyDeleteUnbelievable. .....
Still I cannot understand some areas of the book...I mean the meanings and connections....
How can students understand the book?
මම උසස් පෙළ කරන කාලෙ සිංහල විෂය නිර්දේශයට තිබුණේ 'ගම්පෙරළිය' නවකතාව, 'හුණුවටයේ කතාව' නාට්‍යය, මහාචාර්ය විමල් දිසානායක සංස්කරණය කළ 'නව කවි සරණිය', සද්ධර්මරත්නාවලිය සහ හංස සංදේශය. මට හිතෙන්නේ මේ සිංහල විෂය නිර්දේශයෙන් පසුව සාර්ථක සිංහල විෂය නිර්දේශයක් තිබුණෙ නැහැ. මේ නිර්දිෂ්ට පොත් අ.පො.ස. (උ/පෙළ) මට්ටමේ දරුවකුගේ මට්ටමට දරාගන්න අපහසු වුණේ නැහැ. සාහිත්‍යය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වන්නට මෙම කෘති වලින් සැපයූ උත්තේජනය ඉහළ මට්ටමක තිබුණා. 'හුණුවටයේ කතාව'නාට්‍ය පිටපත දේශපාලනික සාහිත්‍ය කියැවීමකට යොමුවන්නට අපට පළමු පියවරක් වුණා.ඒ වගේම 'නව කවි සරණිය' නිසඳැසක් කුරුටු ගාන්නට පටන් ගන්නා ඒ වයසේදී අපට මඟ පෙන්වන කෘතියක් වුණා. 'සද්ධර්ම රත්නාවලිය' 'හංස සංදේශය' වුනත් අපේ ඒ වයසට දුෂ්කර බන්ධන වුණේ නැහැ. සාපේක්ෂව ගත්තොත් ඒ විෂය නිර්දේශය ජීවිතය සමග යොවුන් වියේ දරුවන්ගේ අාකල්ප සමග බද්ධ කළ හැකි අවකාශය වැඩි පුර තිබුණා. ඒ වගේම ඒවා උගැන්වූ සාහිත්‍ය ගුරුවරයාගේ භූමිකාවත් අපට කිසිසේත්ම නොසලකා හරින්නට බැහැ.මට සිංහල සාහිත්‍යය උගෙන ගන්නට ලැබුණේ විශ්ව විද්‍යාලයේදී දේශපාලන ව්‍යාපාරයක කටයුතු කළ, ජීවිතය-සමාජය ගැන වෙනස් කියැවීමක් තිබෙන, බරපතළ විදියට පොත පත කියවන ගුරුවරයකුගෙන්. ගුරු ගෝල බැඳීමකට වඩා අප අතර තිබුණේ යම් සහෝදරත්ව බැඳීමක්. නිවසට ගොස් ඔහුගේ පොත් පත් පවා ගෙනැවිත් කියැවීමේ අවස්ථාව අපට තිබුණා. එ් පොත් පත් ගැන සංවාද කරන්න තරම් විවෘත භාවයක් ඔහු හා අප අතර තිබුණා. එබඳු පිරුණු සාහිත්‍ය ගුරු පරම්පරාව දැන් ඉතා දුර්ලභ කොට්ඨාසයක් වී තිබෙනවා.
ReplyDeleteසිංහල විෂය නිර්දේශය යාවත් කාලීන විය යුතු බවට විවාදයක් නැහැ.නමුත් එය වඩාත් සංවර්ධනීය පියවරක් විය යුතු වගේම අ.පො.ස.(උ/පෙළ) මට්ටමේ දරුවන් සාහිත්‍යය කෙරෙහි අැද බැඳ තබාගත හැකි එකක් විය යුතුයි. පුවත්පතක දුටු විදියට යෝජිත සිංහල විෂය නිර්දේශයට නියමිත පොත් බැලුවාම සිංහල විෂය දිහා බලන්නත් බය හිතෙනවා. ඒ වගේම ඒ විෂය පරාසය අනුව බලන කොට විෂයයන් තුනක් වෙනුවට සිංහල පමණක් උ/පෙළ සඳහා කරන්න සිදු වෙන තත්ත්වයක් තිබෙනවා.
ඔබගේ දැනුම සහ භාෂා විලාශය අනුව දිගු ගමනක් යා හැකි බව හැඟේ. දිගටම ලියන්න. සුභ පැතුම්
ReplyDeleteස්තුතියි කුරහන්
Deleteගොළුහදවත ට වඩා හොඳයි ලස්සන ඇස්!
ReplyDeleteමළවුන්ගේ අවුරුදු දා (සහ මළගිය ඇත්තෝ ) ??
හරස් පාර ( බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ )??