Realtime website tracking softwareRealtime website tracking software

Monday, February 26, 2018

යුද්ධයද මිහිරිය Incendies – Denis Villeneve



ජනවාර්ගික අර්බුධය මූලික කරගත් නිර්මාණ නොයෙක් වේශයෙන් විවිධ රටවල් සහ සංස්කෘතීන් නියෝජනය කරමින් ලෝකය තුළ නිර්මාණය වී තිබෙනුද, ඒවායින් ඒ ඒ රට සහ ජනවර්ගයට අදාළ ගැටලු ඉදිරිපත් කරනුද දැකිය හැක. එය යුද්ධයකින් පසු අත්පත් විය හැකි සාමාන්ය සමාජ කතිකාව බහුවිධ මාධ්යයකට නැගීමකි. නමුත් කිසියම් නිර්මාණයක් විසින් දේශ සීමා සහ සියළු වර්ගවාදයන් නිර්මාණයක් තුළින් පුපුරුවා හැර මනුෂ්යයත්වයට අඩගසන්නේද, එය සාර්ථක නිර්මාණයක් වශයෙන් මම දකිමි.

Denis Villeneve  විසින් අධ්‍යක්ෂණය කළ Incendies සිනමාපටය සිවිල් යුද්ධය විසින් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ කිසිදා නොනිමෙන සේ ඉතිරි කර ගිය අර්බුධ සහ ඛේදවාචකයන් පිළිබඳ ඉතා ගැඹුරු කතිකාවක් ගොඩ නගන අතර, ඒ දෙස අප බලා සිටිය යුතු මානය කෙබදුදැයි ඔහු හගවනු ලබයි. Souha Bechara නම් ලෙබනන් ලේඛිකාවකගේ ජීවිතය ඇසුරින් නිර්මාණය විනැයි පැවසෙන මෙම සිනමාපටය, 2010 වර්ෂයේදී ඇකඩමි සම්මානය ඇතුළු තවත් විදෙස් සිනමා උළෙල 35කින් සම්මානනීය වූ අතර, එය මෙතෙක් බිහිවූ වඩා ශ්රේෂ්ඨ කෘතියක් වශයෙන් මම දකිමි.

සිනමාපටය ඇරඹෙන්නේ මරණ මංචකයේ සිටින නවාල් මර්වාන් ((Lubna Azabal) මහත්මිය විසින් නීතිඥවරයකු මගින්, සිය නිවුන් දරුවන් දෙදෙනාට (Mélissa Désormeaux-Poulin - Jeanne Marwan/ Maxim Gaudette - Simon Marwan) ඉදිරිපත් කරවන අන්තිම කැමති පත්‍රයත් සමගිනි. ඒ අනුව මර්වාන් මහත්මියගේ අවසන් කටයුතු ආගමික වතාවත්වලින් තොරව සිදුකළ යුතු බව සහ ඇය විසින් ලබා දෙන ලිපි දෙක නිවුන් දරුවන්ගේ පියා සහ සොහොයුරා වෙත ලබාදිය යුතු බව සදහන් කර ඇත. අවසානයේ මෙම ලිපි දෙක සිය පියා සහ සොයුරා යන නොදුටු පුද්ගලයන් දෙදෙනා වෙත ලබාදීමට නිවුන් දරුවන්ගෙන් ගැහැනු දරුවා වන ජෙනී විශාල ව්‍යායාමයක් ගනු ලබන අතර, එහිදී ඇය යුද්ධය යනු කුමක්දැයි දෑසින් විදගනු ලබයි. මේ ගමන තුළ සිය මවගේ ජීවිතයේ බොහෝ දේ ඔවුන් වෙත අනාවරණය වේ.

සිනමාපටය අවසානයේ දරුවන් දෙදෙනාම ලිපි බාර දීමේ මෙහෙයුමට දායක වන අතර, අවසානයේ ඔවුන් මුහුණ දෙන්නේ කිසිදා නොසිතූ තත්වයකටය. එනම් සිය පියාද සොයුරාද එක් පුද්ගලයකු බව තහවුරු වූ තැන ඒ අමිහිරි සත්‍යයට මුහුණ දෙන දරුවෝ, නිහඩව ඒ පුද්ගලයා (Abdelghafour Elaaziz) වෙත ලිපි ද්විත්වය බාර දෙති. අවසානයේ ඒ දරුවන් දෙදෙනා මවගෙන් ලබන ලිපියේද, ඔවුන් විසින් ගොස් බාරදෙන ලිපියේද වූයේ, යුද්ධය මැදද තමා ආදරය කරන්නට උගත් බව ලියා ඇති, පණ අදින ගැහැනියකගේ සටහනකි. සැබැවින්ම යුද්ධය විසින් මිහිරි මිනිසුන් තනනු ලබන බව මින් ප්‍රථම මා දැන නොසිටියෙමි. ප්‍රචණ්ඩත්වයට අතරමැදි වන්නා, ජීවිතයේ මිහිර පිළිබද අත්පොත් තබන්නේ මරණ මංචය අබියසය.

සිනමාපටයේ කැමරාකරණය , සංස්කරණය, රංගන දායකත්වය සම්බන්ධයෙන් කියන්නට කිසිවක්ම නැත. සැබැවින්ම හදවතක් ඇති මිනිසකුට එක දිගට නැරඹීමටද අපහසුය. සිවිල් යුද්ධයේ උපරිම අවදියක දකුණ බලා ගමන් කරනා "නවාල් මර්වාන්" හදිසියේ ගොඩවන බසය සතුරන් ගේ වෙඩි පහරට ලක්වෙයි. සැබැවින්ම එය සිනමාපයක දර්ශනයකැයි සිතන්නට නොහැකිය. මම එක්වරම මේසය අස්සට ඔලුව ඔබාගත්තේ, ඇතිවූ භීතිය නිසාය. කුඩා දරුවා මරණ දර්ශනය බැලුවා නොව එය බැලුනේය. මේ සිනමා පටය ශාලාවක නම් අඛණ්ඩව බැලිය නොහැකි වන්නේ කදුලු ඉස්සර වන හෙයිනි .

ජීවිතය තුළ කුමන හෝ හේතුවක් මත අන්තර් සම්බන්ධතා සහ පැවැත ආ සම්ප්‍රදායන් සියල්ල බිදී විසිරී යන්නට පුළුවන. නමුදු එබදු තත්වයක් තුළ වුවද ජීවිතය දෙස ආදරයෙන් බලන්නට හැකි නම් වඩා වැදගත් වන්නේ එයයි. මේ සිනමාපටය නැරඹූ මොහොතේ මා පත්වූ තත්වය විස්තර කරගත නොහැක. සත්‍ය වශයෙන්ම මම අර්ධ වශයෙන් උමතු වීමි. මර්වාන් යනු තවදුරටත් ප්‍රංශයට හෝ ලෙබනනයට හෝ අයිති ගැහැනියක ලෙස නොදැනී ඒ මමම වීමි. මම මටම නොදැනී හඩමින් සිටියෙමි. එබැවින් මට තවෙකෙකු පරීක්ෂා කරන්නට අවශ්‍ය විය. 

ඒ මොහොතේම කිසිවක් සතපහකට ගණන් නොගන්නා යහලුවකු වෙත මම පණිවිඩයක් යැවීමි. මචං..ඉක්මණට මේක බලපන්!! පැය කිහිපයකට පසු ඔහු මට පණිවිඩයක් එවා තිබිණ. එහි සදහන් වී තිබුණේ මෙබන්දකි.

ඒක නම් පට්ට බං..මයිල් කෙලින් වෙලා ඇඩුනා හොඳටෝම ..අපේ උන්ට හිතන්නවත් බෑ..

ලංකාවේ පවතින්නේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රශ්නයක් නොවේ. නිර්මාණ සාක්ෂරතාවක් ඇති මෙබදු නිර්මාණ ඇසුරු කරන පිරිස ඒවා දැක බලාගත් පසුවවත් අලුතින් යමක් සිතන්නට අසමත් වීමේ අවාසනාවයි. මෙතෙක් මම මාරාන්තිකව ආදරය කල සයිලන්ට් ලයිට් සිනමාපටය සමග මෙම සිනමාපටයද එකට අමුණා තබමි. වේදනාබර රාත්‍රීන්හි ඔවුහු මා සුවපත් කරනු ඇත. ආදරයට යුද්ධයට භාෂාවක් නැත. ඇත්තේ හැගීම් පමණකි. ඒවා සැබැවින්ම මාරාන්තිකය.

-උපේක්ෂා නුවන්ශ්‍රීනි -

No comments:

Post a Comment