Realtime website tracking softwareRealtime website tracking software

Monday, November 21, 2016

ගීතයක හද බස මිමිනීම සහ ප්‍රේමයේ සෞන්දර්යය




ගීතය යනු භාවාත්මක ගණුදෙනුවකි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම භාවාර්ද්‍ර වස්තුවක් ද විය යුතුය. ගීත හරහා රසිකයන්ගෙන් ඉල්ලීම් කරන ගායක ගායිකාවන් වර්තමානයේ කොතෙකුත් දැක ඇත්තෙමි. නමුත් ඒ ගායකයා හෝ ගායිකාව කෙරේ කෝපයක් විනා කිසිදු භාවයක් අපතුළ විකසිත නොවේ. මීට වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මට සිහිපත් වේ. මහරගම ඇමිටි ආයතනයේ පාත මාලයේ ෆුඩ් කෝට් නමින් ආහාර ගන්නා ස්ථානයක් විය. දහවල් ආහාර ගැනීමට මා එහි ගිය දිනක ජපුර සරසවියේ ශාස්ත්‍ර පීඨයේ එක්තරා අධ්‍යනාංහයක ආචාර්යවරයෙක් සිය දියණියද කැටුව එහි පැමිණියේය. අතිශය නිහතමානී ගුරුවරයකු වූ ඔහු සිය දියණිය මා ළගින් හිදුවා ආහාර ලබා ගන්නට ගියේය.

ඒ අතර එතැන තිබූ රූපවාහිනී යන්ත්‍රෙයන් ඝෝෂාකාරීව විකාශය වූයේ ඉරාජ් වීරරත්න ගයන කොත්තුත් ඕනේ ගීතයයි. එය ඇසූ ආැචාර්යවරයා පමණක් නොව සියලු දෙනාම ඝෝෂාව නිසා පීඩාවට පත් විය. කිසිදා කෝපයට පත්ව නොදුටු ආචාර්යතුමාගේ මුහුණ කෝපයෙන් කලුවිය.. ඔහු කැෂියර් එකේ කොලුවාට මුදල් නෝට්ටුවක් දිගු කොට මෙසේ කීවේය.. මගෙ දරුවට හාෆ් එකයි මට ෆුල් එකයි අර කෑ ගහන එකාට කොත්තුවයි.. එසැණින් සුටුස් ගා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාවිරහිත විය.ගීතයකින් සිදුවිය යුත්තේ භාවයන් කුපිත වීම නොව. භාවයන් විකසිත වීමයි. ගී පදරචනාවක් නිර්මාණය විය යුත්තේ රසිකයා ඉලක්ක කොට ගෙනය. එයද ප්‍රබ්‍රද්ධ සහ සාමාන්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදී ඇතත් ප්‍රබුද්ධ ගී ගැයූ අමරදේවයන් වටා සාමාන්‍ය මිනිසුන්ද අවසානයේ රොක් වූහ.

ගීතය හිමිකරුවන් තිදෙනෙකුගේ සහභාගීත්වයේ ඵලයයි. ගීතය සිහිතයාංගයක් වශයෙන් පිළිගත හැකි වන්නේ එහි භාවෙික ගුණය මනේම සාහිත්‍යමය ගුණයද ගැබ් වී ඇතොත්ය. නමුත් විදග්ධ සහ ගැඹුරු භාෂා අත්හදා බැලීමකට ගිය විට භාවාත්මක පාර්ශ්වය මග හැරී ගැටලු සහගත භාවයක් පමණක් ඇති වේ' එඩ්වඩ් ජයකොඩ් විසින් ගායන කරන මුව මුක්තා ලතා පිපි හංසාංගනා - විල් පියුමාසනෙන් ආ ළඳේ ගීතය ශෘංගාරය හගවන ගීයකි. සිය මනමාළිය සමග මධුසමයට සූදානම් වන තරුණයකුගේ විපිළිසර බව කෝළය සහ ශෘංගාරය හගවන මේ ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව රසිකයාට නොවැටහෙයි.

වරක් සමන්ත හේරත් මහාචාර්ය වරයා විසින් මේ ගීතයෙහි ගැට පද ලිහා දැක් වූ අවස්ථාවේ එඩ්වඩ් ජයකොඩි විසින් දුන්නේ මෙබදු පිලිතුරකි. ඇත්තටම ඕක ඔහොම ගීතයක් බව මම දැනන් හිටියෙ නැහැ..අවබෝධයකින් තොරව කරන ගායනාවක හැගීම් උතුරායන්නේ නැත.. එය හාංගාරාත්මක ගීයක් වුව ඇසීමෙන් කිසිදු ශෘංගාරයක් නූපදි. එය පිළිබද දළ වහයෙන් හෝ අදහසක් ඇතිවන්නේ රූපරචනය දැකීමෙන් හෝ ඒය පිළිබද මහාචාර්යවරයකු විසින් වැඩි දුර විස්තර කීරීමේ දී ඔහු විසින් ඒ සඳහා දක්වන දක්ෂතාව මතය.ප්‍රේමය සංකීර්න බව සැබැවි. නමුත් එකී සංකීර්ණත්වය හැගවිය හැක්කේ සරල වාග් මාලාවකින් පමණකි.

මේ උයන් කොනේ නිල්දිය රැදුනු..........
විල් තෙරේ..
ඇලේ දොලේ හඩ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ..
නුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ.......

මේ ගීතයෙහි මා වඩාත් ප්‍රිය කරන්නේ මේ අන්තරා කොටසටය.එහි කරුණ රසය මෙන්ම ශෘංගාරය ද එක්තැන්ව පවතී. මේ පද කොටස් වෙන වෙනම පිරික්සූ විට කිසියම් සෞන්දර්යාත්මක ස්වභාවයක් මෙන්ම එකිනෙකට ප්‍රතිසන්ධි නොවන ප්‍රතිවිරෝධී වාක්‍ය වින්‍යාසයක් ද දැකිය හැකිය. මේ යුවතිය සිහින දකින්නියකි.. සෑම යුවතියක්ම සිය යොවුන් වියේ දී අතිශය සුන්දර සිහින දකින්නීය. ඇය ස්වකීය අපේක්ෂාවන් පැල කරන්නට සිහිනයෙන් පතන උද්‍යානයේ කෙළවර ඇති නිල් දිය රැදුණු විල් ඉවුර ද, ඇලක සහ දොළක රාවයෙන් පිරුණු අවකාශය ද සිසිල් හිමය් මවන සිහිලසක් බදු උසුලා ගත නොහැකි තිගැස්මක් හදවතෙහි මවයි.පදරචකයා විසින් සිදුවීම උත්කර්ෂයට නගන්නේ එහි අවසන් පෙළ තුළිනි.

නුවන් නොදුටු රුව ඇදුනා. සිහින් සීතලේ් .. ඉන් ඇයගේ මනසෙහි ඇදුනු, එසේත් නැත්නම් දකින්නට නොලැබෙන.. ලංවිය නොහැකි හෝ අප්‍රකාශිත ප්‍රේමයක් වෙනුවෙන් භෞතික සෞන්දර්යයයෙන් විප්‍රවාසී තරුණියකගේ චිත්ත අභ්‍යන්තරය මැනවින් චිත්‍රණය කරයි..සිහින් සීතලය යන වචනය නැවුම රූපකයකි. එනම් සීතලය නම් භාවයට ඇය බුහුටි හැඩයක් ලබා දෙයි. එය දැනෙන නොදැනෙන හැගීමක්ද සිහිනෙන් ගෑ සුවඳක් ද පරිදිය. එතරම්ම ආදරණීයය. ආදරයේ පමණටම වේදනාබරිතය. සැබැවින්ම රාගය මෙන් නොව. ප්‍රේමය මරණීයය. එය මරණයෙන් පවා විටක කෙළවර නොවී භවය පුරා සක්මන් කරයි.ලැහැදිලි අහසක වළාකුළු අතරත් නිහඩ කදු වැටිවලත් වරින් වර නතර වී විඩා නිවාගන්නා මුදු සුළගක් පරිදි ප්‍රේමය ද විශ්වයේ ආරම්භයේ සිට එහි නිමාව දක්වාම අප අවට පරිසරය පුරා සැරි සරයි. නමුත් එය සැබෑ කොට ස්පර්ශ කළ හැකි වන්නේ අල්පයකට. සැබැවින්ම එය විටක . විදුලිය මෙන් දැල්වෙන ක්ෂණයෙන් නිවෙන ආලෝකයකි. නැත්හොත් තුරුණු හදවතේ ක්ෂණික ප්‍රහර්ෂයකි. ඈ මේ මොහොතේ සිතන සිතුවිලි ඇතැම් විට ක්ණිෂකව වෙනස් වීමටද පුලුවන. කෙසේ වෙතත් මිහිරිම සිහින පෙනෙන්නේ අහිමිවීම් ආසන්නයේය. එය මනුෂ්‍ය ස්වභාවයයි.ඉර හඳ තරු හෝ අන්‍ය කාන්තාවන් හෝ තමාට දුරස්ථ පුරුෂයන් සිහිනයෙන් දකින්නෝ බොහෝ විට ස්වකීය ගෘහය සිහිනයෙන් නොදකිති. අප ඒවාට සිහිනයයි කියන්නේ ද එබැවිනි.

සිහින යනු ලැබීම් සහ නොලැබීම් අතර පරතරය පියවන අවකාශයයි. එය අතිශය සෞන්දර්යාත්මක මෙන්ම ජවනිකා පෙළ එකිනෙකට නොපෑහෙන , පිරිද්දුම් ස්වරෑපයක් ද තිබිය යුතුය. මේ ගීතයේ මුල් පෙළ එබදුය. ඇලක දොළක ශබ්දය ඇසෙන තැනක හිම වැටියක් පිහිටා තිබිය නොහැක. එනම් දේශගුණ කලාප දෙකක එක් තැන් වීමක් පරිදි මේ යුවතියගේ සිහිනය සහ පැවැත්ම අතර පරතරය පිළිබිඹු කිරීමට එය කදිම නිදර්ශනයකි. මේ නොගැලපෙන රාමු දහරාව විසින් යුවතියගේ මනසේ වේදනාව සහ සෞන්දර්යාත්මක අපේක්ෂාවන් වඩාත් ඉස්මතු කොට දක්වයි. නමුත් මෙහි දෙවන පෙළෙන් හා තෙවන පෙළෙන් සිදුවන්නේ සිදුවීම විස්තර කරන්නට යාමයි. නමුත් ඉන් විශාල හානියක් ගීතයට සිදු වන්නේ නැත මන්ද හැම පෙළක්ම ගීතයක තිබිය යුතු ධ්වනි ගුණයෙන් සහ භාව ගුණයෙන් යුක්තව තිබීමයි.

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ
ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

අමිතා වැදි සිංහ ගයන මේ ගීතයෙහි මා කැමති මේ දෙවන පෙළටය. අරිසෙන් අහුබුදු ශූරින් විසින් රචිත මේ පැදි පෙළෙහි සැගවුණු රුත ගායිකාව නොදැන සිටි බව වරක පවසා සිටියාය. ඒ අනවබෝධය නිසා පදවැලෙහි පවතින සෞන්දර්ය සංගිතය සහ ගායනයෙන් එලෙසින්ම මතු වූවාදැයි සැක පහල වන නමුත් මා මේ ගීය ප්‍රිය කරන්නේ එහි පවතින චින්තනමය විපර්යස්ථතාවය හේතුවෙනි. මෙහි දෙවන පෙළ බලන්න.

ලක්දිව රක්නා සම්දිටු දෙවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

ලක්දිව රකින සම්‍යදෘෂ්ටික දෙවියන් පෙරහැර කාලෙට රැස්වෙයි. නමුත් මේ දේව සභාවේ මුලසුන හොබයා සම්‍යදෘෂ්ටිකයන් පාලනය කරන්නේ පෙර ලකෙහි දිවි පූජා කළ කැප්පෙටි පොළ වැනි දේව ගති ඇති උත්තමයෝය.සම්‍යදෘෂ්ටික දෙවිවරු යනු කපට් දේශපාලුවන්ය. එතැන දෙවියන් යන පදය උත්ප්‍රාසිකව පිහිටුවයි. නමුත් කැප්පෙටි පොළ දෙවියන් යන්න යොදා ඇත්තේ වෙනත් අරුතකිනි. එනම් මරණින් ඉක්බිති දේවත්වයක් ලබන්නට නම් රට දැය ආරක්ෂා කළ යුතුය. මරණයෙන් පසු දේවත්වය ලැබීම යනු හින්දු දේව සංකල්පයකි. එය දළදා වෙන් එන බෞද්ධාගමික සංකල්පය සමගද මුසු කරමින් සියළුම දෙවිවරුන් සහ බුදුවරුන්ගේ සරණ දේශ හිතෙෂීන්ට ලැබෙන බවට දෙන මේ අදහසේ කිසියම් විචිත්‍රත්වයක් පවතී. එහි දළදාව හරහා බෞද්ධාගම පමණක් ප්‍රහර්ෂයට නංවා නැත.

ඇතැම් ගී හදවතෙහි තැන්පත් වන්නේ එහි පද මාලාවෙහි ඇති සහ්‍රික බාවය නිසාය. තවත් ගීයක් හදවතෙහි ලැගුම් ගන්නේ රිද්මයෙහි ඇති ලගන්නා සුළු බව නිසාය. තවෙකක් ගායකයාගේ දක්ෂතාවය නිසා හදවතෙහි ලැගුම් ගනී. මේ කෙබදු තත්වයටක් වුවද හදවත හැගීම් සමුදායකින් පිරී නොයන්නේ නම් එය සාර්ථක ගීයක් නොවේ.ශෝක, ශෘංගාර , භීහත්ස්‍ය සහ කරුණ ගංගාවේ රසිකයා නේක සුළිවල අතරමං වන නිර්මාණය චමත්කාරවත් අර්තාන්විත වස්තුවක් බවට පත් වී. එවැන්නකින් සිදු වන්නේ රසිකයාගේ භාව ලෝකය මෙන්ම ඥානමය ලෝකයද විකසිත භාවයට පත් කිරීමයි..

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

7 comments:

  1. මට නම් මෙතන ප්‍රශ්ණයක් තියෙනවා... ගීතයක අපි විඳින්නේ පද මාලාවද තනුවද කියන දේ.. මොකෝ අපිට මෙලෝ හසරක් නොදැනෙන භාෂාවකින් යන ගීතයක් උනත් අපේ සිත පිනවන්නේ එහි ඇති පද මාලාව නිසාවෙන් නොව, සංගීතය හා තනුව අනුවයි.

    අනෙක් කාරනය මිනිසුන් විවිධයි වගේම මිනිසුන්ගේ රසත් වෙනස්. කොත්තු කඩේක ඉරාජ්ගේ ඒවා දානවා මිසක් බීතොවන්ගේ මියුසික් දාන්න බෑ නේ. ඒක හොඳයි චැනල් ඩොක්ටර් එනකන් කාළේ කකා ඉන්න එකෙක්ගේ මල පැනීම නිවන්න. කොත්තුව කියන්නේ ර්ස ගොඩක් එකට දාලා ඇදලා අරින එකක් නේ, ඉතින් එතනට ගැලපෙන් එක තමයි කොත්තු කඩේ දාලා තියෙන්නේ. අනික කොත්තුව ගහන්න පුළුවන්ද ස්ලෝ සින්දුවකට. එතකොට කොත්තුව ඇනෙන්නේ නෑ.

    මගේ නම් තියරිය. පරිසරය අනුව රසය වෙනස් වෙන්න ඕන. එලියේ තියෙන සංගීතයක් වෙනස් එතනට එන්නේ නටන්න. ඒවට අකමැති නම් එතනට නොයා ඉන්න ඕන. බස් එකේ දාන්න කොන්දටයි ඩැයිවර්ටයි කැමති ගීත. ඉතින් උන්ගේ රසයට ඉඩ දීලා අපි ඉවසගෙන යන්න ඕන. විකටර්ගේ සා බලන්න ගියාම ඩාන්ස් කරන්න බෑ. ඉතින් ගල් ඉබ්බා වගේ ඉඳගෙන සින්දු ටික අහලා එන්න ඕන.

    මම කොත්තු කඩේ මුදලාලි නම් මම කියන්නේ. මහත්තයා එහෙනම් වෙන කඩේකට යන්න කියලා.

    ReplyDelete
    Replies
    1. විරාජ්ගෙ සින්දුවට වඩා කස්ටමර් කෙනෙක් රැුක ගැනීම වැදගත් කියලා මුදලාලි හිතන්න ඇති.. :)

      Delete
    2. ඒ කඩේ කොත්තු නැහැ..මෑන්ස්ට් වැඩේ තේරුණා

      Delete
  2. ජයවේවා... බ්ලොගර් ෆලෝවර් දාගන්න...

    ReplyDelete
  3. වටින‍ බ්ලොගයක්.
    සමහර තැන්වල අකුරු වැරදි තිබෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න.
    සුබපැතුම් !

    ReplyDelete