Realtime website tracking softwareRealtime website tracking software

Tuesday, November 22, 2016

එන්න..! අපි ‘හෙළුවෙන් වණමු..!‘





හෙළයෙන් හෙවත් සිංහලයෙන් වර්ණනා කිරීම ‘හෙළුවෙන් වණමු‘ යනුවෙන් විදග්ධත්වයට අසැබි යයි බැලූ බැල්මට පෙනෙන ශීර්ෂයක් එක් කළේ හෙළයේ මහා සාහිත්‍යධරයකු වූ කුමරතුගු මුණිදසුන්ය. ධ්වනිතාර්ථ බහුල සිංහල භාෂාවේ ඇතැම් තැන් සහ අරුත් ,නිරුක්ති, උපහාස, අපහාස සෘජු බිණීම් ලංකාවේ සංස්කෘතියට එක්කලේ අලංකාරයකි.නමුත් වුවමනාවට වඩා ශාස්ත්‍රීය වීම ඇතැම් විටක විකාරරූපී බවක් ගෙන දුන්නද ඒ විකාරරෑපී බව නිහතමානී කම තුළින් ඉවසීමේ පලවිපාක වශයෙන් ගත් විට මේ සිදුවීම් අතිශයෙන් සුන්දරය.එහෙයින් අරිසෙන් අහුබුදු ශූරීන් සම්බන්ධ ඇතැම් කතන්දර තවමත් ගෙන එන්නේ නොනැසෙන රසයකි.මේ කතාව අපට කියා දුන්නේ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම්ය.


වරක් හෙළ හවුලේ බස ගැන වූ කිසියම් රූපවාහිනී විවාදයකි. එහිදී සිංහල ව්‍යවහාරය තුළ ඉංග්‍රිසි ඌරුවට භාවිත කළ ඇතැම් වචන සදහා සකස් කළ අළුත් සිංහල වචන පිළිබදව අරිසෙන් අහුබුදු ඝූරීන් සමග වූ සංවාදයකි. එහිදී දුරකථනය -කන්යොමුව හෙවත් කන් යොමන උපකරණය ලෙසත්..ගල් කිසිනුයේ-ගල්කිස්ස ලෙසත්,කොක්කෙන් උස්සන ලද්ද -කොකිස් ලෙසත් අරුත් ගැන්වෙන පරිදි නව්‍ය හෙළ වචන සකස් කළ බව සාකච්ජා වන අවස්ථාවේදී සජීවි වැඩසටහනක් වූ එයට දෙහිවල පෙදෙසෙන් දුරකථනයට සම්බන්ධ වූ කොලු ගැටයකු අහුබුදු සූරීන්ට අපූර්ව ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
සර්..කොක්කෙන් උස්සන ලද්ද කොකිස් නම්..පකිස් හැදුනෙ කෝමද?

ඒ මොහොතේ නොකිපුණු අහුබුදු ශූරීන් තරුණයාගේ නිර්මාණ ශීලීත්වය බොහෝ සේ අගය කර ගුරුන්ටත් අකුරු වරදිනවායයි කියා සිනාසෙන්නට තරම් නිහතමානී වූයේය.ඔහු සම්බන්ධ තවත් රස කතා බොහොමයකි.වරක ඔහු බසයක ගමන් කරමින් සිටියේලු.ටිකට් පත මිලදී ගැනීමේ වුවමනාව ඇතිව ඔහු කොන්දොස්තර කොලුවා අමතා මෙසේ ඇසුවේලු.

දරුවා.!.තෙල පෙනෙන සරසවියට බර පැන කීයද?


ඇස් මහත් කරගෙන සිටි කොන්දොස්තර කොලුවා එක්වරම හඩ උස් කර මෙසේ කීවේලු. “අනේ සර් කුනුහරප කතා නොකර ටිකට් එක ගන්නවා..මෙයින් පෙනෙන්නේ කුමක්ද? භාෂාව යනු සංස්කෘතික නිරූපණයකි.එය විවිධ සමාජ කොටස් වල පිළිබිඹුවකි.වැල්ලේ ගැහැනියට සංස්කෘතික හෝ විදග්ධ බස නොතේරේ.කොන්දොස්තරට පිළිතුරු දිය යුත්තේ ඔහුගේ මට්ටමෙනි.මේ සදහා තවත් නිදර්ශනයක් මට සිහිපත් වේ.‘මේ දෑස කුමටද?“ සිනමා පටයේ පෝස්ටර් මාතර ප්‍රදේශයේ ඇලවූ විට ඊට නොලැබුණු ප්‍රතිචාර ‘ මේ දෑස මක්කටෙයි“ යනුවෙන් සදහන් කළ විට සුභදායී වූයේලු.එසේ නම් එය වන්නියේ ඇලවිය යුත්තේ ‘ලොද ගෙඩි පොජ්ජ මක්කටෙයි යනුවෙන් සංස්කරණය කොට මිස පුරුදු ප්‍රකෘතිය අනුව යමින් නොවේ.මිනිසුන් විවිධය.ඔවුන් ප්‍රදේශියව සහ සංස්කෘතිකව විවිධය. ඔවුන් අවස්ථාවට අනුව යොදන බස සුඛනම්යච වීමම නොව රලු ,චන්ඩ, උපක්‍රමශීලී ආදී සියලු ගුණාංගයන්ගෙන් විය යුතුය.


එක්තරා වෛද්‍යවරියක් උසස් වර්ගයට අයත් සුනඛයකු ඇති කලාය.ඇය ඌට කතා කලේ ඉංග්‍රිසී භාෂාවෙනි.මේ සත්වයා අමුත්තකු ඉදිරිපිට ඉංග්‍රිසියෙන් හැසිරවීමෙන් මේ වෛද්‍යවරිය තමාගේ භාෂා ශඛ්‍යතාවය තිරිසනා තුළින් අන්‍යයන්ට විදහා දැක්වීය.මෙසේ කාලයක් ගතවිය. එක් දිනයක යෙහෙලියක් ඇයව හමුවීමට පැමිණියාය.වෛද්‍යවරිය සුඛෝපභෝගී පුටුවක ලැගුම් ගෙන සිය සුනඛයාට Cඔමෙ ඩර්ලින්ග්... ටකෙ අ සේට් යයි කිවුවාය.බල්ලා කලේ අහක බලා ගැනීමයි.ඉන් අපහසුවට පත් වූ වෛදයවරිය සිය යෙහෙලියගේ මුහුණ දෙස ආයාසයෙන් සිනහවක් නගා යළිත් සුරතලා ඇමතුවාය.ගණනකට නොගත් ඌ කෙලවරේ පුටුවකට මුත්‍රා කොට සාලය මැද හරි බරි ගහත්තේය..

වේසිගෙ පුතා..නැගපන් පුටුවට..


ඇයට කියවිනි.බල්ලා පැමිණ අපූරුවට පුටුවේ ඉදගත්තේය.ව්‍යාජ බසට තිරිසනකු වුවද හීලෑවන්නේ ඉතාමත්ම කෙටිකාලයකට පමණය.තිරිසනා වුවද කැමති උගේ ප්‍රකෘතිය ඌ විසින්ම සොයා ගැනීමටය.එයද එක්තරා අන්දමක විමුක්තියකි.


මේ සිදුවීම වූයේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසංන්නිවේදන පාඨමාලවේදීය.මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක විසින් පැණි වළළු තීරු ලිපිය ආරම්භකළ මුල් කාලය එයයි.එය වෙනස් ආරක් ගත් ලිපි සමුච්චයක් බැවින් ඔහු ඒ සදහා ලත් ප්‍රතිචාර විසල්ය.දිනක් විශාල ළමුන් පිරිසක් සිටින ලද දේශනයකදී ඔහුව පුද්ගලිකව අපහසුතාවයට පත් කරන අරමුනින් කිසියම් චිට් එකක් ඉදිරිපසට ගොස් තිබිණි.එය දිගහැර කියවූ මහාචාර්ය තුමා ඉන් පසු එය සභාවට ඉදිරිපත් කළේය.

සර්..සර් ඇත්තටම කැමති සොනාලිගෙ පැනිවළලු වලටද? දිනූෂගෙ පැණි වළලු වලටද?දුලෝචනාගෙ පැනි වළලු වලටද?
එය ඇසීමෙන් පසු අප තිගැස්සීමකට පත් වුනෙමු.මන්ද ටියුෂන් ප්‍රතිපදාව විශ්ව විද්‍යාලය තුළට රැගෙන ඒමේ දැඩි අප්‍රසන්නතාව සහ අදාළ ගුරුවරයා අපහසුවට පත් වී අප කෙරෙහි උරණවෙතැයි සිතූ නිසාය.එනමුත් සිදු වූයේ අනෙකකි.වෙනදාටත් වඩා ලස්සනට හිනාවුනු මහාචාර්යවරයා දුන්නේ මෙබදු පිලිතුරකි.


කාගෙත් පැණි වළළු එකයි....


දක්ෂ මාධ්‍යෙව්දියකු වූ ජී.ඩබ් .සුරේන්ද්‍ර පුවත් පත් ලිපි සදහා හෙඩිම් (Hඒඩින්ග්ස් ) දැමීමේ අති ශූරයෙකු වූයේය.වරක් ඔහු මුල් පිටුවේම පල කල ප්‍රවෘතියක් නිසා කිසියම් අකරතැබ්බයක් සිදුවිය.ඒ රීටා රත්නායක නැමැත්තියක් සම්බන්ධව වූ කිසියම් හෙළිදරව්වකි.පුවත පුවත්පතෙහි පලවී පැය කිහිපයකින් ඔහුට ලැබුනු ඇමතුමෙන් කියවුනේ ඒ නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි තවත් ඉහළ සමාජයේ කාන්තාවක අසීරුවට පත්ව ඇති බවයි.ඇගේ ඉල්ලීම වූයේ මුල් පිටුව සිදු කළ වරද මුල් පිටුව තුළින්ම නිවැරදි කර පල කළ යුතු බවයි.මේ අවස්ථාවේ මුද්‍රණයට සූදානම් කර පිටු සියල්ල සකසා නිම ව තිබූ බැවින් සියල්ලෝ අතිශය අසීරු තත්වයකට පත්වූ අතර අවසානයේ දැඩි ආයාසයක් දරා මුල් පිටුවේ පේලි තුනක පමණ ඉඩ කඩක් වෙන් කරගත හැකි විය.එහෙත් පේලි දෙකෙන් සමාව ඉල්ලන්නේ කෙසේද? එසේ නම් මේ ලියවිල්ලේ හෙඩිම තීව්‍ර එකක් විය යුතුය.මදක් හිස සෙලවූ ජී. ඩබ් සුරේන්ද්‍රයන් සිය පෑන සොලවා ඒ කුඩා තීරුව මත මත මෙසේ සටහන් කළේය.‘ඒ රීටා මේ රීටා නොවේ“ ප්‍රශ්නය එයින්ම විසදුනේලු.

මී ළගට මතක් වන්නේ භාෂාව සමග විශාල පෙරළියක් කළ ටයි මාමා හෙවත් ටයිටස් තොටවත්තයන්ය.ඔහු වෘතිය ජීවිතය තුළ හඩදෙකැව් මැදිරිය, වචන ඔබනවා වැනි අතිශය සම්භාවිත යෙදුම් භාවිත කළද සාමාන්‍ය ජීවිතය තුළ වචන භාවිත කළේ ඒ ඒ පුද්ගලයාට සහ අවස්ථාවට උචිත පරිදිය.ඔහුගේ එක්තරා චිත්‍රපටයක ගොනෙක් දක්කන අවස්ථාවක් රූපගතවෙමින් තිබුණේලු.ඉතින් මේ සදහා යොදාගත් නලුවාට මේ කාර්යය ආධුනික බැවින් ඔහු කරන්නේ ගොනාගේ ලණුව තදින් අල්ලාගෙන සිටීමයි.ඉන් සිදුවන්නේ ගොනාගේ ගමන නැවතීමයි.දර්ශනය රූ ගත කිරීම කිහිප විටක්ම නතර වූ තැන මේ දෙස බලාසිටි ටයි මාමාට ඉවසුම් නැතිවිය.ඔහු නලුවා ලගට ගොස් බැණ වැදුනේ මෙසේය.

‘අර ගොනා යසට යන ගමන මේ හරක නවත්තනවා.හරකො ඔය ගොනාට යන්න දීපිය...


මේ සිදුවීමෙන් නලුවා ලැජ්ජාවට පත් වූ බැවින් සෙසු පිරිස මැදිහත් වී ප්‍රශ්නය සමථයකට පත්කර තිබිණි.ඔහු එය සම්භවය බසින් රංගන ශිල්පිය! ඔය වෘෂභයාගේ රැහැන මුදා ලව!යි කීවා නම් මෙය රසයක් වශයෙන් කිසිදිනක ඉතිහාසයට එක් වන්නේ නැත.මිනිසුන් විශිෂ්ටයන් වන්නේ ජීවිතයේ කවර කලෙක හෝ ශිෂ්ටත්වයට පයින් ගැසීම තුලිනි.ටයි මාමාගේ සෘජු වචන සහ ක්‍රියාකාරකම් නොඉවසා ඔහුගෙන් ඉවත් වූ එක් නළුවෙක් කිසියම් සාදයකදී ඔහුට මුණ ගැසුනේලු.ඒ අවස්ථාවේ ඒ නළුවා කළේ ටයි මාමාට වැද ‘ටයි මහත්තයෝ ඔයාට මං වදින්නෙ අර චිත්‍රපටයට ඔයා මාව නොගත්ත එකට..“ දෙපාරක් නොසිතූ ටයි මහත්තයා කලේ දඩ බඩාස් ගා නලුවාටද වැද මෙසේ කීමයි..‘මං උඹට වැන්දෙ උඹ ඕක දැං වත් තේරුං ගත්ත එකට...

භාෂා භාවිතය තුළින් පමණක් අපට කෙනෙක් නියේජනය කරන පංතිය හෝ තත්වය නිර්ණය කළ නොහැකිය.ටයි මහත්තයා ප්‍රායා්ගිකව භාවිතා කරන වචන මත ඔහු දකිනවා නම් සභ්‍ය බස පමණක් ප්‍රිය කරන්නෝ ඔහු මෝඩයකු වශයෙන් හෙලා දැකිය යුතුය.නමුත් දැනුම හැම තිස්සේම ප්‍රදර්ශනය කළ යුතුද? ඒ ඔස්සේ අපට මිනිසුන් උදෙසා චරිත සහතික දිය හැකි නම් සියලු කලා කෘති සහ කලාකරුවන් පුහු සදාචාරය ඉදිරියේ නිෂ්ප්‍රභා විය යුතුය. භාෂාව අසිපතක් සේ භාවිතා කළ තොටගමුවේ රහල් හිමියන්ද මේ මොහොතේ අපට අමතක කළ නොහැකිය.ඔහු සැළළිහිණි සදෙසේදී ලංකාවේ ආගමික සංස්කෘතියේ පැවති ඇතැම් සම්මතයන් සියුම් සැතක් වන් බසින් විසුණු කළේය.ඔහු පළමු වතාවට ලාංකීය සමාජය තුළදී තිරිසන් සතෙකුට මිත්‍රත්වය ප්‍රදානය කොට මනුෂ්‍යත්වය හා සම තැන්හි තැබුවේ මෙපරිද්දෙනි.

‘සනහස බැදුණු තැන නොහරින කර දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ“

කරුණ රසය අවැසි තැන්හි සුමට බසක් භාවිත කළ රහල් හිමියෝ ස්ත්‍රී වර්ණනයකදී ශෘංගාරය එයට නොමදව මුසු කරයි.

සිසිවන වුවන ඉගසුග ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි දෙව්ලියෙව් රූ සිරියුත් මෙපුරගන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවගන


මේ කවිය කියවූ විට මට මතකයට නැගුනේ අශෝක හදගමගේ ‘මේ මගේ සදයි සිනමා කෘතියෙහි එන එක්තරා දෙබසකි.හමුදා නිළධාරියාගේ රූමත් දමිළ සහකාරිය දකින පන්සලේ හාමුදුවන්ට කියවෙන්නේ මෙබන්දකි.


චීවරේට දැනෙන රස්නෙ හැටියට යුනිෆෝම් ගිනිගන්න එක අහන්න දෙයක්ද? අවසානයේ හාමුදුරුවෝ දමිළ තරුනිය හා පැන යන්නේ කොහොඹ ගහ මත්තෙහි සිවුර එලමිනි.සම්ප්‍රදායට සංස්කෘතිය බාර දී ඔවුහු තමාව සොයායමින් තමන්ගේම පාරක ගමන් කළහ.සැබැවින්ම රහල් හිමියෝ මිත්‍රත්වයද,ශාංගාරයද වැළදගනිමින් සහ විදිමින් සැළලිහිණියාව රට වටා කරක්ගස්වමින් සිට අවසානයෙහි ගෙන යන්නේ කොතනටද? මෙය හරියටම සසර පෙර නිමිති පෙන්වා නිවනට යොමු කිරීමත් බදුය.

තැන් තැන් වලම නැවතී සියුමැලි බැවින
යන් මන් තොසින් මග සලකුනු නියම දැන


ඔහු සැලලිහිනියාට ප්‍රභූ පරිසරය පමණක් විදින්න යයි නොකියයි.ඔහු පවසන්නේ හසුවන හැම තැනම නැවතී ලෞකික ජීවිතයේ සියළු සෞන්දර්යයන් චමත්කාරයෙන් විද උපේක්ෂාවෙන් උහුලා ගන්නා ලෙසයි.

වෙසගන තුනු තන අග රොන් කොකුමගර
පිස එන ඇල් පවන් විද එන ලිහිණි සර


වෙසගනකගෙන් වුව ජීවිතයට උකහා ගත හැකි සුවයක් සුවදක් වේ නම් එයද පවන හා මුසු කොට විද දරා ගන්න.එහෙත් මේ සියලු නතරවීම් තාවකාලික ඒවා පමණි.අවසානයේ ඔබ යා යුතු වෙනම මගක් ඇති බවද වටහා ගන්න..ඒ නම් අන් කවරක්වත් නොව බුදුන් වැඩි මාවතයි. එතෙරවීම පිළිබදව සැළලිහිනියාව කරන මූලික චමත් කාර දැනුවත් විම මෙබදුය.

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්


මේ කවියේ වාච්‍යාර්ථය ගත් විට රහල් හිමියන් සැළලිහිනියාට කියන්නේ සද එලිය ඉසිරුනු කුමුදු මල්ද, මිය ගිය රත් නෙලුම් ඉහිරුනු දියතලාවද සෞන්දර්යයයෙන් විදිමින් කොන්තගංතොටින් එතෙර වන ලෙසයි.නමුත් මෙහි නියම අර්ථය උන් වහන්සේ සගවා තැබුවේ උක්ත ආකෘතිය තුළය.මේ පෙනෙන ආකෘතිය බලන්න(දළ සැකැස්මකි)
එය බැලූ බැල්මට පෙනේන්නේ ජලයේ පාවෙන ඔරු නවයක් පරිද්දෙනි.රහල් හිමි මේ තිරිසන් සත්වයාට කියන්නේ ජල දහර ඔරු නවයක් මගින් එතෙර වන ලෙසයි.එසේනම් ඒ ඔරු නවය මොනවාද?

-------- ﮞ---- -------ﮞ---- ------------
ﮞﮞ ------ --------- --------- - --------------
ﮞﮞﮞ-------- ------ -------- ---------------
ﮞﮞ ------ ------- ------- ---- -------------


එ නම් සංසාර සාගරයෙන් එතෙරවීම පිළිබදව සියලු සත්වයන් විසින් උරගා බැලිය යුතු වර නවයකි.එතෙර වීම පිළිබද විමුක්තිය සොයා ගත යුත්තේ තමාවිසින්මමය.සදැස් ආකෘතික සැකිල්ලේ දිස්වෙන ඔරු නවය නම් ,
.
1. සෝවාන්
2. එහි ඵලය
3. සකෘදාගාමී
4. එහි ඵලය
5. අනාගාමී
6. එහි ඵලය
7. අරහත්
8. එහි ඵලය
9.උතුම් වූ නිවන වශයෙනි.


රහල් හිමි සැළාට පවසන්නේ ලෞකික ජීවිතයේ චමත්කාරය උපරිමයෙන් විදිමින් එහි අනිත්‍යය වටහා ගත් දවසක මේ ඔරු නවයේ ආධාරයෙන් යම් දින සංසාර සාගරයෙන් එතෙර වන ලෙසයි.මෙය රාජ දූතයකු ලෙස තැපැල් පියුන් සේවයේ යෙදීම නිෂ්ඵලයයි නොකියා කීමකි.

රහල් හිමි මෙන්ම රජුන්ට තප්පුලන්නට බස නොයොදන්නයියි ඉල්ලූ කවියෙකි දයාසේන ගුණසිංහ. ඔහු එය සිය පුනරාගමනය නම් කවි පේලියේ සෘජුව පවසා සිටියි.එමෙන්ම මීමනලා,සුනිල් මාධවලා අයිති වන්නේද මේ පරම්පරාවටය.එමෙන්ම පරාක්‍රම කොඩිතුවක්කු සිය කවියක ‘පුරුෂ ලිංගයක් සේ නැගී එව ! යි සෘජුව යෙදුවේය.මේ යෙදුම් තුළින් අපට එය ලියූ පුද්ගලයා පිළිබද කිසිදු චරිත සහතිකයක් දිය නොහැකිය.එමෙන්ම පුද්ගලයකුගේ චරිතය තුළින් නිර්මාණය පිළිබදව කිසියම් නිගමනයක්ද ගැනීමද කළ නොහැකිය.එසේ වුවහොත් සමලිංගිකත්වයට ඇබ්බැහි වූ ඔස්කාර්වයිල්ඩ්, සිය සැමියාගේ පුරුෂ ලිංගයෙහි වූ සීපීලිස් ලපය ගැන පවා ලියන තස්ලිමා නස්රීන්, අමුවෙන් අදහස් දමා ගසන අරුන්දතී රෝයි වැනි දැවැන්ත චරිත පවා සමාජමය වශයෙන් ප්‍රතික්ෂේපවනු නොඅනුමානය.එමෙන්ම ලාංකීය කාන්තා චරිත ඇසුරින් බස අවියක් කොට භාවිතා කලේ ගජමන් නෝනාය.ඇය පුද්ගලික ජීවිතයේ විවිධ පරිච්චේජයන්හිදී ආදරය, වේදනාව, ප්ර්තිවිරෝධය ඈ සියල්ල ප්‍රකාශ කලේද ප්‍රශ්නයට නැගුවේද කලේද භාශාව විශ්මිත පරිදි නිදහසේ හැසිරවීම තුළිනි.

හිමි යන ගමන්වල අඟනුන් නොව...සාද
එනු විගසින් එහි නොවෙමින්....පරමා ද
හිමියනි, දැන් ඔබ මට දුන්..........අවවා ද
මම ඉවසමි මදරද ඉවසුම්.............දේ ද?


ස්වාමීනි, ඔබගේ අවවාද මට ඉවසන්නට පුළුවන.ඒත් මගේ තරුණ මතයත් රතියත් මේ තහනම් නියෝග ඉවසුම් දේද නොදනිමි.ඒ ගජමන් නෝනා ස්වකීය ස්වාමියා වූ ගාර්දියස් ආරච්චිටදුන් පිළිතුරකි.ඔහුගේ අභාවයෙන් පසුව තරුණ ගජමන් නෝනා වටේ කරකැවෙන්නේ මනමාලයකු වූ ඇලපාත මුදලිය.ගොනා හැරෙන්නේ පොල්පැලේට බව වටහා ගත් සැණින් ගජමන් නෝනා පෙරළා ඇලපාත මුදලිගෙන් අසන්නේ මෙබන්දකි.

බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මට හොඳයි දැන් තනියම යහන
වින්ද රති සැපත මට අමතකව යන
කින්ද දැන් ඔහෙට විමසන්ට කාරණ ?

ඇලපාත සුටුස් ගා පසු බා යද්දී ඇගේ සිත ඇදුනේ සිටිනාමළුවේ හිමියන්ටය.ඕපා දූප ගොතන ගම් පලාත් වල ගැහැනුන්ගේ කට වසන්නට ඇය මැතිරූ මන්තරය මෙයයි.

වටිනා කියන මෙමගේ තුරුණු තුනු....විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කළෙමි...බොල
සිටිනා මෙගම සහ අවට...............ගම්වල
තුටිනා එයින් අනුමෝදන් වව්.........සියල!


ඇය ඇගේ ජීවිතයේ අර්බුධකාරී අවස්ථාවල අතට ගත්තේ අවියකටත් වඩා මුවහත්කළ හෙළ බසයි.භාෂාව හොදින් භාවිතා කිරීම මෙන්ම වරදවා ගැනීම තුළින්ද රසවත් මතකයන් ඉතිරි කර ගත හැකිය.එක්තරා තරග විභාගයකි.එහි සිංහල මාධ්‍යය අපේක්ෂකයන් දෙමළභාෂාව ප්‍රශ්න පත්‍රය ලිවිය යුතු වූ අතර දෙමළ අපේක්ෂකයන් සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුතු විය.දෙමළ අපේක්ෂකයන් සදහා වූ සිංහල ප්‍රශ්න පත්‍රයේ මෙබදු ප්‍රශ්නයක් විය.

ගොනා තණ කයි. මේ වාක්‍යය බහුවචනයට හරවන්න. ඒ සදහා එක් අපේක්ෂකයකු දී තිබූ පිළිතුර පහත පරිදිය.
 
‘ගොනා තන දෙකම කයි.

මේ අනුව බලන විට ප්‍රකාශන මූල දණ්ඩ මත මිනිසුන් වර්ග කරනවා නම් සියලු කලාවන්, ශිල්පයන් පමණක් නොව වෙළදාම පවා සමාජයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප විය යුතුය.

ඉරිදා දිනක පොළට ගිය මට ඇසුණේ මෙබදු වාක්‍යයකි.

වම්බටු,ගහල, පලා ගන්න..


මේ වචන වෙළෛන්දා ලාලිත්‍යයයට ඇද කියන විට ඇතැම් කාන්තාවන් මුහුණ රතු කරගත්තද ඔහුගේ වෙළද පල හෙවත් පොල සංස්කෘතියට ගෙදර යන ගමන් වැනි තීම් එකක් කිසිසේත්ම ගැලපෙන්නේ නැත. මීහරකාට ජහ් ගෑමත්. පූසාට ඥාව් කීමත්, බළලාට ඉජු කීමත් වරද්දා ගත් තැන සමාජයේ පැවතීම සැබැවින්ම අසීරුය.නමුත් වෘකයන් බැටලු වෙස් ගත් තැන අපටද භාෂාව පටලැවේ.රාජිත දිසානායකගේ මට වෙඩිතියන්නැද්ද නාට්‍යෙයන් ඇසුණු දෙබසකින් විරාමය තබමි. ඇත්තටම..භාෂාවෙන් පුළුවන්ද ජීවිතය තේරුම් ගන්න? 

9 comments:

  1. ඔහේ මාතලන් ශූරින්ගේ මේ කවි පන්තිය කියෙව්වේ නැතෙයි...?

    පැනපන් සුමන වතියේ පන් සලේ වැ ට
    *****************************************
    සාමනේර කල නා හිමි බර බැලු වා
    සත්තයි පෙරදි කල පවකැයි මම සිතු වා
    බුදු හිමි නොවේ උඹ ඇවිදින් හිත නිමු වා
    ගැට කිරි රහට විඳි දුක් අමතක කෙරු වා
    දනට පිනට ලැදි අය නිව නේම ය තී
    පෙර පින ඇතොත් පම ණෙකි ඒ උතුම් ග තී
    ගම ගිනි තියන උන්ගේ ඉරි සියා ග තී
    මේ ළොව මෙන්ම උන් සැම නිර යෙත් දැවෙ තී
    අමා වකේ සඳ සිසිලත් නැති කල ට
    කෝලි කුට්ටු මැල වෙයි තද ගිරිස් මෙ ට
    නිවන් යන්න සස රේ කල් තියෙන කො ට
    පැනපන් සුමන වතියේ පන් සලේ වැ ට

    ReplyDelete
    Replies
    1. නියමයි බම්..භාෂාව සරල වුණාම නිර්මාණය දැනෙනවා..

      Delete
  2. බොහෝ වටී මේ අදහස්. තව තව ලියන්න දුවට පින්

    ReplyDelete
  3. නියම ලිපියක්. හෙළුවෙන්ම වනාල තියනවා.

    ReplyDelete
  4. නොතේරෙන මගුල් කියනවට වඩා තේරෙන සිංහලෙන් කියනවට මද්දත් ආසයි.

    ReplyDelete
  5. හරිම රසවත්! අලුතෙන්ම දැනගත් කරුණුත් බොහොමයි.

    ReplyDelete